තිස්වසරක තිස්සේ පැවැති පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනස් කොට අන්තවාදීන්ට යටත් නොවුණු පාර්ලිමේන්තුවක් ඉතිහාසයේ පළමුවරට බිහිකරන බව මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අන්තවාදීන්ට යටත් නොවුණු පාර්ලිමේන්තුවක් මෙවර මහ මැතිවරණයෙන් අනතුරුව ස්ථාපිත කළ හැකි වාතාවරණයක් දැකිය හැකි යැයි කුණ්ඩසාලේ බලගොල්ලේ අභීත එස් ක්‍රීඩාංගනයේදී ඊයේ (21) පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජන හමුව ඇමතූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනයේ  සිරවී ඇති තැන් නිදහස් කරගැනීමට මෙන්ම ස්වාධීන යැයි කියන ව්‍යවස්ථාවක් සහිත දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා ජනතාවගෙන් තුනෙන් දෙකක බහුතර ජනවරමක් අවශ්‍ය වී ඇතැයි කීවේය.

සෞභාග්‍යයේ ඉදිරි දැක්ම දියත් කරන යුගයක් නිර්මාණය කිරීම සඳහා තුනෙන් දෙකක ජන බලවේගයක් අවශ්‍ය යැයි කී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

අද රටේ සාම්ප්‍රදායික මැතිවරණය සංස්කෘතිය තුළ වෙනසක් සිදුවී තිබෙනවා. කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු යැයි කියාගන්නා ඡන්දදායකයන් අද  රට දියුණු කළ හැකි, රට සංවර්ධනය කරා ගෙන යා හැකි පක්ෂ කරා යොමු වන තත්ත්වයක් දකින්න තිබෙනවා. ඒ තත්ත්වයේ දියත් කළ හැකි එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණයි.

එක්සත් ජාතික පක්ෂයේ නිර්මාපක මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාට රනිල් වික්‍රමසිංහ මහතා ආදේශ කරන්න පුලුවන්ද? ඩඩ්ලි සේනානායක මැතිතුමාට සජිත් ප්‍රේමදාස මහතා  ආදේශ කරන්න පුලුවන්ද?

අද ඡන්දදායකයන් පෙන්වා තිබෙන්නේ ඔවුන් දෙදෙනාගේ පරතරය තමයි. ඒ නිසයි සාම්ප්‍රදායික දේශපාලනය වෙනස් වී රට දියුණු කළ හැකි පක්ෂයක් කරා ජනතාව යොමු වෙන්නේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

Similar Posts