පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා යොදා සිටින පොලිස් නිලධාරීන් අතරින් සියයට හැත්තෑවකට අධික පිරිසක් වසර ගණනාවක් වෙඩි තබා නැතිවීම මත නිලධාරීන් බහුතරයකට වෙඩි තැබීමේ පුහුණුවක් ලබාදී තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
මෙම නිලධාරීන්ට කළුතර, කටුකුරුන්ද ඇතුළු පොලිස් ස්ථානවලදී අදාළ පුහුණුවීම් ලබාදී ඇති බවත් වෙඩි තැබීමේ ඇති හැකියාව තවත් දියුණු කිරීම වෙනුවෙන් මෙම පුහුණුව ලබාදුන් බවත් පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරීහු සඳහන් කළහ. පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් පොලිසියේ නිලධාරීන් හැට තුන් දහසක් ඍජුවම යොදවන බවත් සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් දස දහස් පන්සියයක් ද රාජකාරි සඳහා එක්කර ගැනීමටත් පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන 14 වැනිදා ඡන්ද මධ්‍යස්ථාන දහතුන් දහස් හාරසිය විසි එකක සිදුවන අතර ඒ සෑම ඡන්ද මධ්‍යස්ථානයක් සඳහාම පොලිස් ආරක්ෂාව යොදවා තිබෙන බව මැතිවරණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට පැවැසීය. මැතිවරණ ආරක්ෂක කටයුතු මෙහෙයවීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ පොලිස් මූලස්ථානයේ වෙනම මධ්‍යස්ථානයක් ද සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් යටතේ පළාත් සම්බන්ධීකරණ හා මෙහෙයුම් මධ්‍යස්ථාන නවයක්ද ස්ථාපිත කෙරෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට සඳහන් කළේය.