අස්වැසුම ලබන ප්‍රතිලාභීන් අතර රජයේ සේවකයන් තිස්තුන් දහසක් පමණ සිටින බව අනාවරණය වී තිබේ. මේ බව අනාවරණය වී ඇත්තේ පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවක දී ය.
අස්වැසුම ලබාදීම වෙනුවෙන් පැවැති සංගණනයේ දී එකතුකර ගත් දත්තවල යම් වැරදි ප්‍රමාණයක් තිබෙන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය මෙම සාකච්ඡාවේ දී පිළිගෙන ඇත.
ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වෙනමම කමිටුවක් පත් කිරීමට ද ජනාධිපති කාර්යාලයෙන් උපදෙස් දී තිබේ. ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී සහ ආර්ථික සංවර්ධන නිලධාරී යන තිදෙනාගෙන් යුත් කමිටු පත්කර මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ද මණ්ඩලය පියවර ගෙන ඇත. ඒ සඳහා මණ්ඩලය විසින් චක්‍රලේඛයක් ද නිකුත් කර තිබේ.
කෙසේ වුව ද අස්වැසුම ලැබීමට සුදුසුකම් නොලැබූ නිසා වන දුක් ගැනවිලි ලක්ෂ අටක් පමණ මණ්ඩලයට ලැබී ඇත. එම දුක් ගැනවිලි කමිටු මාර්ගයෙන් විසඳීමට ද මණ්ඩලය කටයුතු කරගෙන යයි. ඒඅතරින් ලක්ෂ හතරක් පමණ දෙවැනි වටයට සුදුසුකම් ලබනු ඇත යන්න මණ්ඩලයේ විශ්වාසය වී ඇත.
පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා වනවිට සමස්ත ප්‍රතිලාභීන් සංඛ්‍යාව දාහත් ලක්ෂ විසි දහසකි. ඒ අතරින් සංක්‍රාන්ති ගණය යටතේ සිටින තුන්ලක්ෂයක් පමණ මාර්තු මස 31 වැනිදා වනවිට වැඩසටහනින් ඉවත් කෙරේ. දෙවැනි වටයේ අයැදුම්පත් අටලක්ෂයෙන් සියයට පනහක් පමණ වැඩසටහනට අලුතින් එක් කෙරෙන අතර ඒ අනුව ප්‍රතිලාභීන් සංඛ්‍යාව දහඅට ලක්ෂ විසි දහසක් පමණ වනු ඇතැයි මණ්ඩලය පවසයි.
මෙම වැඩසටහන වෙනුවෙන් පසුගිය වසරේ රුපියල් බිලියන 205ක් වෙන් කර තිබී ඇති නමුත් වැය කර ඇත්තේ රුපියල් බිලියන 180ක් පමණි.