පිළිකා රෝගීන්ට බොහෝවිට පෞද්ගලික අංශයෙන් ඖෂධ මිල දී ගැනීමට සිදුවන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිර්දේශ කොට නැති ඖෂධ ඇතැම් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලැබීම නිසා යැයි වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පැවසීය.
පිළිකා රෝගීන්ට අනවශ්‍ය බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිර්දේශ කළ ඖෂධ ලැයිස්තුවක් ඇතැයි ද එම ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයෙන් රජයේ රෝහල්වලට සපයන්නේ නැතැයි ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
එසේ ලැයිස්තු ගතකොට නැති ඖෂධයක් කිසියම් වෛද්‍යවරයෙකු නිර්දේශ කළ විට ඒවා රෝගීන්ට මිල දී ගැනීමට සිදුවන්නේ පෞද්ගලික අංශයෙන් යැයි ඔහු පැවසීය.
වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මේ අදහස් පළ කළේ, පිළිකා රෝගීන්ට අවශ්‍ය ඇතැම් ඖෂධ රජයේ රෝහල්වල නැති බවට නැඟෙන මැසිවිලි සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු වශයෙනි.
සමස්තයක් වශයෙන් ඖෂධ වර්ග 865ක් පමණ සෞඛ්‍ය අමාත්‍යාංශය ලියාපදිංචි කර ඇතත් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්නේ එයින් 285ක් පමණක් යැයි කී හෙතෙම ඉතිරි ඖෂධ 580ක් පමණ ආනයනය කිරීමට සිදුවන්නේ යැයිද පැවසීය.
එහිදී ඔහු මෙසේ ද කීය.
“ඇත්තට ම පිළිකා රෝගීන්ට නියමිත ඖෂධ වර්ග රාශියක් තියෙනවා. එයින් දෙකක් හෝ තුනක් අඩුයි. අනිත් සියලු ඖෂධ මෙහි තියෙනවා. සාමාන්‍ය අනුමත ඖෂධවලට අමතරව වෙනත් ඖෂධ වර්ග සමහර වෛද්‍යවරුන් ලියා දෙනවා. ඒ කිව්වේ ඇතැම් ඖෂධ වර්ග පිළිකා රෝගීන්ට අවශ්‍ය නැහැ කියලා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ තීරණයක් අරන් තියෙන නිසා. ඒවා අපේ ලැයිස්තුවේ නැති ඒවා. නමුත් සමහර වෛද්‍යවරුන් ඒවා ලියනවා. ලිව්ව ම ඒවා රෝගීන්ට පිටින් ගන්න වෙනවා. වැඩි ප්‍රමාණයක් ඔය පිටින් මිල දී ගන්න වෙලා තියෙන්නේ එවැනි අවස්ථාවලදී තමයි. උපරිම වශයෙන් සාමාන්‍යයෙන් මාස දෙකක් හෝ තුනක් ඇතුළත හිඟ ඖෂධ සැපයීමට කටයුතු කරනවා.
ඒ වගේ ම එවැනි ඖෂධ දේශීය වශයෙන් මිල දී ගෙන සපයා දෙන්න කියලා රෝහල් අධ්‍යක්ෂවරුන්ට බලය දීලා තියෙනවා. ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. එවිට අනුමත ඖෂධවලින් එකක් හෝ හිඟ වුණොත් ඒවා ප්‍රාදේශීය වශයෙන් මිලදීගෙන ලබා ගන්න රෝහල් අධ්‍යක්ෂවරයාට පුළුවන්. සමහර ඖෂධ වර්ග නැති වුණත් ඒ සඳහා ආදේශක තියෙනවා. උදාහරණයකට වේදනා නාශක එක් වර්ගයක් නැති වුණත් ඒකට වෙනත් ආදේශකයක් තියෙනවා. ආනයනික ඖෂධවල තමයි බොහෝ විට හිඟ මතුවන්නේ. ඒකට හේතුව සමහරවිට ලියාපදිංචි වී නොමැතිකම. ගෙන එන ඖෂධවල තත්ත්වය ගැන වාර්තා නැතිකම. සමහර ඖෂධ ජාත්‍යන්තරය තුළ මිල දී ගැනීමට නොමැතිවීම යන කාරණා නිසා හිඟයක් ඇතිවෙලා තියෙන්නේ.