ප‍්‍රවීන මාධ්‍යවේදියෙකු වූ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතණයත් සමග ජීවත්වීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය ඇතුලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිම් දිනා ගැනීම සදහා සංවිධාන 44කින් සමන්විත පුලූල් පෙරමුණක් 2009 වසරේ ජනවාරි 09 වන දින නිදහසේ වේදිකාව නමින් ගොඩනැගීමට එදා සිටි ප‍්‍රධාන සිවිල් සංවිධානයන්ට හැකි විය.

එමෙන්ම, එවකට විපක්ෂයේ සිටි විශාල කණ්ඩායමක් ආණ්ඩු පක්ෂය වෙත පිල් මාරුකිරීමත් සමග අකර්මණ්‍ය වී තිබූ විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීත්වය නැවත සකී‍්‍රයත්වයට ගැනීමට නිදහසේ වේදිකාව නම් වූ එම සිවිල් ව්‍යාපාරයට හැකි විය. එම කි‍්‍රයාකාරීත්වය හරහා ගොඩනැගුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිනා ගැනීමේ ව්‍යාපාරය, පසුව තවත් සිවිල් ව්‍යාපාරයන් ගණනාවක් හා එක්ව ගොඩැගී විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීත්වයද සමග මුසු වී පුලූල් ජනතා ව්‍යාපාරයක් බවට පත්විය.

ක‍්‍රමයෙන් එම ව්‍යාපාරයේ නායකත්වය පූජ්‍ය මාදුලූවාවේ සෝභිත හිමියන්ට හිමිවීමෙන් පසුව එය තවත් ශක්තිමත් වූ අතර, එම ව්‍යාපාරය විසින් 2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණය සදහා යොමු කරනු ලැබු පොදු අපේක්ෂකයා ලක්ෂ 5කට ආසන්න වැඩි ඡන්ද ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණය කරා ගෙන යාමටද එම සිවිල් ව්‍යාපාරයට හා විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීත්වයට ඉන් හැකි විය.

එදා එම ජයග‍්‍රහණය මේ රටේ සාමය, සංහිදියාව ගොඩනැගීමටත්, රාජ්‍ය ව්‍යුහය තුළ සිදු වූ දේශපාලන අතපෙවීම් අවම කිරීම, නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත ස්ථාපිත කිරීම සදහා වූ දැවැන්ත පියවරක් විය.

නමුත්, ඒ මොහොතේ තෝරාපත්කර කරගනු ලැබූ පොදු අපේක්ෂකයාගේ හා යහපාලන ආණ්ඩුවේ සීමාවන් නිසාත්, යහපාලන රජය අපරාධකරුවන් හා දුෂිතයින් සමග එක්ව කටයුතු කිරීමත්, සමහර දුෂණයන්ට යහපාලන ආණ්ඩුවේ ප‍්‍රධානීන් ද සම්බන්ධ බවට චෝදනා එල්ලවීමත්, සමහර වැදගත් දේශපාලනික කි‍්‍රයාමාර්ග ගැනීම සදහා විශාල කාලයක් ගැනීමත් නිසා යහපාලන රජය විසින් කරනු ලැබූ වැදගත් පියවරයන් පවා අමතක කරමින් යහපාලන රජයක් ගෙන එමට කටයුතු කිරීමට කැප වූ නායකයින්ගේ විශාල විවේචනයට යහපාලන රජය ලක් විය.

එමෙන්ම, මෙවැනි අර්බුදකාරී වටපිටාවක දී විවේචන, කලකිරීම්, අත්හැරීම් හැරුණු කොට වගකිව යුතු සිවිල් සමාජයක් ලෙස කටයුතු කළ යුතු අකාරය පිළිබදව දැනුමක්, අවබෝධයක්, අත්දැකීමක් හෝ පරිණත භාවයක් බොහෝ සිවිල් සමාජ නායකයින් වෙතින් දිස් නොවුනි. මේ සියලූ තත්ත්වයන් මත 2015 දී එක්කරනු ලැබූ සියලූ බලවේගයන් සීසීකඩ විසිරුණු අතර, එහි සම්පුර්ණ වාසිය විපක්ෂය විසින් අත්පත්කර ගනු ලැබීය.

දැන් නැවතත් 2014 දී මෙන් ප්‍රජාත්නත්‍රවාදය සදහා පුලුල් පෙරමුණ වෙත අප ගමන් කළ යුතු අතර, එමගින් සාමය, සංහිදියාව ආරක්ෂා කිරීමත්, දිනාගත් අයිතීන් ආරක්ෂා කර ගනිමින් අනෙකුත් අයිතිවාසිකම් දිනා ගැනීම සදහා ඒක්ව කටයුතු කළ යුතුව ඇත.

More Stories