රට පුරාම මිනිසුන් කොරෝනාවෙන් බේරීමට ගෙවල් වලට වී සිටිති. සෞඛ්‍ය කාර්යමණ්ඩල, ආරක්ෂක අංශ ඇතුළු සුවිශේෂී අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක හැර අන් සියලුම මිනිසුන් මේ වන විට නිවෙස් වලට වී සිටිති. ඉහත කී සුවිශේෂී අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වන්නන්ට කොරෝනාවෙන් බේරීමට ආරක්ෂිත උපක්‍රම රජය මගින් හා වෙනත් ආයතන මගින් සපයා ඇත.

රජය රින්ගින් ටෝන් එකේ සිට රූපවාහිනී දැන්වීම දක්වාම උපදෙස් දෙන්නේ නිවසට වී සිටින ලෙසත් ඒකරාශී වීම් සිදු නොකරන ලෙසත්ය. මුහුණු පොතේ බොහෝ දෙනාගේ ප්‍රොෆයිල් පින්තූරය වටේට අලංකාරව යොදා ඇත්තේ STAY HOME ලෙසය.

මේ සියලු දේ මැද රටට විදේශ විනිමය ගෙන ඒමට දායකත්වය සපයන, දළ ජාතික නිෂ්පාදිකයෙන් 50%කට වැඩි පංගුවක් වෙනුවෙන් වෙනුවෙන් දහදිය වගුරන වෙළඳ කලාප සේවිකාවන්ගෙන් අති බහුතරයක් වෙසෙන කටුනායක වෙළඳ කලාපයේ සේවිකාවෝ 20,000ක පමණ පිරිසක් කෙරෝනා අවදානම මැද වෙළඳ කලාපය තුළ මේ වන විටත් සිරවී සිටියි. මේ තත්වය අනෙකුත් වෙළඳ කලාප වලටත් පොදු වීමට බොහෝ දුරට ඉඩ ඇත.

ජනාධිපති ලේකම්ගේ ලියුමෙන් සේවිකාවන් අසරණ වෙයි.

රටේ ආර්ථිකයේ බිඳ වැටීමක් ඇති වීම වළක්වා ගැනීම සඳහා අපනයන මූලික නිශ්පාදන නිපදවන කර්මාන්තශාලාවන්හි කටයුතු දිගටම බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ලේකම් වරයා විසින් හමුදාපතිවරයා සහ කොවිඩ් 19 ව්‍යසනයට එරෙහි බලකායේ ප්‍රධානී වන ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ලිපියක් මගින් දැනුම් දුණි. එකී ලිපිය පදනම් කරගෙන ඇතැම් කර්මාන්තශාලා හිමියන් කර්මාන්තශාලාවන් හි ගේට්ටු වසා දමා ඇඳිරි නීතිය පනවන අවසන් මොහොත තෙක්ම සේවිකාවන්ගෙන් වැඩ ගත් බව ඩාබිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්දීකාරක චමිලා තුෂාරි මහත්මිය පවසයි.

එසේ වැඩ ගත් පසු එකී කර්මාන්තශාලා විසින් හෝ රජය විසින් ඔවුනට ගම් බිම් බලා යාමට කිසිදු ප්‍රවාහන පහසුකමක් සකසා නොමැත.

කොරෝනාරක්ෂාවත් සනීපාරක්ෂාවත් සේවිකාවන්ට අකැපයි.

මෙම වෙළඳ කලාප සේවිකාවන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය මේ දැන් පැන නැගුනක් නොවේ. එම ප්‍රශ්නය නිරන්තරයෙන් සේවක අයිතීන් වෙනුවෙන් කටයුතු කරන වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නිරන්තරයෙන් මතු කරන ලද්දක්. එක බෝඩිමක 30ක 40ක ප්‍රමාණයක්ලෙස නවාතැන්ගෙන සිටින මෙම සේවිකාවන්ගේ සනීපාරක්ෂාව බරපතළ ලෙස ප්‍රශ්නකාරී වෙයි. එමෙන්ම ඔවුන් භාවිතා කරන්නේ පොදු වැසිකිළිය. ඉන් මේ අවදානම තව තවත් ඉහළ යයි. කොරෝනා අවදානම ඇති අවස්ථාවක මේ ආකාරයට විශාල කණ්ඩායම් ලෙස පැක් වී ජීවත් වීම අතිශයින්ම අවදානම් බව ඔනෑම අයකුට වැටහෙන දෙයකි. රින්ගින් ටෝන් එකෙන් ආණ්ඩුව කියන්නේත් එය අවදානම් බවයි.

මේ අවදානම තව තවත් වැඩි වන්නේ කටුනායක නිදහස් වෙළඳ කලාපය අයත් ගම්පහ දිස්ත්‍රික්කය අධි අවදානම් කලාපයක් ලෙස මේ වන විට නම් කර තිබෙන නිසයි. එසේ අවදානම් කලාප ලෙස නම් කර රටේ ජාතික ආදායම ඉපයීම උදෙසා සැලකිය යුතු දායකත්වයක් සපයන මෙම සේවිකාවන් නොතකා හැර කටයුතු කිරීම ඉතාම කණගාටුදායක තත්වයක්. ආණ්ඩුව විසින් මේ දක්වා ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා යැයි කියූ කිසිදු කටයුත්තකදී මෙම සේවිකාවන්ගේ තත්වය පිළිබඳ කිසිදු සඳහනතක් සිදු නොවුණි. ඔවුන්ව පැහැදිලි ලෙසම නොසළකා හැර ඇත.

කුසගින්නෙන් සේවිකාවන් පීඩාවට

මෙම සේවිකාවන්ගෙන් සාතිශය බහුතරයක් සිය උදෑසන හා දිවා ආහාර අවශ්‍යතා සපයා ගන්නේ කර්මාන්තශාලාහි ඇති ආපනශාලා තුළින්ය. රාත්‍රී ආහාර සපයාගන්නේ අවට පිහිටි වෙළඳ සැල් වලිනි. ඔවුන් ඒවාට මුදල් ගෙවන්නේ මාසයේ අන්තිමටය. නමුත් මේ වන විට පවතින තත්වය අනුව එකී වෙළඳ සැල් ණයට ආහාර ද්‍රව්‍ය විකිණීම නවතා දමා ඇත. විශේෂයෙන් ඇඳිරි නීතිය ඉවත් කල පසු මහා බඩු ගොන්නක් මිලදී ගැනීමට මේ සේවිකාවන්ට වත්කමක් නොමැත.

මේ වන විට මෙම 20000ක් පමණ සේවිකාවන්ට සිය දෛනික ආහාර වේල් සපයා ගැනීමේ බරපතළ අර්බුදයකට මුහුණ දී සිටියි.

ඔබ විසින් ඇඳිරි නීතිය ඉවත් කල පසු සියලු සුපිරි වෙළඳ සැල් වල ඇති භාණ්ඩ ඇති පමණ මිලදී ගත්තද, ආනයනය කරන ලද ඇතැම් එම භාණ්ඩ ආනයනය කිරීමට අවශ්‍ය විදේශ විනිමය සපයන නිශ්පාදන සඳහා දහදිය වගුරන සේවිකාවන් අද කුසගින්න දරාගත නොහැකිව අසරණව සිටිති.

ඩාබිඳු සාමූහිකයේ චමිලා තුෂාරි මහත්මියට අනුව රජය ප්‍රකාශ කර ඇති පරිදි ජංගම රථ යොදා ආහාර ද්‍රව්‍ය විකිණීමට කටයුතු කලද ඒවා මිලදී ගැනීමට මේ සේවිකාවන්ට මේ මොහොතේ වත්කමක් නොමැත.

මේ තත්වය තුළ රටේ සාතිශය බහුතරයක් නිවසට වී සිටියදී, මුහුණු පෙතො පණිවිඩ නිකුත් කරද්දී, ජාතියේ ජීවනාලිය බඳු වෙළඳ කලාප සේවිකාවන් අතිශයින් ඛේදනීය මෙන්ම අවදානම් තත්වයකට ඇද වැටී ඇත. වුහාන් හි සිර වී සිටි ප්‍රභූ පැළැන්තියේ දරුවන් අවදානමෙන් මුදවා ලංකාවට චීනයේ සිටම රැගෙන ආ ආණ්ඩුවට ජාතික ආර්ථිකයට ඉහළම දායකත්වය සපයන මේ නිර්ප්‍රභූ පීඩිත සේවිකාවන් නොපෙනේ. එක්කෝ ඔවුන්ට නිවෙස් බලා යාමට ඉඩ දිය යුතුය. නැතිනම් අවශ්‍ය පහසුකම් අඩුවකින් තොරව ලබා දිය යුතුය. දැනට ඇති හොඳම විසඳුම නම් මේ සේවිකාවන් සියලු දෙනා හැකි ඉක්මනින් කටුනායකට සැතපුම් සිය ගණනක් එහා පිහිටි ඔවුන්ගේ ගම් බිම් වෙත යැවීමය. ඒ සඳහා ආරක්ෂිත විධිමත් ප්‍රවාහන සේවයක් සැකසිය යුතුය. එය ආණ්ඩුවේ අත්හළ නොහැකි වගකීමකි.

ඈත ගම් බිම් වලින් පැමිණ ජීවිතය ගොඩ දා ගැනීමට අපමණ වෙහෙසක් දරනා යුවතියන් මේ ආකාරයට නොසළකා හැරීම මගින් එළිදරව් කරන්නේ ලංකාවේ සමාජයේ ඛේදවාචකයයි. මැෂිමද හිතද මහ හයියෙන් හඩන්නේ, ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ, යනුවෙන් බන්දුල නානායක්කාරවසම් ලිව්වේ මේ නොසැළක්ල්ලේ තරම හා අපේ සමාජයේ තරමයි.

-දුලාන් දසනායක.-

Similar Posts