solar power

වහල මත සවි කරනු ලබන සූර්ය කෝෂ පැනල මගින් ජාතික විදුලිබල පද්ධතියට හරිත බලශක්තිය සැපයීම අධෛර්යවත් කිරීම සඳහා සැලසුම් ලංකා විදුලි බල මණ්ඩලය තුළ ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

වහල මත සූර්ය කෝෂ පැනලවලින් ලබාදෙන විදුලිය ලබාගැනීම අඩු කිරීමටත්, දැනට එම විදුලි ඒකකයක් සඳහා ලබාදෙන රු. 27ක මුදල අඩු කිරීමටත් සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

දැනට සූර්ය පැනල මගින් ලබාදෙන විදුලිය වෙනුවෙන් කිලෝ වොට් 500 දක්වා ඒකකයට රු. 27 බැගින් ද, කිලෝ වොට් 500ට වැඩි නම්, ඒකකයට රු. 23 දක්වා ද ගෙවනු ලැබේ. මෙම ගෙවීම 30%කින් අඩු කිරීම සඳහා සැලසුම් කරමින් සිටින බව සූර්ය කර්මාන්ත සංගමයේ සභාපති ජාවිඩ් කමිල් 2025 මාර්තු 9 දින අරුණ පුවත්පතට පැවසීය.

ඒකකයකට ලබාදෙන මුදල දැනට ද අඩු කර ඇත. වසර කීපයකට පෙර මෙය රු. 37ක මට්ටමේ තිබිණි.

සූර්ය කෝෂ පැනල සැපයුම්කරුවන් විසින් වසර 20ක වගකීමක් ලබාදෙන අතර, නව තත්වය යටතේ කර්මාන්තය කඩා වැටී පැනල සවිකරගෙන සිටින ලක්ෂයක් පමණ පිරිසකට වගකීම හා නඩත්තු සේවා ලබාදීමේ හැකියාවට ගැටලු ඇති විය හැකි බව ජාවිඩ් කමිල් පෙන්වා දෙයි.

2025 පෙබරවාරි 09වැනිදා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳ වැටීමට හේතු සහ ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය වෙනුවෙන් ගත යුතු කඩිනම් සහ දීර්ඝකාලීන පියවර සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන් කරුණක් වන්නේ විදුලිය බිඳ වැටීම සිදුවන අවස්ථාවේ දී, ජාතික විදුලි ඉල්ලුමෙන් 50% කට වඩා වැඩි ප්රමාණයක් සූර්ය බල විදුලි උත්පාදනයෙන් සපුරාලන ලද බවයි. එසේ මෙගවොට් 800ක් ලබාගන්නා ලද අතර නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් 470 MW සහ ජල විදුලි බලාගාරවලින් 130 MW අමතර සැපයුමක් ලබා ගන්නා ලද බව එම මාධ්ය නි.වේදනයෙහි දැක්වේ. එම තත්ත්වය පාදක කර ගනිමින් කඩිනමින් ගත යුතු පියවරක් ලෙස අස්ථාවරත්ව අවදානම් අවම කිරීම සඳහා  අඩු ඉල්ලුමක් ඇති අවස්ථාවලදී සූර්ය විදුලි උත්පාදනය කපා හැරීමට යෝජනා කොට තිබේ.

කෙසේ වෙතත්, මෙවැනි තීරණයක් ගෙන නොමැති බව සහ මෙම පුවත ප්‍රතික්ෂේප කරන බව විදුලි බල සහ බලශක්ති ඇමති කුමාර ජයකොඩි මාර්තු 9දා පැවසීය.

මේ වන විට, සූර්ය පැනල සවි කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ අවසර ලබාගැනීම ද දුෂ්කර තත්වයක පවතින අතර, එය පසුපස ජාවාරම් ක්‍රියාත්මක වන බව පාර්ශ්ව කීපයක් විසින් පෙන්වා දෙන ලදි. තම නිවසේ වහල මත සූර්ය පැනල සවි කිරීම සඳහා අවසර ඉල්ලා සිටින අයදුම්කරුවන්ට ලංකා විදුලි බල මණ්ඩලය බොහෝ විට පවසන්නේ ඒ සඳහා ධාරිතාව නොමැති බව එම අත්දැකීම ලැබූ කීපදෙනෙක් අපට පැවසූහ. ඒ අතරින් ඇතැමෙකු අවසර ලබාගෙන තිබෙන්නේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ධාරිතාව පිළිබඳ තොරතුරු ලබාගැනීමෙන් පසුවය. ඇතැම් සූර්ය පැනල සමාගම් සමග විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් පවත්වන සම්බන්ධතා හේතුවෙන් මෙම තත්වය නිර්මාණය වන බව ඔවුහු පවසති.

ලංකා විදුලි බල මණ්ඩලයේ නොහැකියාව වසා ගැනීම සඳහා සූර්ය බලශක්ති ධාරිතාව 50% දක්වා කප්පාදු කිරීම ජාතික අපරාධයක් බව අවධාරණය කළ යුතු හිටපු විදුලි බල හා බලශක්ති ඇමතිවරයකු වන එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණව පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. මෙම අදූරදර්ශී පියවර අපගේ අනාගතය, මිහිතලය සහ මනුෂ්‍ය ප්‍රජාව පාවා දීමක් බවත්, පුනර්ජනනීය බලශක්තිය යනු විකල්පයක් පමණක් නොව අවශ්‍යතාවයක් බව ද ඔහු රජයට අවධාරණය කළේය.

 

More Stories