ජනාධිපතිවරණයෙන් පසුව විපක්ෂ දේශපාලණ පක්ෂ කි‍්‍රයාකාරීත්වයත්, සිවිල් සමාජ කි‍්‍රයාකාරීත්වයත් විශාල පසුබෑමකට ලක්ව තිබේ. සුපුරුදු පරිදි එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය නැවතත් කරලියට පැමිණ ඇති නිසා ආණ්ඩුපක්ෂය විසින් ලබා දෙන පහසු අවස්ථාවන් ඉතා දුර්වල ලෙස මගහරිමින් ඉතා නින්දාශීලී ලෙස කටයුතු කරන තත්ත්වයට වර්තමාන විපක්ෂය පත්ව තිබේ.

මෑත අතීතය දෙස විමසා බැලීමේ දී මෙය අලූත් තත්ත්වයක් නොවන අතර, සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ දේශපාලනය වෙත යොමු වීමේ දී ඉතා දුර්වල කි‍්‍රයාකාරීත්වයක පැවතීම අප දැක තිබේ. අතීතයේ යම් පමණකට හෝ මෙම තත්ත්වයට මුහුණ දීමට හැකි වුයේ විපක්ෂයේ සියලූ බලවේග එ්කරාශී කර ගනිමින් එක් පෙරමුණක් තුළ කටයුතු කිරීම හරහාය. 2015 වසරේ දී එය ඉතා සාර්ථකව සිදු වූ අතර, එම පෙරමුණට ජනාධිපතිවරණය ජය ගැනීමටත්, ආණ්ඩු බලය ලබා ගැනීමටත් ඉන් හැකියාව ලැබුනි.

නමුත් 2019 මැතිවරණයේ දී එවැනි පුලූල් පෙරමුණක් ගොඩනැගීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග නොගැනීම නිසා විශාල පරාජයකට මුහුණ දීමට එම බලවේගයන්ට සිදු විය. එම පරාජයෙන් ඇති වූ කම්පනය ජනාධිපතිවරණ අවසන් වී මාස ගණනාවක් ගියද තවම සමනය වී නොමැති තත්ත්වයකට පත්ව තිබේ.

ජනාධිපතිවරණ පරාජයත් සමග එක්සත් ජාතික පක්ෂය මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණත් අනෙකුත් සිවිල් සමාජ කණ්ඩායම්ද විශාල අර්ඹුදයකට පැමිණ ඇති බව පෙනේ. මෙම සියලූ කණ්ඩායම් සිය ප‍්‍රථිවාදියා පිළිබදව නිවැරදි තක්සේරුවකින් කටයුතු නොකිරීමත්, තමන් සතුව ඇති බලවේගයන් හරි හැටි හදුනා නොගැනීමත්, එම බලවේගයන් ආරක්ෂා කර ගැනීමට වැඩ පිළිවෙලක් නොතිබීමත්්, මෙම සියලූ බලවේගයන් තමුන් පිළිබදව අධි තක්සේරුවකින් කටයුතු කිරීමත් නිසා අද දක්නට ඇති පසු බැසීමට මූලික හේතූන් වී තිබේ.

කෙසේ වුවත්, මෙම තත්ත්වයන්ට මුහුණ දීමට නම් විවිධාකාරයේ ප‍්‍රායෝගික දුෂ්කරතා, නොගැලපීම්, විවිධ මතවාදයන් තිබුනත්, නැවතත් එක් පෙරමුණක සිට කටයුතු කිරීමට මේ සියලූම බලවේගයන්ට අනිවාර්ය වී තිබේ. ඒ සදහා ටීඇන්ඒ, ජවිපෙ ඇතුලූ එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන පක්ෂ සංධානයත්, විපක්ෂයේ සිටින සියලූම සිවිල් පුරවැසි බලවේගයන් එක්ව එක පෙරමුණකට පැමිණ 2015 දී ගොඩනැගුණු ආකාරයේ පුලූල් පෙරමුණක අවශ්‍යතාවය නැවතත් මතුව තිබේ.

Similar Posts