ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි විදේශ විනිමය හිගය පියවා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවද නැද්ද යන තීරණය අද (13) දින පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රුස්වීමේ දී ගැනීමට නියමිත බව පැවසේ.
මහ බැංකු වාර්තා අනුව ඉදිරි මාස 12 දී ගෙවීමට තිබෙන විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.8 කි. රට සතුව දැනට පවතින නිල විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 2.3 කි. ඉන් රත්තරන්වල සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තැන්පතුවල වටිනාකම අඩු කළ විට එයද ඩොලර් බිලියන 1.7 ක් බව වාර්තා වේ. මේ අතර, ප්‍රකාශ වන්නේ දැනට අප සතුව ඇති ඩොලර් සංචිතය ඉදිරි සති දෙකේ ආනයනයන් සදහාවත් ප්‍රමාණවත් නොවන බවයි.
රට මෙවැනි තත්ත්වයක පැවතියත්, මුදල් අමාත්‍යවරයා ඇතුලු ඇමති මණ්ඩලයත්, මහ බැංකු අධිපතිවරයාත් ඇතුලු ආණ්ඩුවේ ප්‍රධානීන් දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ මේ තත්ත්වයට මුහුණ දීම සදහා වැඩ පිළිවෙලක් ආණ්ඩුවට තිබෙන බවයි.
මුදල් ඇමතිවරයා පසුගියදා ප්‍රකාශ කලේ ආර්ථික අරබුදයක් තිබෙන බව සෑබෑ නමුත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතන සමග ගිවිසුම් ගත වීමට කිසිදු අදහසක් වත්මන් රජයට නොමැති බවයි. ඒමෙන්ම, ඔහු ප්‍රකාශ කළේ කාගෙවත් කොන්දේසිවලට යටත්වීමට ද තමන් සූදානම් නැති බවයි.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෙම බරපතල ආර්ථික ගැටලුව විසදා ගැනීම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කටයුතු කළ යුතු බවට බොහෝ දෙනා යෝජනා කරයි. මෙම අරමුදල සම්බන්ධව සමහර පුද්ගලයින්ට බරපතල විවේචන ඇතත් ලෝකයේ රටවල් 190ක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කටයුතු කරමින් සිටී.
1944 දී ආරම්භ වී ඇති මෙම අරමුදල ඒ ඒ රටවල මුල්‍ය පාලනය, කළමනාකරණය හා මුල්‍ය සංචිත පවත්වාගෙන යාම සදහා උපදෙස් හා නිර්දේශ ලබාදෙමින් තම රට තුළ මුල්‍ය ස්ථාවරත්වයක් තබා ගැනීමට ආධාර ලබාදීම ද සිදු කරයි.
අතීතයේ සිටම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකා රාජ්‍ය සමග ගණු දෙනු සිදු කර තිබු අතර, අද අප මුහුණ දී ඇති ආකාරයේ බරපතල ආර්ථික ගැටලුවකට ශ්‍රී ලංකාව මුහුණ දිය හැකිව තිබෙන බව මීට දශක කිහිපයකට පෙර සිට පෙන්වා දී තිබුනි. ඊට මුහුණ දීම සදහා රජයේ වියදම් අඩු කිරීම, මුල්‍ය ස්ථාවරත්වය සඳහා පොලී අනුපාත ඉහළ දැමීම, පාඩු ලබන ආයතන වසා දැමීම හෝ ප්‍රථිව්‍යුහගත කිරීම, නිදහස් වෙළෙඳ පොළ සංවර්ධනය, නාස්තිය සහ දූෂණය පීටු දැකීම සහ නිලධාරිවාදය බැහැර කිරීම වැනි යෝජනා ශ්‍රී ලංකා රජය වෙත නිර්දේශ කර තිබුනි.
නමුත්, මේ කිසිදු යෝජනාවක් ශ්‍රී ලංකා රජය තුට්ටුවකට හෝ මායිම් නොකරා පමණක් නොව රජ්‍ය වියදම් ප්‍රමාණය තව තවත් විශාල වශයෙන් වැඩි කර ගැනීමටත් කටයුතු කරනු ලැබීය.
ඒමෙන්ම, නෙලුම් කුළුන, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව, සූරියවැව ක්‍රීඩාංගනය වැනි කිසිදු ආදායකමක් ලබාගත නොහැකි විශාල ව්‍යාපෘති වෙනුවෙන් ඉහල පොලී අනුපාතයන් යටතේ තව තවත් වානිජ ණය ගැනීමත්, බදු ප්‍රථිපත්තිය තව දුරටත් වෙනස් කරමින් සෘජු බදු අනුපාතය විශාල වශයෙන් කප්පාදු කරමින් රජයට ඒතෙක් ලැබෙමින් තිබූ බදු ආදායම් ද සැලකිය යුතු මට්ටමින් අඩු කර ගැනීමත් සිදු කර ගන්නා ලදී.
මේ අතර, අපට කිසිසේත් ඔරොත්තු නොදෙන මට්ටමේ මිලියන දෙකකට වැඩි රාජ්‍ය අංශයක් පවත්වාගෙන යාමට කටයුතු කිරීමත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, පෙට්ටෝලියම්, විදුලිබල මණ්ඩලය, සතොස වැනි වාර්ෂිකව රැපියල් බිලියන ගනන් පොම්පකර පවත්වාගෙන යා යුතු මට්ටමේ පවතින අන්ත දූෂිත හා ආකර්ෂක්ෂම රාජ්‍ය ආයතන පද්ධතියක් පවත්වාගෙන යාමට සිදු වීමත් හේතුවෙන් අප මේ තත්ත්වයට මුහුණ දී තිබේ.
මිලියන 22ක ජනග්‍රහණයක් සහිත ශ්‍රීලංකා රාජ්‍යය විසින් පවත්වාගෙන යනු ලබන රාජ්‍යයේ විශාලත්ව පිළිබදව විග්‍රහයක් කෝප් කමිටු සභාපති චරිත හේරත් විසින් අරුණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වා දී තිබුනි. ඒම විග්‍රහය අනුව මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් දෙපාර්තමේන්තු, සංස්ථා, රාජ්‍ය සමාගම්, පළාත් සභා හා පාලත් පාලන ආයතන සමග රාජ්‍ය ආයතන 2062ක් රජය විසින් පවත්වාගෙන යනු ලබන බව ඔහු පෙන්වා දී තිබුනි.
(අමාත්‍යාංශ කැබිනට් – 28, රාජ්‍ය අමාත්‍යාංශ – 40, දෙපාර්තමේන්තු – 98, දිස්ත්‍රික් ලේකම් කාර්යාල – 25, සංස්ථා – 240, රාජ්‍ය සමාගම් – 125, රාජ්‍ය බැංකු – 8, අරමුදල් – 65, විදේශ අරමුදල්වලින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති – 124, තවත් ආයතන – 21, පළාත් සභා – 9, පළාත් පාලන ආයතන 340, පළාත් සභාවල අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු – 241, පළාත් සභා ප්‍රඥප්තිවලින් පිහිටවූ ආයතන – 64)
ඒමෙන්ම, ශ්‍රී ලංකා ජනග්‍රහණයෙන් දහයෙන් පංගුවක් රාජ්‍ය සේවකයින් බවත් ඔහු පෙන්වා දී තිබුනි, ඒ අනුව, ජනග්‍රහණයෙන් 30%ක් ප්‍රධාන යැපීම් මාර්ගය රජය බවත් ඔහු විසින් පෙන්වා දී තිබේ. මධ්‍යම රජයේ හා පළාත් සභා හා පලාත් පාලන ආයතන වල සේවය කරනු ලබන රාජ්‍ය සේවකයින් හා රාජ්‍ය විශ්‍රාමිකයින් සංඛ්‍යාව ලක්ෂ 22ක් බව ඔහු පෙන්වා දී තිබේ. (මධ්‍යම රජයේ රාජ්‍ය සේවකයන් – ලක්ෂ 8, පළාත් සභා – ලක්ෂ 3, රාජ්‍ය ව්‍යවසායන් තුළ – ලක්ෂ 2+, විශ්‍රාමිකයන් – ලක්ෂ 6 1/2 , ආරක්ෂක හමුදා ලක්ෂ 3)
ශ්‍රී ලංකාව, දැනට දශක කිහිපයක සිට දුප්පත් ගෑනූන්ගේ ශ්‍රමයෙන් ජීවත්වෙන පිරිමින් සිටින රටක් ලෙස හැදින්වේ. ශ්‍රී ලංකාවට තවමත් ප්‍රධාන විදේශ විනිමය උපාය දෙනු ලබන්නේ විදෙස්ගත ශ්‍රමිකයින්, ඇගලුම් හා තේ කාර්මාන්තය ආශ්‍රයෙනි. මේ ක්ෂේත්‍ර තුනේම සැලකිය යුතු ශ්‍රම දායකත්වයක් ලබා දෙන්නේ මිලියන දෙකකට ආසන්න ශ්‍රී ලංකික කන්තාවන් පිරිසකි.
නමුත්, මේ සුළු ආදායම ඒක කටට ගිල දැමීමට මිලියන තුනකට ආසන්න රාජ්‍ය සේවයකයන් පිරිසක් හා ඒ ආශ්‍රිත දෙදහසකට වැඩි අන්ත දූෂිත හා ආකාර්යක්ෂම රාජ්‍ය ආයතන පද්දතියත් සමග දේශපාලඥයින් හා නිලධාරීන් පිරිසක් දත් විලිස්සා ගෙන සිටී.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හෝ ලෝක බැංකුව පැත්තකින් තබා මේ ආකාරයේ දූෂිත හා ආකර්ක්ෂම රාජ්‍යයක් තව දුරටත් අප පවත්වාගෙන යා යුතුද යන්න මේ රටේ බදු ගෙවන පුරවැසියන් මෙන්ම, මේ රටට ඩොලර් උපයන කාන්තාවන් විසින් වහා තීන්දු කළ යුතුය.