ඇමති ආරුමුගම් තොන්ඩමාන් මිය ගියේය. නිරෝධායන නීති මධ්‍යයේ අනෙක් අවමගුල් උළෙල මෙන් නොව ඔහුගේ අවමගුල් උළෙල දින 6ක් පැවැත්වීමට තීරණය කර ඇත. කොළඹ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති ඔහුගේ දේහය අද(28) දින උදේ වරුවේ පාර්ලිමේන්තුවටත්, හවස කොළඹ පක්ෂ කාර්යාලයටත් රැගෙන ඒමට නියමිතය.

හෙට දිනයේ එය තොන්ඩමාන් මහතාගේ දේශපාලන බලකොටුව වන සීතල කදුකරයට රැගෙන යයි. එය කොත්මලේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරෙනු ඇති අතර, ඊළග දිනයේ එය කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රසයේ ප්‍රධාන මූලස්ථානයේ තැන්පත් කරනු ඇති. ඉන් පසු නොර්වුඩ් ක්‍රීඩාංගණයේදී ඔහුගේ දේහයේ ආදාහන කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය.

විය යුතු පරිදිම ඔහුගේ තරුණ පුත් ජීවාන් තොන්ඩමාන් මේ වන විට දේශපාලන පිටියට අවතීර්ණ වී තිබේ. ඒ වතුකරයේ දේශපාලනයේ ස්වරූපයයි. ජීවාන් මෙවර මහ මැතිවරණයෙන් අතිවිශාල මනාප සංඛ්‍යාවක් ලබා පාර්ලිමේන්තුවට පත් වනු නියතය. ඒ ගැන පර්යේෂණ අවශ්‍ය නැත. මෙවර මැතිවරණයේදී අනිවාර්යයෙන් වතුකර දේශපාලනයේ යම් තාක් දුරට පසු බා සිටින තොන්ඩමාන්ලා හා ලංකා කම්කරු කොංග්‍රසය සැලකිය යුතු ලෙස ඉදිරියට එනු ඇතැයිද අපට පුරෝකථනය කල හැක.

තොන්ඩමාන්ලාගේ දේශපාලනය ආරම්භ වන්නේ සෞම්‍යමූර්ති තොන්ඩමාන් නම් හිටපු ඇමතිවරයාගෙනි. ඔහු වතුකරයේ ජනයාගේ වීරයෙකි. වසර 86ක් ආයු වළඳා 1999දී මිය ගිය ඔහු මිය යන විටත් චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුවේ ඇමතිවරයෙකි. සුවිශේෂීම කරුන නම් ඔහු 1977 සිට 1999 තෙක්ම විධායක ජනාධීපතිවරුන් සිව් දෙනෙකු යටතේ වසර 23ක් ඇමතිවරයකුය.

ආරුමුගම් තොන්ඩමාන් 1994 මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර 1999 සිය සීයා වූ සෞම්‍යමූර්ති තොන්ඩමාන්ගේ අභාවයෙන් පසු ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකත්වයට පත් විය. 1977 සිට අද දක්වා කාලය ගත් විට තොන්ඩමාන්ලා ඇමති කමක් නැතිව සිටියේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ වසර 5 පමණය. ඔවුන් ඒ අවස්ථාවේදීද ආණ්ඩුවට එක් වීමට සූදානමින් සිටියත් දිගම්බරම් කණ්ඩායමේ විරෝධය ඊට හරස් විය. තවත් සුවිශේෂී කරුණක් නම් ඔවුන් මේ සියලුම අවස්ථාවල දරා ඇත්තේ වතු යටිතල පහසුකම් ඇමති ධූරයයි.

වසර ගණනාවක් වතු යටිතල පහසුකම් ඇමති ධූරය දැරූ තොන්ඩමාන්ගේ වතුකරයේ තත්වයේ සාධනීය වෙනසක් නොමැත. නමුත් මේ වන විටත් තොන්ඩමාන්ගේ මරණය වතුකරයම කම්පනයට ලක් කිරීමට සමත්ව ඇත. ඔහුගේ පක්ෂ කාර්යාලය ඉදිරිපිට වතුකරයේ ජනයා හඩා වැලපෙන දර්ශන අපට මාධ්‍ය ඔස්සේ දැක ගත හැකිය. ඔහුගේ මරණයෙන් වතුකරයේ ජනයා කොතරම් කම්පනයට ලක් වූයේද යන්න මීළග මැතිවරණයෙන් අපට හොඳින්ම පැහැදිලි වනු ඇත.

වතුකරයේ ජනයාගේ තත්වය ලැයිම් කාමරයෙන් මෙපිටට පැමිණ නැති බව නොරහසකි. අද වන විටත් ඔවුන්ගේ දෛනික වැටුපේ ගැටළුවට විසඳුමක් නැත. එය ඉතාම සොච්චම් මුදලකි. ඔවුන් සාතිශය බහුතරයක් වත්තේ පාලනයට ගැට ගැසී ඇත. ඔවුන්ගේ උපත ලියාපදිංචි වන්නේද වතු උපත් ලෙස වතු අධිකාරිවරයාගේ මැදිහත්වීමෙනි. අනෙක් ජන සමාජයට උරුම බොහෝ අයිතිවාසිකම් ඔවුන්ට නැත. ඔවුන්ගේ පීඩිත ජීවිත ගැන අප නැවත නැවත සටහන් කිරීම අවැසි නැත. එය සියළුම තරා තිරමක මිනිසුන් දනී.

නමුත් වතුකරයේ ජනයාට තොන්ඩමාන් වීරයෙකි. ඇත්තටම රජෙකි. තොන්ඩමාන්ලාගේ බලයට එරෙහිව තීරණාත්මක කැරළි ගැසුවේ කඳු රට ජනතා පෙරමුණේ නායක චන්ද්‍රසේකරන් හා පලනි දිගම්බරම්ය. ඒ ගැනද මෙහි සටහන් කල යුතුය. එසේ බලය අඩු වුවද තොන්ඩමාන්ගේ රාජකීයත්වය බිඳ වැට්ටවීමට ඔවුන් සමත් නොවුනි.

වතුකරයට තොන්ඩමාන් විරයෙක් මෙන්ම රජකේ වන්නේ වතුකරයේ ජනයා බැඳ තබන ආර්ථික වැඩවසම්භාවයයි. ශ්‍රී ලංකාවේ තේ ආර්ථිකය රැඳී පවතින්නේ මේ වතුකරයේ ජනයාගේ ආර්ථික වැඩවසම්භාවය හා ඒ මත ගොඩ නැගුණු දරිද්‍රතාවය මතය. වතු ජනයාගේ ඉපදීමේ සිට වැඩවසම්භාවයක් හුරු කරවයි. ඒ වත්තේ වතු අධිකාරි වරයාගේ පාලනයට ඔවුන්ව ගැට ගසමින්ය. දරුවකු ඉපදීමේදී උප්පැන්න සහතිකයද ගත යුත්තේ වතු අධීකාරිවරයා මගිනි. වතු රෝහල් තවමත් ක්‍රියාත්මක වෙයි. ආර්ථික වශයෙන් වහල් ලෙස සේවය සිදු කරයි. මේ වැඩවසම්භාවය බිඳ වැටුණු විට තේ ආර්ථිකයට මේ ආකාරයට පැවතිය නොහැක.

තේ ආර්ථිකය පැවතීමට නම් ලැයිම පවත්වාගෙන වත්තේ වහලුන් ලෙස වතු කම්කරුවන් තබා ගත යුතුය. තොන්ඩමාන්ලා පැවතීමට නම් ඒ වගේම වතු කම්කරුවාගේ වැඩවසම් මනස තිබිය යුතුය. එසේ නම් තේ ආර්ථිකය වගේම තොන්ඩමාන්ලාගේ පැවැත්මට වතු කම්කරුවාගේ වැඩවසම් මනස හා ආර්ථික දරිද්‍රතාවය අවශ්‍යය. තොන්ඩමාන්ලා සිදු කලේ පුංචි ආතල් එකක් වතු කම්කරුවාට ලබා දීමය. වැසිකිළි පෝච්චිය බෙදීමේ සිට එය සිදු වෙයි. එමෙන්ම වතු කම්කරු වැටුප වැඩි කිරීමට මහා සද්දයක් දමා හාම්පුතුන් සමග ඩීල් එකකින් සොච්චම් ගණනක් වැටුප් වැඩි කර දෙයි. වතු කම්කරුවාගේ වැඩවසම් මනසට මේ ගනුදෙනුව නොතේරෙයි. ඒ වැඩි වුනු සොච්චම පීඩිත වතු කම්කරුවාට මහමෙරකි. වැඩි කිරීමට මැදිහත් වුනු තොන්ඩමාන් වීරයෙකි රජකෙි. හාමුපුතුනුත් ගොඩය. තොන්ඩමානුත් ගොඩය.

තොන්ඩමාන්ලා බිහි වන්නේ මෙම වැඩවසම් සමාජ දේශපාලනය තුළිනි. තොන්ඩමාන්ලා වීරයන් රජුන් වන්නේ එබැවිනි. මේ වන විට වතුකරයේ ජනයා තොන්ඩමාන් වෙනුවෙන් හඩා වැළපීම ගැන දාර්ශනික ටෝක්  දෙන බොහෝ දෙනා නොදන්නේ ඔවුන්ද යම් තරමකට අසු වී ඇත්තේ වැඩවසම්වාදයේ උගුලකට බවය. එය වතුකරයේදී ඇත්තේ මහා පරිමාණවය. තොන්ඩමාන්ලා වතුකරයේ ජනයාව පාවිච්චි කරනවා යැයි කියමින් ඇගිලි දිගුකරන බොහෝ දෙනා දැන ගත යුත්තේ ඒ ඇගිලි තමන් වෙතටත් එල්ල වී ඇති බවය.

නිදහසින් පසු වසර ගණනාවක් ඉක්මව ගොස් ඇතත් වතුකරයේ ජනයාට සමාන ආර්ථික වරප්‍රසාද හා අයිතිවාසිකම් ලබා දීමට නොහැකි වී ඇත්නම් ඔවුන් තවමත් ඉන්නේ වැඩවසම්වාදයේ අඳුරක නම් ශ්‍රී ලංකාවේ සමස්ත ජනයාම වගකිවයුතු කරුණකි. තොන්ඩමාන්ලා පමණක් නොව වතුකරයේ දරිද්‍රතාවය හා වැඩවසම්භාවය නඩත්තු කිරීමට සමස්ත ශ්‍රී ලාංකිකයන් කටයුතු කර ඇත. තොන්ඩමාන්ලා වතුකරයට රජුන් වන්නේ ඒ නිසාය.

දුලාන් දසනායක

Similar Posts