සංවර්ධනය සඳහා ගමන් කරන ශ්‍රී ලංකාවේ, සන්නිවේදන කුලූනක් පමණක් නොව ශ්‍රී ලංකා ධජය සේ මේ රට හැඳින්වීම සඳහා වන සංකේතයක් ලෙස ඉදිවන නෙලූම් කුලූන පසුබිම සැකසෙන්නේ, මහින්ද රාජපක්ෂ රජය යටතේය. 2011 වසරේ ඔක්තෝම්බර් 27 සහ දෙසැම්බර් මස 14 වෙනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ මගින් බහු සම්පේ‍්‍රෂණ රූපවාහිනි සහ විදුලි සංදේශ කුලූන ඉදිකිරීම සඳහා යන ශීර්ෂය යටතේ නෙළුම් කුලූන ඉදිකිරීම සඳහා වන කැබිනට් තීරණය ගනු ලැබීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීනයේ සංචාරය කරන ලද අවස්ථාවකදී ඇතිවූ අදහසක් අනුව නිර්මාණය වූ සන්නිවේදන කුලූනු සංකල්පය අනුව නිර්මාණය වූ නෙලූම් කුලූන,විවෘත කිරීම සිදුවූයේ පසුගිය 16 වැනිදා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතිනි. අදාළ විවෘත කිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් සිය කතාවේදී පවසන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය, නෙලූම් කුලූනේ සන්නිවේදන හැකියාවද පරදවමින් රට පුරා මොහොතකින් ප්‍රචාරය විය.
නෙළුම් කුලූන ඉදිකිරීම සඳහා ගිවිසුම්ගත වූ චීනයේ එක් සමාගමක් වන ඒලිට් සමාගමට රජය අත්තිකාරමක් ලෙස ගෙවූ රුපියල් බිලියන දෙකක මුදලට සිදුවූ දෙයක් හොයා ගන්නවත් නැතැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. රුපියල් බිලියන දෙකක් අත්තිකාරම් එසේ ගෙවන ලද සමාගම ව්‍යාජ එකක් බවත් ද එහි සඳහන් ලිපිනයේ එවැනි සමාගමක් නැති බව චීන තානාපතිවරයාට තමන් කළ දැනුම් දීමකින් පසුව අනාවරණය වූ බවත්, කුලූන ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත වියදම වූ රුපියල් බිලියන 19 ක ප්‍රමාණය, ණය මුදලක් ලෙස සැපයීමට චීනයේ එක්සිම් බැංකුව එකඟ වී තිබූ බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය. මෙම බරපතළ චෝදනාව සම්බන්ධයෙන් අප විමසා සිටියේ, එවකට විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කරන ලද අනුෂ පැල්පිට මහතාගෙනි.