ජනාධිපතිවරණය සඳහා වූ නාම යෝජනා භාර ගැනීම අවසන් විය. අපේක්ෂකයෝ තිස්පස් දෙනෙක් තරගයට පිවිස සිටිති. දැන් ආරම්භ වී ඇත්තේ දේශපාලන පොරොන්දු ලබාදෙන කාලය යැයි කිව හැකිය. අපේ දේශපාලකයන් මෙන්ම ඡන්දදායකයන් ද දීර්ඝ කාලයක සිට පොරොන්දු දේශපාලනයට හුරු වී ඇතැ’යි කීම නිවැරැදිය.
ලෝකය ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වන්නේ වුව පොරොන්දු දේශපාලනයෙන් ඉවත්වීම දුෂ්කර ය. ඡන්දදායකයා ද පොරොන්දු කෙරෙහි බලා සිටී. ජනතාවගේ සිහින හා අපේක්ෂාවලට සමීපවන පොරොන්දු ඇති දේශපාලකයා කෙරෙහි වැඩි නැඹුරුවක් අපේ සමාජය තුළ පවතී. එම පොරොන්දු ඉටුකළ හැකි ආකාරය ගැන ජනතා අවධානය යොමු වන්නේ ඉතා අඩුවෙන් ය.
මේ මොහොතේ ජනී – ජනයා හමුවේ ඇති ඇත්ත ප්‍රශ්න මොනවා ද? ඒවා විසැඳිය හැකි උපායමාර්ග මොනවා ද? ඒ සඳහා කෙබඳු දැක්මක් සහිත නායකයකු පත් කළ යුතු ද? යන්න සොයා බැලීම අතිශය වැදගත් ය. ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන ආර්ථික ගැටලුව ‘දුප්පත්කම’ යැයි කියනු ලැබේ. ලෝක බැංකුව වැනි ආයතන ද එය පිළිගනී. සාමාන්‍ය පිළිගැනීමට අනුව රටේ මුළු ජනගහනයෙන් 60% ක් පමණම දුප්පත් වෙති.
එයින් දරු පවුල් ලක්ෂ ගණනක් දුප්පත්කමෙන් දැඩි ලෙස පීඩා විඳිති. ඇතැම් පවුලක දෛනික ආදායම රුපියල් දහසට අඩුය. සාමාජිකයන් හතරකින් සමන්විත පවුලක මාසික වියදම රුපියල් පනස්දහසට වැඩි වන බව ගණනය වී තිබේ. මේ තත්ත්වය අනුව දිළිඳු පවුල්වල පීඩනය වටහාගත හැකි ය.