commecial-bank

ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතට අනුකූල වන මෙරට තිබෙන එකම වාණිජමය මෙහෙයුම් සහතිකකරණ අධිකාරිය වන ලංකා ක්ලියර් ආයතනය විසින් මෙහෙයවන LankaSign භාවිත කරන ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගෙන් ඩිජිටල් ආකාරයෙන් අත්සන් කළ ලේඛන පිළිගන්නා බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර තිබේ.

මේ අනුව ඩිජිටල් අත්සන් පිළිගැනීමේ පළමු පියවර ලෙස බැංකුව පසුගියදා මෙයට අදාළ වන අවබෝධතා ගිවිසුම ලංකා ක්ලියර් ආයතනය සමඟ අත්සන් කරන ලදි. ලේඛන අත්සන් කිරීම සඳහා LankaSign පිළිගන්නා ශ‍්‍රී ලංකාවේ පළමු මූල්‍ය ආයතනය බවට කොමර්ෂල් බැංකුව මේ සමඟ පත්වන බව බැංකුව සඳහන් කරයි.

මේ වැඩසටහනේ පළමු පියවර ලෙස බැංකුව විසින් සිය ආයතනික ගනුදෙනුකරුවන්ව තමන්ගේ අන්තර්ජාල බැංකුකරණ අයදුම්පත් ඩිජිටල් ආකාරයෙන් අත්සන් කර එවීමට දිරිමත් කරනු ඇත. බැංකුව සඳහන් කරන්නේ කෙටි කාලයක් තුළදී ඩිජිටල් අත්සන පිළිගැනීම අනිකුත් බැංකුකරණය හා සම්බන්ධ ලේඛනවලටත් ලබා දෙන බවයි.

බැංකු ගනුදෙනුකරුවන්ගේ ඩිජිටල් අත්සන පිළිගැනීම පිළිබඳ කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය.‘‘තාක්ෂණය විසින් මූල්‍ය ආයතනවලට සහ ඒවායේ ගනුදෙනුකරුවන්ට සුවිශාල පහසුවක් සහ වාසි නිර්මාණය කර තිබෙන නමුත් ආරක්ෂාව සහ වංචා පිළිබඳ අවදානම් එමඟින් ඇති වෙනවා.

ඉලෙක්ට්‍රොනික ගනුදෙනු වඩ වඩාත් කරන විට අවදානම් නැති කර දැමීමට තාක්ෂණයෙන් ඉහළ, තොරතුරු තාක්ෂණික ආරක්ෂක යටිතල පහසුකමක් අවශ්‍ය වෙනවා. මේ නිසා LankaSign මඟින් සවිබල ගැන්වූ ඩිජිටල් අත්සන හඳුන්වාදීම මේ දිශාවට ගමන් කිරීමට තවත් වැදගත් පියවරක් ලෙස සඳහන් කළ හැකියි.’

More Stories