මේ වසරේ නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිතව ඇත්තේ 08 වැනි ජනපතිවරණයයි. ඒ සඳහා නාම යෝජනා බාර ගැනීම ඔක්තෝබර් 07 වන දින සිදු වූ අතර එහිදී මෙවර අපේක්ෂක ලැයිස්තුව ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත්තේ මෙවර ජනපතිවරණය සඳහා කෝටි 500ක මුදලක් වැය වනු ඇති බවද එය අපේක්ෂා කළ මුදලට වඩා තවත් රුපියල් කෝටි 100ක වියදමක් බවයි. මීට ප්‍රධානම හේතුව වී ඇත්තේ මෙවර ජනපතිවරණය සඳහා බලාපොරොත්තු නොවූ ලෙසට විශාල අපේක්ෂකයින් පිරිසක් ඉදිරිපත් වී සිටීමයි. මැතිවරණ පැවැත්වීම ප්රජාතන්ත්රවාදයේ අත්‍යවශ්‍ය අංගයක් වුවද ඒවා සඳහා වැය වන්නේ මහජන මුදල්ය. එබැවින් එම වියදම් හැකිතාක් දුරට අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් වේ.
පසුගිය ජනාධිපතිවරණ සඳහා තරග කළ අපේක්ෂකයන් පිළිබඳ දත්ත වලට අනුව ලංකාවේ පැවති මුල්ම ජනපතිවරණය වූ 1982 වසරේ පැවති ජනපතිවරණය සඳහා අපේක්ෂකයින් 06 දෙනෙකු ඉදිරිපත්වී ඇත. 1988 ජනපතිවරණයේදී අපේක්ෂකයින් 03 දෙනෙකු තරග කර ඇත. 1994 ජනපතිවරණයේදී එම ගණන දැක්වුනේ 06ක් ලෙසය. 1999 ජනපතිවරණයේදී 13කි. 2005 ජනපතිවරණයේදීද 13කි. 2010 ජනපතිවරණයේදී 22කි. අවසන් වරට පැවති 2015 ජනවාරි 08 වැනි දින පැවති ජනපතිවරණයට අපේෂකයින් 19 දෙනෙක් තරග කළහ. මෙවර පැවැත්වෙන ජනපතිවරණය සඳහා අපේක්ෂකයින් 35ක් තරම් විශාල පිරිසක් තරග කරන නිසා අගල් 26ක් දිග ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට මැතිවරණ කොමිසමට සිදුවී තිබේ. මෙසේ අපේක්ෂකයින් ප්‍රමාණය වැඩිවීම නිසා ඡන්ද පොළ නියෝජිතයන්ගේ සංඛ්‍යාව 70 දක්වාත් ඡන්ද ගණන් කිරීමේ නියෝජිතයන්ගේ සංඛ්‍යාව 175 දක්වාත් ඉහළ යන බව මැතිවරණ කොමිසම මේ වන විටත් ප්‍රකාශ කොට තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ ප්රචන්ඩ ක්‍රිය නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා කියා සිටින්නේ ජනපතිවරණය සඳහා ඇප තැන්පත් කිරීමේදී එසේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රමාණය දැක්වෙන නීතිය 1981 සිට මේ දක්වා සංශෝධනය වී නොමැති බවත් එබැවින් එම වකවානු වල පැවති ඇප තැන්පත් කිරීමේ මුදලම තවමත් ක්‍රියාත්මක වන බවත් ඊට සාපේක්ෂව බලන විට රජයේ මාණ්ඩලික නිලධාරියෙකුගේ වැටුප 50 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවත් එම තත්වය මීට බරපතල ලෙස බලපා ඇති බැවින් මෙම ඇප තැන්පත් කිරීමට අදාළ මුදල් ප්‍රමාණය සංශෝධනය කිරීම කෙරෙහි ව්‍යවස්ථාදායකයේ අවධානය යොමු විය යුතු බවයි.
සටහන : හිරෝෂන් ලක්ෂාන්
|
|
|