කිසිදු වරදක් නැති ෆේස් බුක් සටහනක් නිසා අත් අඩංඟුවට ගෙන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත (ICCPR) යටතේ සිරගත කර සිටින රම්සි රසාක් නම් මුස්ලිම් සමාජ ක්‍රියාකාරියා අද අප සමාජයේ ඕනෑම ක්‍රියාකාරිකයකුට හෝ ක්‍රියාකාරිනියකට අත්විය හැකි ඉරණමක් සංකේතවත් කරයි. මෙම පනත හෝ සයිබර් අපරාධ පනත හෝ යටතේ ඔහු අත්අඩංඟවට ගැනීමට කිසිදු සාධාරණ හේතුවක් නැත. ඔහු අත්අඩංඟුවට ගැනීම විසින් පෙන්වන්නේ පොලීසියට අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට ඇති බලයයි. මෙම බලයට අභියෝග නොකළහොත් හෙට ඕනෑම සමාජ ක්‍රියාාකරිකයකු හෝ ක්‍රියාකාරිනියක් කුදළාගෙන ගොස් සිරගත කිරීමට පොලීසිය සමත්වනවා ඇත. Z.L. මොහොමඩ් විසින් රම්සිගේ පවුලේ අය සහ මිතුරන් කිහිපදෙනෙකු සමඟ එක්ව පළ කරන ලද ලිපියක සිංහල පරිවර්තනය අප පළ කරන්නේ රම්සිට යුක්තිය ලබා ගැනීමට මෙන්ම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමට දායක වීමක් ලෙසය.
රම්සි රාසික් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණේ 2020 අප්‍රේල් 9 වන දින මහනුවර කටුගස්තොට අසල ඔහුගේ නිවසේදීය. පසුදා ඔහු කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී ඔහු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයිසීසීපීආර්) සහ සයිබර් අපරාධ පනත උල්ලංඝනය කර ඇති බවට රහස් පොලිසිය පැමිණිළි කළේය. දැන් මාසයකටත් වඩා ඔහු රිමාන්ඩ් භාරයේ පසුවෙයි.
සංවිධානාත්මක මුස්ලිම් විරෝධී ප්‍රචාරයන් නතර කිරීම පිනිස “දෘෂ්ටිවාදාත්මක ජිහාඩයක්” අවශ්‍ය බවට අප්‍රේල් 2 වන දින ෆේස්බුක් සටහනක් තැබීම ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු විය. එහි ජිහාඩ් යන වචනයෙන් අරගලය යන්න හැර වෙනත් අදහසක් ගම්‍යවේයැයි අදහස් නොකරන්නේ නම් මෙම සටහන සාමන්‍ය දෙයකි. ඇත්ත වශයෙන්ම ඔහු ජිහාඩ් යන්නෙන් අදහස් කරන ලද්දේ ද අරගලය යන්නය. කෙසේ වෙතත්, එම සටහන නිසා ඔහුට සහ ඔහුගේ පවුලේ අයට එරෙහිව ප්‍රචණ්ඩත්වය යොදා ගන්නා ලෙස හඩගෑම් ඇතිවිය. එහි ප්‍රතිපලයක් ලෙස ඔහු අප්‍රේල් 3 වන දින තමා නිහඩවනබවට පේස්බුක්හි සටහනක් තැබීය.
ඇඳිරි නීතිය පැනවීමත් සමඟ අපේ‍්‍රල් 9 වන දින උදෑසන රම්සි මෙම තර්ජන පිළිබඳව අන්තර්ජාල අකෘතියක් මගින් පොලිසියට පැමිණිලි කළේය. එදිනම දහවල් රහස් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඔහු හමුවට පැමිණියෝය. ඔවුන් රම්සි කොළඹට රැගෙන ගියේ ඔහු පසුදා නිදහස් කරන බවට ඔහුගේ පවුලේ අයට දැනුම් දෙමිනි. ඒ වෙනුවට මිනිත්තුවක දුරකථන ඇමතුමක් හැරෙන්නට පවුලේ අයට මේතාක් ඔහු සමඟ කිසිදු සම්බන්ධයක් පැවැත්වීමට ලැබී නැත.
රම්සිගේ දුර්වල සෞඛ්‍ය තත්වය දුටු කොටුව මහේස්ත්‍රාත්වරයා ඔහුව බන්ධනාගාර රෝහලට හෝ මහ රෝහලට යවන ලෙස නියම කළේය. කෙසේ වෙතත්, ඔහු යවන ලද්දේ නිරෝධායන මධ්‍යස්ථානයක් වන මීගමුව පල්ලෙන්සේන බන්ධනාගාරයටයි. නිදහස් කරන ලද පුද්ගලයෙකුගෙන් දැනගන්නට ලැබුණ පරිදි ඔහු රඳවා තබනු ලැබුණේ තවත් 85 ක් පමණ සිටි අඩි 20 x 40 ක පමණ සිර මැදිරියකය. වෛද්‍ය ප්‍රතිකාර හෝ ඖෂධ හෝ නොමැතිව දින 25 ක් එහි රැඳී රඳවා සිටි ඔහු මැයි 6 වන දින වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කරන ලදී.
දින තුනක් අධිකරණයට හමුවට ඉදිරිපත් කරන ලද නමුත්, අයිසීසීපීආර් පනත යටතේ චෝදනාව ඉදිරිපත් කිරීමේ හේතුවෙන් නිදහස් කිරීම හෝ ඇප ලබා දීම සම්බන්ධයෙන් අධිකරණ තීරණයක් ලබා ගත නොහැකි වී ඇත. වසංගතයෙන් නිසා ඇතිවූ ප්‍රමාදයන් නොතිබුණද, අයිසීසීපීආර් යටතේ චෝදනා ලැබූවන් ඇප මත මුදා හැරීමට මාස ගණනාවක් ගත වේ. ඇඳිරි නීතිය නිසා මහනුවර සිටින ඔහුගේ ඥාතීන්ට සහ මිතුරන්ට ඔහුට අවශ්‍ය නීතිමය ආරක්ෂාව සංවිධානය කිරීමට හෝ ඔහුට අවශ්‍ය දේ සැපයීමට නොහැකි වූ නිසා ප්‍රමාදයන් තවත් උග්‍ර විය.
රම්සි කව්ද?
රම්සි යනු ඔහුගේ පාසල් මිතුරන්, ඔහු වසර 25 ක් සේවය කළ රජයේ ආයතනවල සහ මහනුවර අවට සමාජ සේවා කටයතු කරන ජාල කිහිපයක් හැරුණ විට ඔහුගේ ප්‍රදේශයෙන් පිටත ප්‍රසිද්ධ නැති පුද්ගලයෙකි. 1998 දී ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ තෙබස් නිපුණතා පරිවර්තන ඩිප්ලෝමාව හදෑරූ ඔහු වසර 2000 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 1 ශ්‍රේණියේ ත්‍රෛභාෂා පරිවර්තකයෙකු ලෙස පත්වීමක් ලැබුවේය. ඉන්පසු ඔහු කොළඹ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයන්හි පශ්චාත් උපාධි පාඨමාලා වලට සහභාගී විය. පසුව ඔහු අධිකරණ අමාත්‍යාංශයේ දිවුරුම් දුන් පරිවර්තකයෙකු ලෙස ලියාපදිංචි විය.
ඔහුගේ මව ලතීෆා රසීක් දිගු කලක් සේවය කිරීමෙන් පසු විශ්‍රාම ගිය ගුරුවරියකි. රම්සි ඇගේ දරුවන් සිව්දෙනාගෙන් වැඩිමලාය. වයස අවුරුදු 73ක් වන ඇය වසය නිසා ඇතිවිය හැකි නොසන්සුන්තාව සහ මානසික ආතතිය නොතකා සිදු වූ දේ සහ ඇයගේ කරදර ගැන ඇය මතකයට නැංවූවාය.
ස්ටාර් රසීක්
රම්සිගේ අභාවප්‍රාප්ත පියා – ඔහු “ස්ටාර් රසීක්” ලෙස හැඳින්විණි – ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි සහ ලේක් හවුස් සමූහයෙහි නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ අතර සමාජ සේවා කටයුතුවල නියැළුනි.
මහනුවර ප්‍රාථමික පාසල් ගුරුවරියක් වන රම්සිගේ බිරිඳ ෂර්මිලා සිටින්නේ ඔහුට මහුණ දීමට සිදුවූ තත්වය ගැන දැඩි වේදනාවකිනි. දීර්ඝ කාලයක් යළි පැමිණිමට නොහැකිවීමේ යථාර්තයත් හා බියකරු නීතිමය ක්‍රියාදාමයත් දරා ගැනීමට ඇයට සිදුව තිබේ. තම පියා සිරගත කිරීම නිසා කම්පනයට පත්ව සිටින පාසල් යන දරුවන් දෙදෙනෙකු ද ඇය බලා කියාගත යුතුය.
කුඩා කල සිටම රම්සිට ආතරයිටිස් සහ ඔහුගේ දෙපාවල සුව කළ නොහැකි දද තිබුණි. ඔහු වසර 35 ක් තිස්සේ එක දිගට බෙහෙත් ලබාගෙන ඇති අතර එමගින් ඔහුගේ වකුගඩු, අක්මාව හා හෘදයට අතුරු ආබාධ ඇතිව තිබේ. රහස් පොලිසිය විසින් රැගෙන යන අවස්ථාව වන විට, ඔහුට ආතරයිටිස් විශේෂඥයකුගේ සහ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙකුගේ උපදෙස් පරිදි අප්‍රේල් මස මුලදී අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණක් සිදු කිරීමට නියමිතව තිබුණි.
පසුගිය දශක කිහිපය තුළ, රම්සිගේ සෞඛ්‍ය තත්වය හේතුවෙන් බොහෝ විට නිදා ගැනීම දුෂ්කර විය. ඇවිදීමට වූ ඔහුගේ දුර්වලතා හේතුවෙන් කොටු වී සිටි නිසා, ඔහු ප්‍රාදේශීය පුවත් පත් සහ පේස්බුක් සඳහා ලිවීමට පෙළඹුණි. ඔහුගේ පේස්බුක් සටහන් පරීක්ෂා කළ ස්වාධීන ලේඛකයින් ඔහු යුක්තිය වෙනුවෙන් පෙනී සිටි බවත් උත්සන්න වන වෛර කථනයන් සහ මෑතකදී මුස්ලිම්වරුන් මුහුණ දුන් තර්ජන ගැන අනතුරු ඇඟවූ බවත් මුස්ලිම්වරුන් අතර පවත්නා අන්තවාදයද විවේචනය කළ බවත් නිරීක්ෂනය කර තිබේ. ඊට පටහැනිව, ඔහු සියලු ජනවර්ගවල මිතුරන් සමඟ වැඩ කරමින් සාධාරණත්වය, සමගිය සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර තිබේ.
තරුණ මිතුරන් සමඟ
ඔහු මහනුවර වැඩිමහල් තරුණ තරුණියන්ගේ සාමූහිකයක් වන “තරුණ මිතුරන්” වැනි විවිධ සමාජ සේවා සංවිධානවල ක්‍රියාකාරී වී ඇත. 2018 මාර්තු මාසයේදී මහනුවරදී දාමරික රංචු ප්‍රචණ්ඩත්වය පැතිර ගිය පසු සහනසේවා සංවිධානය කළ මුල්ම අය අතර “තරුණ මිතුරන්” ද විය.
ඔහුගේ නිවසට ආසන්න ප්‍රදේශයකදී, ඔහුගේ මාමාට අයත් ගොඩනැගිල්ලක් ඇතුළුව ආයතන දුසිමි ගනනාවක් කොල්ලකන ලදී නැත්නම් ගිනිබත් කරන ලදී. එම අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි ගොනු කිරීම, වැරදිකරුවන් නම් කිරීම සහ සාක්ෂි එකතු කිරීම සහ ඉදිරිපත් කිරීම, එක් අත්අඩංගුවට ගැනීමක් සහ ඉක්මණින් නිදහස් කිරීමක් හැරෙන්නට වසර දෙකක් ගතවීත් පොලිසිය විසින් කිසිදු පසු විපරමක් කර නොමැත.
මහනුවර සිදුවූ දාමරික ප්‍රචණ්ඩත්වයන්ගෙන් පසු, කුරුණෑගල පාරේ සිදුවූයේ කුමක්දැයි සොයා බැලූ අය යොමු වූයේ රම්සි ය. මීට වසර දෙකකට පෙර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එස්. එච්. හස්බුල්ලා සහ මම එම ප්‍රදේශයට යාමට සැළසුම් කළ විට, අප දෙදෙනාටම වෙන වෙනම උපදෙස් ලැබුණේ ඔහු සම්බන්ධ කර ගන්නා ලෙසයි.
රම්සි අප සැම තැනකටම ගෙන ගියේ ඔහුගේ ශාරීරික සුවපහසුව සහ සෞඛ්‍යය ගැන එතරම් අවධානයක් නොදක්වමින් සිය කාලය කැප කරමිනි. වින්දිතයන් සමඟ ඔහුගේ කතාබහේදී වලදී ඔහු කරුණාවන්ත හා මෘදු විය. රම්සි සමඟ ඇති ඔවුන්ගේ යහපත් සම්බන්ධතාවය සහ සංවේදනය නිසාම ඔවුන් අප හොඳින් පිළිගත්තේය. කම්පනයට පත්ව සිටියේ වුවද බොහෝ අලාභගානි විඳ තිබුණද ඔවුන් සමඟ වූ සංවාදය විවෘත හා ගැඹුරු එකක් විය.
මහාචාර්ය හස්බුල්ලාගේ ජීවිත කටයතු මහත් ප්‍රමාණයක් වෙන්ව ඇත්තේ පසුගිය දශක 3 තුළ අයුක්තිය, වෛරය, ප්‍රචණ්ඩත්වය සහ එහි ප්‍රතිපල හේතුවෙන් උතුරු ප්‍රජාවන් අතර සිදු වූ දේ පිළිබඳව ය. ඔහු දකුණෙහි ඇතිවිය හැකි අනතුර අන් සියල්ලන්ට වඩා තේරුම් ගත්තේය. සංවාද කිහිපයකදී ඔහු ඉවසීමේ අවශ්‍යතාවය, ප්‍රජාවන් අතර සබඳතා ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින්, තරුණ රැඩිකලීකරණය සහ මුස්ලිම්වරුන්ගේ හුදකලාකරණයට එරෙහිව අනතුරු ඇඟවීය. රම්සි මෙම සංවාදයන්හි ගැඹුරින් නිරත වූ අයෙකි.
පසුව, සමගිය හා අන්තර් වාර්ගික සංවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා එක්ව වැඩ කරනු වස් බහු වාර්ගික කණ්ඩායමක බුද්ධි කලම්බන සාකච්ජාවක් සංවිධානය කිරීමට උදව් කරන ලෙස රම්සිගෙන් ඉල්ලා සිටි විට, ඔහු (යෝග්‍ය පුද්ගලයින් සෙවීම පිනිස) තම අමාරුකම් නොසළකා යතුරුපැදියක පසුපස නැගී දිගන කරා ගියේය.
ඇත්ත හේතුව කුමක්ද?
රම්සිගේ එදිනෙදා ජීවිතය, තෝරාගත් අයට වෙනස්ව සැළකීම විසින් උඩියටිකරු කොට තිබේ. ජාතික හදිසි අවස්ථාවකදී, තමාට සහ තම පවුලේ අයට එරෙහි ප්‍රචන්ඩ තර්ජන හේතුවෙන් සිය ෆේස්බුක් සටහන් ඒ වනවිටත් නවතා තිබූ ආබාධිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ප්‍රමුඛත්වය දී ඇත්තේ ඇයිද යන්න තවමත් තේරුම් ගත නොහැකිය.
වසංගතය හේතුවෙන් අංශභාගය ආසන්නයේ පවතින අධිකරණ පද්ධතියකට තවත් නඩුවක් ඔවුන් ගොඩගැසුවේ ඇයිද යන්න තවමත් තේරුම් ගත නොහැකිය. ඔහුගේ වෛද්‍ය අවශ්‍යතා සහ ආබාධිත තත්වයන් සඳහා අධිකරණයේ උපදෙස් පිළිපැදීමට බලධාරීන් අපොහොසත් වූයේ මන්ද යන්න තවමත් තේරුම්ගත නොහැකිය.
වසංගතය සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කිරීම සඳහා පුරවැසියන්ට පවා දෘඩ ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශකර ඇති අවස්ථාවකදී රෝගය බෝවන අවදානමක් ඇති ස්ථානයකට පොලීසිය තවතවත් සිරකරුවන් එකතු කරන්නේ මන්ද යන්න තවමත් තේරුම් ගත නොහැකිය.
කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම මගින් ඔහු සහ ඔහු වැන්නන්ට බාධා කොට තරවටු මගින් නිශ්ශබ්ද කිරීමට අදහස් කරන්නේ නම් එය සාර්ථක විය හැකිය. එසේ නමුත් ඔහු නිදහස් කරනු ලැබුවද, ඔහුට, ඔහුගේ පවුලට සහ අපගේ පොදු මිනිස් සමජයට සිදුවී ඇති දරුණු හානිය කලක් පවතිනවා ඇත.
Z.L. මොහොමඩ් විසින් (ඔහුගේ පවුලේ අය සහ මිතුරන් කිහිපදෙනෙකු සමඟ). ඉංග්‍රිසියෙන් ලියා පළ කරන ලද ලිපියක සිංහල පර්වර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් ව්සිනි. උපුටා ගැනීම – ශ්‍රී ලංකා බ්‍රීෆ්