දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගෝනංගොඩ වසමේ පත්තම්පල්ලියේ පිහිටි ගෝනංගොඩ  මිශ්‍ර විද්‍යාලය වැසී ගොස් මේ වන විට වසර 30ක පමණ කාලයක් ගත වී තිබේ.

වසර 150ක් පමණ පැරණි මෙම පාසල අතීතයේදී දරුවන් දෙසීයක් පමණ අධ්‍යාපනය ලැබූ ද්විතීයික පාසලකි.

ප්‍රදේශීය පවතින දුෂ්කරතාවය නිසා දැනට වසර තිහකට පමණ ඉහතදී මෙම පාසල වැසීගොස් තිබේ. ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ පත්වීම් ලබන නවක ගුරුවරුන්ට දුෂ්කර පත්වීම වශයෙන් මෙම පාසල ලබාදී ඇති බවත් පාසලට පැමිණි ගුරුවර ගුරුවරියන් ඉතාමත්ම කෙටි කාලයක් තුළදී යළි පත්වීම් සකස් කරගෙන වෙනත් පාසල් වෙත මාරුවීම් ලබා ගෙන යන බවයි.

මේ හේතුවෙන් පාසලට ස්ථිර ගුරුවරු නොසිටි බවත් ඒ නිසා ක්‍රමක්‍රමයෙන් පාසල වැසී යන තත්ත්වයට  පත්වුණු බව ගම්වාසීන් සඳහන් කළහ.

අක්කර තුනක පමණ වපසරියකින් යුතු පාසල් භූමියේ මේ වන විට ඉතිරිව ඇත්තේ ගරා වැටුණු ගොඩනැගිල්ලක්, වැසිකිළියක් සහ ජල ටැංකියක් පමණි.  සම්පූර්ණ පාසල් භූමිය ම මේ වන විට මානා කැලයෙන් වැසී ගොස් පවතී.

මේ හේතුවෙන් විවිධ පාර්ශවයන් සවස් කාලයේ ප්‍රදේශයට පැමිණ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවත් ඇතැම් විට ඔවුන් ගීත ගායනා කරමින් ප්‍රදේශවාසීන්ට හිරිහැර වන අයුරින් හැසිරෙන බවත් ගම්වාසීන් කියති.

ගරා වැටී ඇති මෙම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කොට ප්‍රදේශයට වැදගත් වන කාර්යයක් ඉටු කරන ලෙස ප්‍රදේශවාසීන් අවස්ථා ගණනාවක දී දේශපාලන බලධාරීන් වෙත දැනුම් දී තිබේ.

යළි පාසල ඉදි කිරීමට නොහැකි නම් ඇඟලුම් හෝ ඒ ආශ්‍රිත වෙනත් කර්මාන්තයක්, මාතෘ සෞඛ්‍ය සායනයක්, පෙර පාසලක් වැනි ප්‍රදේශවාසීන්ට සේවයක් ඉටු කළ හැකි කාර්යයක් වෙනුවෙන් මෙම ස්ථානය යොදාගත හැකිව ඇති බව ගම්වාසීන් සඳහන් කරයි.

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

 

Similar Posts