DailyReporter

කුරුඳු තෙල් නිස්සාරණයේදී ඉවතලන අපජලය භාවිත කරමින් විශේෂිත වූ සබන්  කැටයක් නිෂ්පාදනය කිරීමට ගාල්ල කරන්දෙණිය මඩ කුඹුර මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක සමත්වී තිබේ.

ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින ටී.එච්.ශෂිකලා මධුවන්ති කුමාරසිරි සිසුවිය මෙම සබන් කැටය නිෂ්පාදනය කර ඇත. මෙම නව නිපැයුම මඟින් ජාතික හා ජාත්‍යන්තර තරඟ සහ ප්‍රදර්ශන රැසකින් ජය ගැනීමට ඇයට හැකිව තිබේ.

ශෂිකලා මධුවන්ති කුමාරසිරි සිසුවිය ලංකාදීපයට මෙසේ පැවසීය.

“මම ජීවත් වන ගාල්ල කරණ්දෙණිය ප්‍රදේශයේ. මේ ප්‍රදේශයේ මිනිසුන් වැඩිපුරම ජීවනෝපාය ලෙස කරන්නේ කුරුඳු කර්මාන්තයයි. කුරුඳු තෙල් නිස්සාරණයේ දී ඉවතලන අපජලය පරිසරයට එකතු වීමෙන් ඇතිවන පාරිසරික ගැටලු අවම කරගැනීමේ ක්‍රමයක් පිළිබඳව මම නිතරම කල්පනා කළා. එහි ප්‍රතිඵලයක් විදියට මෙම සබන් කැටය නිෂ්පාදනය කිරීමට හැකිවුණා.

මදුරුවන් පළවා හැරීමට, ආයුර්වේද ප්‍රතිකාරවලදී භාවිත කිරීමටත්, විවිධ චර්ම රෝග සඳහාත්, විෂබීජ නාශකයක් ලෙස මෙම සබන් කැටය යොදා ගන්න පුළුවන්. ඒ වගේම මෙම සබන් කැටය භාවිතයේදී හා ඉන් පසුවත් ශරීරයට සිසිල් බවක් ලැබෙනවා.

කුරුඳු තෙල් නිස්සාරණයේදී ඉවතලන අප ජලය, කුරුඳු තෙල් මිලිලීටර එකක ප්‍රමාණයක් හා සාමාන්‍යයෙන් සබන් නිෂ්පාදනය කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය මම යොදා ගත්තා. වෙළඳපොළෙහි අලෙවි කිරීමට තිබෙන සාමාන්‍ය කුරුඳු සබන් කැටයක මිලට වඩා බොහෝ අඩු මුදලකට මෙය පාරිභෝගිකයා වෙත අලෙවි කිරීමට පුළුවන්.

මෙම නිර්මාණය සඳහා මේ වසරේ මැලේසියාවේ පැවැති ජාත්‍යන්තර තරුණ විද්‍යාඥයින්ගේ සමුළුවේදී ජූරියේ විශේෂතා සම්මානයත් ලංකාවේ පැවැති සහසක් නිවැවුම් ප්‍රදර්ශනය සහ තරඟයේදී සමස්ත ලංකා රිදී පදක්කමත් දිනා ගැනීමටත් මට හැකි වුණා.

මෙම සබන් කැටය නිර්මාණය කිරීමේ දී මගේ පාසලේ විද්‍යාව උගන්වන රමණි ප්‍රියංකා ගුරුතුමිය, මගේ සොහොයුරිය වන ටී.එච්.ශානිකා මධුවන්ති කුමාරසිරි සහ පාසල් මිතුරියක වන එම් .ඒ.ජයනි ලක්මාලී  මට උදවු කළා. සබන් කැටයේ විශේෂතා වැඩිදියුණු කිරීමටත් කුරුඳු නිස්සාරණයෙන් පසු ඉවතලන අපජලය ආශ්‍රයෙන් වෙනත් නිෂ්පාදනයක් කරන්නත් ඉදිරියේ දී මම බලාපොරොත්තු වෙනවා” යැයිද ඇය පැවසුවාය.

උපුටා ගැනීම – ලංකාදීප

 

More Stories