ශීඝ්‍ර නාගරීකරණය හමුවේ දිනපතා එකතුවන කැළි කසළ කළමනාකරණය කර ගත නොහැකි වීම අද වන විට මතුවී ඇති විශාල ගැටලුවකි.

ඊට එක් විකල්පයක් වශයෙන් විශාල වශයෙන් එක්වන කැළි කසල රථයක් තුළට රැස්කොට එහිදී වෙන්කර සහ කුඩා කැබලි වලට පත් කිරීමේ නව රථයක් නිර්මාණය කිරීමට මහනුවර ප්‍රදේශයේ තරුණයෙකු සමත් වී තිබේ.

මහනුවර දොළුව ප්‍රදේශයේ පදිංචි විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නම් එම තරුණයා විසින් වරකට ටොන් හතළිහ පමණ රැගෙන යා හැකි නව රථයක් නිර්මාණය කොට තිබේ.

මග දෙපස ගොඩගැසී ඇති කැළි කසළ එම  රටේම ස්ථාපිත දොඹකරයක් මගින් රථයට යොමුකර ගැනීම සිදුවන අතර එහිදී ප්ලාස්ටික්, දිරායන අපද්‍රව්‍ය සහ යකඩ කැබලි වශයෙන් එම ඝන අපද්‍රව්‍ය කොටස් වෙන් කිරීම සිදුවේ.

අනතුරුව එම සියලුම කොටස් ඉතා කුඩා කැබලි වලට බෙදා වෙන් කිරීම ද එම රථය තුළ සිදුවන අතර එහිදී කිසිදු ගඳක් වහනය නොවන පරිදි රසායනික ද්‍රව්‍යයක් ඉසීම ද එම අවස්ථාවේදීම සිදු කෙරේ.

කැබලිවලට වෙන් කළ එම  අපද්‍රව්‍ය එහිදී  දිරාපත් වන  අපද්‍රව්‍ය සහ නොදිරන අපද්‍රව්‍ය වශයෙන් බෙදා වෙන්  කිරීමද සිදුවේ.

තමන් මීට පෙර අවස්ථාවක මෙවැනි රථයක් නිර්මාණය කළ නමුත් ඊට මහ මඟ ගමන් කිරීමට හැකි ලියාපදිංචියක් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නොලැබීම හේතුවෙන් එය යකඩවලට කඩා විකිණීමට සිදුවුණු බව විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න තරුණයා සඳහන් කළේය.

කොරෝනා කෝවිඩ් වසංගතයක් සමග විදේශයන්හි සිට පැමිණෙන රැකියා විරහිත පුද්ගලයන්ට මෙවැනි අංශයකට සම්බන්ධ වී රටේ ආර්ථිකය සවිමත් කළ හැකි යැයි  ද ඔහු සඳහන් කරයි.

නදීක දයා බණ්ඩාර –  මහනුවර

Similar Posts