අල, ලූනු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් විශාල වශයෙන් පහළ ගොස් තිබෙන බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසයි.
රුපියල් 1,400කට පැවති හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 800 දක්වා පහත බැස තිබෙන අතර රුපියල් 1,400ක මිලක් සටහන් වූ කඩල කිලෝවක් අද රුපියල් 600 දක්වා පහත බැස තිබේ.
පසුගිය වසරේ විටින් විට ඉහළ ගිය බී ලූනු එම වසරේ දී රුපියල් 800ක් දක්වා මිල ඉහළ ගියා.
නමුත් අද වනවිට බී ලූනු කිලෝවක් රුපියල් 200ත් 220ත් අතර මිලකට මිලදී ගැනීමේ හැකියාව උදාවී තිබේ.
තිරිගු පිටි කිලෝවක් පසුගිය වසරේ දී රුපියල් 320ක් ලෙස දැක්වූ අතර අද වනවිට එහි මිල දැක්වෙන්නේ රුපියල් 165ක් ලෙසයි.
එමෙන්ම පසුගිය කාලයේ රුපියල් 600ක් දක්වා ඉහළ ගිය සැමන් ටින් එකක මිල අද වනවිට රුපියල් 380ක් දක්වා පහත වැටී තිබීමත් විශේෂත්වයක්.
මේ අතර බිත්තර සහ කුකුළු මස්වල මිල ගණන්ද සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති බවයි වෙළඳුන් පවසන්නේ.
පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයේ දී බිත්තරයක මිල පැවතුනේ රුපියල් 60ත් 65ත් අතරයි.
නමුත් අද වනවිට බිත්තරයක් රුපියල් 27ත් 30ත් අතර මිල දක්වා පහළ බැස තිබෙනවා.
පසුගිය වර්ෂයේ මෙම කාලයේදී කුකුළු මස් මිල ගණන් පැවතුනේ කිලෝවක මිල රුපියල් 1,600ක් වශයෙන්.
නමුත් අද වනවිට කුකුළු මස් කිලෝවක් රුපියල් 900ත් – 1,000ත් අතර මිලකට මිලදී ගැනීමේ හැකියාව උදාවී තිබෙනවා.