අසනීප තත්වයෙන් පසුවි පාසලට ගිය පසුව පාසලේ පැවති උදෑසන රැස්විමට සහභාගි නොවිම හා එහිදි කථාවක් පැවත්විමට තරම් සෞඛ්‍ය මට්ටමක නොමැති බව විදුහල්පතිවරයාට පැවසීම නිසා උරණවු කලංකුට්ටිය මහ විදුහලේ විදුහල්පතිවරයා විනාඩි කිහිපයක් ඇතුලදි උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලැබු සිසුවෙකුට අස්විමේ සහතිකය නිකුත් කිරිමේ සිදුවිමක් තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ ගල්නෑව ප්‍රදේශයෙන් වාර්ථා විය.

ප්‍රාථමික අධ්‍යාපන අවධියේ සිටම අධ්‍යාපන කටයුතු වලට විෂය බාහිර ක්‍රියාකරකම් වලට විශිෂ්ඨ දක්ෂතා දැක්වු වසර තුනක කාලයක් විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකුවු සිසුවාව විනාඩි කිහිපයක් තුල සිය නිදහස් අධ්‍යාපනය අහිමිකර විද්‍යාලයෙන් නෙරපා දැමීමට විද්‍යාලයීය විදුහල්පතිවරයා පියවර ගැනීම සම්බන්ධයෙන් ගල්කෙම කලංකුට්ටිය (චන්දනගම) ලිපිනයේ පදිංචි සිසුවාගේ මව වන බී.එම්.ශාන්ති සෙනරත් මහත්මිය අධ්‍යාපන බලධාරින්ට පැමිණිලිකර තිබුණාය.

සිය දරුවාට සිදුකල අවනඩුව සම්බන්ධයෙන් සිසුවාගේ මව වන බී.එම්.ශාන්ති සෙනරත් මහත්මිය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළුව අනුරාධපුර අධ්‍යාපන කොට්ඨාශයේ සියළුම අධ්‍යක්ෂවරුන්ට ලියාපදිංචි තැපෑලෙන් ලිපි යොමුකර තිබෙන අතර තඹුත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයට ගොස් පැමිණිලි ඉදිරිපත් කලත් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබි නොතිබුණි.

කලංකුට්ටිය මහා විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබු 2022 වසරේ උසස් පෙළ විභාගයට මුහුණදෙන දිසානායක මුදියන්සේලාගේ ඔක්ෂාන් දිසානායක සිසුවා විදුහල්පතිගේ උදහසට ලක්වි තිබේ.

දින කිහිපයක් අසනීප තත්වයෙන් පසුවිම නිසා පවතින සෞඛ්‍යමය හේතු සැලකිල්ලට ගත් සිසුවා අධ්‍යාපන කටයුතු සදහා දින කිහිපයක් විදුහලට ගොස් නොමැති අතර පසුගියදා අධ්‍යාපන කටයුතු අතපසු වනනිසා නැවත අධ්‍යාපන කටයුතු සදහා පාසල් ගොස් තිබේ.

එහෙත් ක්ලාන්ත ගතිය හිසරුදාව හා සිටගෙන සිටිමට නොහැකි නිසා ඔහු එදින විද්‍යාලයේ උදෑසන රැස්විමට සහභාගි නොවි පන්ති කාමරය තුලටවි සිටි අවස්ථාවේ විදුහල්පතිවරයා පැමිණ ඔහුට රැස්විමට සහභාගිවන ලෙස උපදෙස්දි තිබේ.

ඒ අවස්ථාවේ සිසුවා සර් මම අසනීප තත්වයෙන් ඉන්නේ ඒකයි රැස්විමට ගියේ නැත්තේ යනුවෙන් පවසා තිබේ.මට ඒවා වැඩක් නෑ තමුන් රැස්විමට ගිහිල්ලා කථාවක් කරන්න ඕන යනුවෙන් විදුහල්පතිවරයා පවසා ඇති අතර සර් මට හරියට කථාකරගන්න වත් බෑ යනුවෙන් සිසුවා විදුහල්පතිවරයාට ඉතා බැගැපත්ව පවසා තිබේ.

මම බොරුවක් කියනව නම් සර් මගේ අම්මාගේ දුරකථන අංකයට කථා කරලා අහන්න සර් යනුවෙන් පවසා සිසුවා විසින් මවගේ දුරකථන අංකයත් විදුහල්පතිවරයාට ලබාදි තිබුණි.ඒ අනුව විදුහල්පතිවරයා සිසුවාගේ මවට දුරකථන ඇමතුමක් ලබාදි පාසලට ආපසුව අස්වීම් සහතිකය ලබාදිමට පියවර ගෙන තිබුණි.

ස්වකැමත්තෙන් සිසුවා විදුහලෙන් ඉවත්කර ගත්බව සදහන් කර ලිපියක් ලබාදෙන ලෙස විදුහල්පතිවරයා බී.එම්.ශාන්ති සෙනරත් මහත්මියට දන්වා තිබුණත් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේපකර තිබුණාය.

සිය එකම පුත්‍රයාගේ අධ්‍යාපනය කඩාකප්පල් වන අයුරින් විදුහල්පතිවරයා කටයුතු කිරිම පිළිබදව සිසුවාගේ මව වන බී.එම්.ශාන්ති  සෙනරත් මහත්මිය මෙසේ පැවසුවාය.පුතා අධ්‍යාපනයට වගේම විෂය බාහිර බාලදක්ෂ ක්‍රියාකරම් ඇතුළු වෙනත් බාහිර තරගවලට සහභාගිවි සහතික රැසක් හිමිකරගත් අයෙක්.

දින කිහිපයක් පාසල් යැවුවේ නෑ පුතා අසනීප තත්වයෙන් සිටි නිසා.විශේෂයෙන්ම කොරෝනා වෛරසය නිසා සෞඛ්‍ය බලධාරින් ලබාදි තිබෙන උපදෙස් අනුව පුතා පාසලට යැවුවේ නෑ.

නමුත් පසුගියදා පුතා අධ්‍යාපන කටයුතු අතපසු වන නිසා නැවත පාසල් ගියා.නමුත් ඔහු අමාරුවෙන් හිටියේ.ඒ අවස්ථාවේ තමයි විදුහල්පතිවරයා ඔහුට පාසල් රැස්විමේ කථාවක් පවත්වන් කියලා තිබ්බේ.නමුත් පුතා ඒක ප්‍රතික්ෂේප කරලා තිබ්බා අසනීප තත්වය නිසා.ඊට දඩුවම තමයි පුතා පාසලෙන් අස්කිරිම.

මේ විදුහල්පතිවරයා පුතා පිළිබදව එතරම් දන්නේ නෑ.ඔහුට පුතාව මුණගැහිලා මාස දෙකක්වත් නෑ.නමුත් පාසල තුලදි දරුණුම වරදක් කලත් සිසුවෙකුට අවස්ථාවක් තියෙන්න ඕන ඒක හදාගන්න.ඊට නිසි දඩුවම් තියනවා. නමුත් මේ කරලා තියෙන්නේ පලිගැනීමක්.

මම මේ පිළිබදව පැමිණිලිකරමින් බලධාරින්ට ලියාපදිංචි තැපෑලෙන් ලිපි යොමුකරා.තඹුත්තේගම අධ්‍යාපන කාර් යාලයට ගියා නමුත් තවම ඊට විසදුමක් නෑ.මට දරුවාව අස්කරගන්න කිසිම අවශ්‍යතාවක් නෑ.ඒ වගේම වෙනත් පාසලක් දරුවට අවශ්‍යත්නෑ.

දැන් විදුහල්පතිවරයා කියනවාලු දරුවා සිසුවියක් සමග සබධතාවක් පවත්වනවා කියලා.ඒක විදුහල් ඉතිහාසයේම මගේ දරුවා පමණක් කරපු දෙයක් නම් දඩුවම් දුන්නට කමක් නෑ.නමුත් මේ සියල්ල බොරු චෝදනා.දරුවා ගෙදරට වෙලා නිදියගෙන ඉන්නවා.ඔහු දැඩි මානසික පීඩනයකට ලක්වෙලා ඉන්නේ.අමතර පන්ති සදහවත් සහභාගි වුනෙත් නෑ යනුවෙන් මව පැවසුවාය.

පාසල් සිසුන් කිහිප දෙනෙකුගෙන්ම අප ඒ පිළිබදව විමසු අතර ඔක්ෂාන් සිසුවා පාසලේ අධ්‍යාපන කටයුතු වලට දක්ෂ විනීත සිසුවෙකු බව ඔවුන් පැවසු අතර ඔහු හදිසියේම විදුහලෙන් ඉවත් කිරිම පුදුම දනවන්නක් බව ඔවුන් පැවසුහ.

සිසුවා හදිසියේම විද්‍යාලයෙන් ඉවත් කිරිම සම්බන්ධයෙන් කලංකුට්ටිය මහ විද්‍යාලයේ විදුහල්පති මිහිදු ජයකොඩි මහතා ගෙන් සිදුකල විමසීමකදි ඔහු කියා සිටියේ එම ගැටළුව සම්බන්ධයෙන් තමන් කිසිවෙකුටත් ප්‍රකාශ ලබාදිය යුතු නැති බවයි.ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරින් කටයුතු කරාවි යන්න ඔහු පැවසුවේය.

මේ සම්බන්ධයෙන් විමසීම සදහා උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂික නිර්මලා ඒකනායක මහත්මිය සම්බන්ධකර ගැනීමට අවස්ථා කිහිපයක් ඇගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගත්තත් ඇය සුපුරුදු පරිදි මාධ්‍යට අදහස් දැක්විමෙන් වැලකි සිටිනා බවක් තහවුරු කර ගැනිමට හැකි විය.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එම්.කේ.ආර්.බණ්ඩාර මහතාගෙන් දුරකථනයෙන් කල විමසීමකදි ඒ මහතා කියා සිටියේ සිසුවා ඉවත් කිරිම සම්බන්ධයෙන් පරික්ෂනයක් සිදුකර අද 21දින වනවිට ක්‍රියා මාර්ගයක් ගන්නා බවයි.

මහේෂ් විජේසූරිය – අනුරාධපුර

Similar Posts