kites

තෛපොංගල් නිමිත්තෙන් යාපනයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන දැවැන්ත සරුංගල් තරගාවලිය වැල්වෙට්ටිතුරේ මුහුදු වෙරළේදී අති උත්කර්ෂවත් අන්දමින් පෙරේදා (14) සවස පවත්වනු ලැබිණි. යාපනයේ සන් ක්‍රීඩා සමාජය විසින් මෙම දැවැන්ත සරුංගල් සැණකෙළිය වාර්ෂිකව පවත්වන අතර මෙවර එම තරගයට විවිධ තේමාවන් ඔස්සේ සරුංගල් 103ක් ඉදිරිපත්කොට තිබූ අතර එම තරගය ළමා, තරුණ හා වැඩිහිටි වශයෙන් අදියරයන් තුනකට වෙන්කොට තිබුණි.

සරුංගල් තරගයෙන් ජය ලැබූවන්ට මුදල් ත්‍යාග හා සහතික පත් පිරිනැමුණු අතර මේ තරගය නැරඹීමට ලක්ෂයක පමණ නරඹන්නන් පිරිසක් මුහුදු වෙරළට රැස්ව සිටියහ.

මෙම තරගයට ඉදිරිපත්කොට තිබූ බොහෝ සරුංගල් මෝටර්වල භාවිතයෙන් අහසට යවා තිබුණි. මීට පෙර මෙම තරගාවලියට ඉදිරිපත් කළ සරුංගල් බොහොමයකින් යුද මානසිකත්වයක් පෙන්නුම් කෙරෙන නිර්මාණ ඉදිරිපත් වුවත්, මෙවර ඒ ආකාරයේ නිර්මාණ තරගයට ඉදිරිපත් වී නොතිබුණු අතර රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැනි සංකල්පයන්ට විශේෂ තැනක් දෙමින් සරුංගල් නිර්මාණයකොට තිබීම විශේෂත්වයකි. මීට වසර හතරකට ඉහතදී 2021 වසරේදී සරුංගලයක නූලක පැටලීමෙන් යාපනයේ තරුණයකු අඩි හතළිහක් පමණ අහසට ඇදී ගොස් විනාඩි ගණනාවක් අහසේ පාවී බිම ඇද වැටුණේ ද මෙලෙස සංවිධානය කළ සරුංගල් තරගාවලියකදීය.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

More Stories