බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර යළි විවෘත කිරීම සඳහා වූ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් නිකුත් විය.

එම නිර්දේශවලට අනුව රූපලාවණ්‍යාගාර හා බාබර්සාප්පුවලදී මුහුණ හා එම ආසන්න ස්ථාන ස්පර්ශ වන පරිදි සිදු කරන සියලු සේවාවන් තහනම් කර තිබේ.

ෆේෂල් දැමීම, ඇහිබැමි සැකසීම, මුහුණේ පැල්ලම් ඉවත් කිරීම, ආලේපන තැවරීම තහනම්ය. ඊට අමතරව රැවුල කැපීම, උඩු රැවුල කැපීම, රැවුල ඩයිකිරීම සිදු නොකළ යුතුය.

දැඩි ආරක්ෂණ රීති අනුගමනය කරමින් සිදු කළ හැකි ක්‍රියාකාරකම් ලෙස දක්වා ඇත්තේ කොණ්ඩා කැපීම, කොණ්ඩ කොට කිරීම, කොණ්ඩ ඩයි කිරීම, අත් සහ පාදවල නියපොතු සාත්තුව, අත් සහ පාදවල රෝම ඉවත් කිරීම යනාදී සේවාවන්ය.

රැවුල සහ උඩු රැවුල කැපීම සම්පූර්ණයෙන් තහනම්ය. සේවය ලබා දෙන්නා සහ සේවාලාභියා ඇසුරු කරන කාලය ඉතාම අඩුවිය යුතුයි.

සේවා ස්ථානයට ඇතුළුවන දොරටුව අසල අත්සෝදා ගැනීමට ජල කරාම ස්ථාපිත කළ යුතුයි.

සේවා ස්ථානයේ සියලු සේවකයන්ගේ තොරතුරු අයිතිකරු සතු විය යුතුය.

​රෝගාබාධ සහිත සේවකයන් සේවයට යොදා නොගත යුතුය.

සේවකයන්ගේ ශරීර උෂ්ණත්වයද දෛනිකව මැන බැලිය යුතුය.

Similar Posts