හැටන් දික්ඔය නගර සභාවේ රථ වාහන අංගනය තුල ගොඩ ගසනු ලබන කුණු කසල මාස ගණන් ඉවත් නොකර තැබිමත් සමග එම ප්‍රදේශයන් තුල දැඩි දුගදක් හමන අතර මැසි මදුරු උවදුරද උග්‍ර තත්වයන්ට පත්ව ඇත.

හැටන් ප්‍රදේශයේ බැහැර කරනු ලබන කුණු කසල හැටන් නගර සභා කාර්යාලය පිටු පස පවතින රථ වාහන අංගනය තුල මෙසේ ගොඩ ගසා සති ගනන් මාස ගනන් ඉවත් නොකර තැබිමත් සමග  ඒ අසල පවතින හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානය, හැටන් ශ්‍රිපාද විදුහල මෙන්ම පෙර පාසල් දෙකට පැමිනෙන වැඩි හිටියන් කුඩා දරුවන් ඇතුළු බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති අතර ඔවුන්ගේ සෞඛ්‍යටද විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක්ද හට ගෙන ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන විහාරස්ථානයට පැමිනෙන බොහෝ පිරිසක් පවසනුයේ මෙම කසල ගොඩ හේතුවෙන් පවතින මැසි මදුරුවන් නිසා  පොහෝ දිනක සිල් සමාදම් වන පිරිස් සදහා නිසි ලෙස දානයවත් ලබා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත්ය.

එමෙන්ම තවත් පිරිසක් පවසනුයේ මෙකි කසල ගොඩින් හමන දුගද හා පවතින මැසි මදුරුවන් හේතුවෙන් තමන් ඇතුළු තම කුඩා දරුවන්ද දැඩි ලෙස දුෂ්කරථාවයන්ට පත්වන්නා සේම විවිධ ලෙඩ රෝගවලට ගොදුරු විමේ අවදානමක්ද පවතින බවත්ය.

මෙම තත්වයන් පිලිබදව හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින්ට කොතෙක් කිවත් එය හරියට බිහිරි අලින්ට විණා ගයන්නාසේ බවත් මෙම තත්වයන් පිලිබදව නව රජයේ පරිසර හා සෞඛ්‍ය ඇමතිවරුන් ඇතුළු පලාත් පාලන ඉහල බලධාරින්ගේ දැඩි අවදානයක් යොමු කල යුතු බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතා පවසන ලද්දේ මෙම නගර සභා බල ප්‍රදේශයේ දිනකට කසල ටොන් දෙකකට වැඩි ප්‍රමානයක් එකතු වන බවත් එම කසල බැහැර කිරිම සදහා නිසි ස්ථානයක් නොමැති විම මත මෙම ස්ථානයේ එකතුවන කසල කසල ගොඩ ගැසිමට සිදුව ඇති බවත්ය.

මෙම නගර සභාවට කසල බැහැර කිරිම සදහා ඉඩම් කොටසක් ලබා දෙන ලෙස අදාල බලධාරින්ගෙන් ඉල්ලිම් කර ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසිය.

මෙම කුණු කසල ගොඩ ඉවත් නොකර කොතෙක් කලක් මෙම ස්ථානයේ පවතිද යන්න එම කසල ගොඩේ විවිධ පැල වර්ග වැවි ඇති අකාරයෙන් පෙනි යනු ඇත.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories