c news sinhala

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද පෙරවරුවේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.මධ්‍යස්ථාන 48කදී අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.ඒ සඳහා ඡන්දදායකයින් 55,643 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ඡන්ද පෙට්ටි සහ නිලධාරින් ප්‍රවාහනය කිරීම ඊයේ සාර්ථකව සිදු කෙරුණා.ඡන්ද විමසීමේ කටයුතු සඳහා නිලධාරින් 600 දෙනෙකු පමණ යොදවන බවයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර ඡන්දය සලකුණු කිරීමේදී වම් අතෙහි මහපටඟිල්ල පාට කිරීමට තීරණය කර තිබෙනවා.ඒ, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතෙහි සුළැගිල්ල පාට කර තිබීම හේතුවෙන්.

මෙලෙස සිදු කිරීමෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ (262 වැනි අධිකාරය) 53අ(3) වගන්තියෙන් ඡන්දදායකයා උචිත ලකුණින් සළකුණු කිරීම සම්බන්ධයෙන් මතුවිය හැකි ගැටලුව නිරාකරණය වනු ඇති.

ඡන්දදායකයගේ වම් අතෙහි මහපටඟිල්ල නොමැති නම් ඔහු‌ගේ දකුණු අතෙහි මහපටඟිල්ල හෝ වෙන යම් ඇඟිල්ලක් උචිත ලකුණුන් සලකුණු කිරීමට තීරණය කළ බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

Similar Posts