මංගල තරගය ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ දඟ පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ඊයේ රාත්‍රියේ පැවති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මේ සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට ද ශ්‍රී ලංකා පිලට හැකි විය.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම දුන් ලකුණු 163ක ඉලක්කය හඹා ගිය කොදෙව් පිලට ඕවර 16.1කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 89ක් පමණි.

මෙය කොදෙව් පිල ශ්‍රී ලංකාව හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් විය. ඔවුන් මින් පෙර 2009 වසරේ ඕවල් පිටියේදී ඔවුන් ලකුණු 101ක දැවී ගොස් තිබිණි.

ඊයේ තරගයේදී 109 වැනි ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර තරග වරම් දිනාගත් දුනිත් වෙල්ලාලගේ පිළිතුරු ඉනිම ඇරඹූ කොදෙව් පිලට තෙවැනි ඕවරයේදීම අභියෝග කළේ පළමු තරගයේ වීරයා වූ බ්‍රැන්ඩන් කිං ලකුණු 5කට පිටියෙන් ඉවත් කරමිනි.

ඊළඟ ඕවරයේදී එවින් ලුවිස් (7) දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වූ අතර, පිට පිට ඕවර 2කදී ලකුණු 5ක් තුළ තවත් කඩුලු 2ක් බිඳ දැමීමට වෙල්ලාලගේ සමත් විය. මුළු ලකුණු 22ක් වන විට කොදෙව් පිල අසීරු තත්ත්වයට වැටී තිබුණේ කඩුලු 4ක් අහිමි වීමෙනි.

මේ තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනස්කම් දෙකක් සිදු කරමින් අසිත ප්‍රනාන්දු සහ චමිඳු වික්‍රමසිංහ වෙනුවට දුනිත් වෙල්ලාලගේ සහ නුවන් තුෂාර කැඳවා තිබූ අතර, කොදෙව් පිලට ෂායි හෝප් වෙනුවට ඇන්ඩ්‍රි ෆ්ලෙචර් එක්ව සිටියේය.

දෙපිල අතර තෙවැනි සහ අවසන් විස්සයි20 තරගය හෙට (17) දඹුල්ලේදීම පැවැත්වේ.

Similar Posts