දේශීය හා ජාත්‍යන්තර සම්මානයන්ට ලක් වී ඇති, ප්‍රවීණ නාට්‍යකරුවෙකු, කථිකාචාර්යවරයෙකු වන එම්. සෆීර් පළමුවරට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරයි. ,මම නෙමෙයි, (Here After bygone) ලෙසින් නම් කර ඇති මෙම චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදුවෙමින් පවතියි. මෙහි රංගනයෙන් ප්‍රවීණ රංග ශිල්පීන්වන දිල්හානි අශෝකමාලා සහ සංජීව උපේන්ද්‍ර දායක වෙයි.

කැමරාකරණයෙන් සුරන් බෝපිටිය දායකවන අතර, රේඛිය නිෂ්පාදනය එම්. සෆ්රාශ් ගෙනි. නිෂ්පාදන කළමනාකරණය වීරසිංහ ජයසුන්දර ගෙනි. සහාය අධ්‍යක්ෂණය කේෂාන් සේතුංග විසිනි. නිශ්චල ඡායාරූපකරණය තිලක් පෙරේරා, සංගීතය දුමිදු කඩිගමුව විසිනි.

විධායක නිෂ්පාදක සුජීව පතිනිසේකර වන අතර, ඇඳුම් නිර්මාණය, තිර රචනය සහ අධ්‍යක්ෂණය එම්. සෆීර් ගෙනි. ඉන්ටර් ඇක්ට් ආර්ට් ඉදිරිපත් කිරීමක් වන මෙම චිත්‍රපටය මහීල් මධුසංක, තරිඳු ඉලේපෙරුම, සම්පත් රාජපක්ෂ, නිරෝෂ් කවිරත්න සහ සුජීව පතිනිසේකර නිෂ්පාදනයකි.

නගර 30ක්, දිස්ත්‍රික්ක 15 හා කිලෝමිටර 1500 ක් ගමනේ යෙදෙන සිද්ධි දාමයක් කේන්ද්‍ර කරගෙන නිර්මාණයවන චිත්‍රපටයේ මූලික තේමාව වන්නේ අතීත කාමයයි. මෙම චිත්‍රපටයෙන් අපට මුණගැහෙන කාන්තාවත්, රියදුරාත් ඊයේ මිනිසුන්ය. ඔවුන්ද අපි මෙන්මය. විශේෂයක් නැත.

නමුත් අපට මුණ ගැහෙන මේ කාන්තාව හා රියදුරා තමන් ජීවිතයේ විඳි යම් යම් අත්දැකීම් අපට කියන්නට උත්සාහ කරයි. ඒ උත්සාහයේ දී ඇය සහ ඔහු අපව විවිධ ස්ථානවලට රැගෙන යයි.

ඒ සෑම තැනකදීම ඇයට, ඔහුට මෙන්ම අපටද කියන්නට දෙයක් ඇත. මෙම කතා පුවතෙන් කාන්තාව යන තැන්, අවස්ථා ඔස්සේ අපත් ඇය සමඟ ගමන් කරන්නට සලස්වයි. එහිදි අපටත් මතක් කරගන්නටත් අතීත කතාවක් තිබිය හැක යන තේමාව ඔස්සේ නිපදවන චිත්‍රපටය ලඟඳීම තිර ගත වනු ඇත.

More Stories