පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයා –

මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ ඉල් මහ විරු සමරු පවත්වද්දී අපි භාවිතා කළේ ‘සදා සමරමු සොහොයුරෝ‘තේමාව.නමුත් අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස සමරු පවත්වද්දී එය ඔබ නැත‘ ලෙස වෙනස් කළා. ඇයි අපි වෙනත් තේමා පාඨයක් ගත්තේ? අපට ඉල් මහ විරුවන් සැමරිය යුතු අතීත මතකයක් පමණක් නෙවෙයි.

අපට ඒ පරම්පරාව අදත් ජීවමානව හිඳිමින් අපට ශක්තිය සපයන නිසා. ඒ අතීත පරම්පරාවන් අපට ශක්තිය සපයන නිසා. අපට ඔවුන් දුටු සිහිනය, ඔවුන්ගේ අරගලය යතාර්ථයක් කරන්න, එයට ජයග්‍රහණය දෙන්න අධිෂ්ඨානයක් ඇති නිසා. අද අප ඉදිරියේ අභියෝගයක් තිබෙනවා.

අපි මේ මැතිවරණ ව්‍යාපාරයේදී ටිආදරය-අරගලය-සමාජවාදය‘කියලා සටන්පාඨයක් භාවිතා කළා. අපේ අරගලයේ දිශාව සමාජවාදය. එදා ඉල් මහ විරුවන් වගේම අපිත් අරගල කරන්නේ සමාජවාදය වෙනුවෙන්. නමුත් ඒ අරගලය තුළ ආදරය තිබෙනවා. මානුෂිකත්වය තිබෙනවා. අප උත්සාහ කරන්නේ අපගේ ඉලක්කය වන සමාජවාදය සහ ඒ සඳහා වන අරගලයත් සමාජය සහ නිර්ධන පන්තිය ගැන අපට ඇති පක්ෂපාතීත්වය සහ ආදරයත් අතර ඇති සම්බන්ධය ප්‍රකාශ කරන්න.

අපේ අභියෝගය තමයි ආදරය තුරන්ව ගිය, මිනිසා සහ මිනිසා අතර සම්බන්ධය දුර්වල වී ගිය සමාජයට එය ඒත්තු ගැන්වීම. ඒ අරගලය ජය ගැනීම සඳහා අපට ඉල් මහ විරුවන් විශාල ජීවයක්, විශාල ශක්තියක් සහ මහා ආදර්ශයක් සපයනවා. මේ තිස්වන ඉල් මහ විරු සමරුවේදී අපි ඒ සාධනීය අතීත උරුමයන් සියල්ල උකහා ගැනීමට වෙර දරනවා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා –

අපි අද එකතු වී තිබෙන්නේ එදා 1987-89 වකවානුවේ මේ විනාශයට ලක්වූ සමාජය වෙනුවට වඩා යහපත් සමාජයක් නිර්මාණය කරන්න අරගල කර, ඒ අරගලය වෙනුවෙන් දිවි පිදු සහෝදර සහෝදරියන් සිහිපත් කරන්න. ඒ අරගලයේ නිරතවූ අප පක්ෂයේ නායක මණ්ඩල වල වගේම සාමාජික සහෝදර සහෝදරියන් විශාල ප්‍රමාණයක් සහ ඒ අරගලයට සම්බන්ධ වූ ලංකාවේ පහල පීඩිත පන්ති වල විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂ පාලනයේ මර්දනයට ගොදුරු වුනා.

1989 සිට 2019 දක්වා දශක තුනක්, වසර 30ක් ගෙවී ගොස් තිබෙනවා. වසර 30කට පසුවත් යුක්තිගරුක සමාජයක්, සාධාරණ සමාජයක්, සමාජවාදී සමාජයක් වෙනුවෙන් වන අරගලයට එදා ඒ අරගලයේ අත්දැකීම් උපයෝගී කර ගැනීම ගැන කතා කරන්නයි අපි අද කිරිබත්ගොඩ නගරයට ආවේ. අපි මේ විරු සමරු පවත්වන්නේ පුරුද්දක්, වතාවතක් ලෙස නෙවෙයි. අද දවසේ සහ හෙට දවසේ ජනතා අරගලයට ඒ අත්දැකීම් උකහා ගන්න. ඒ වගේම ඔවුන් පැතු ලෝකය නිර්මාණය කර ගන්න තවමත් බැරි වුනු නිසා, එය ගොඩ නගන අධිෂ්ඨානය සහිතව.

අපි ඉන්නේ ලංකාවේ හත්වන ජනාධිපතිවරණය ඉදිරියේ. එහි ජයග්‍රාහකයා බලන්න නම් රූපවාහිනිය ඉදිරියට යන්න, පරාජිතයා බලන්න නම් කන්නාඩිය ඉදිරියට යන්න කියලා අපි කිව්වා. අපි මේ අතීත අත්දැකීම් ගැන කතා කරන්නේ සමාජයක් ලෙස අපි පරාජය වන එක නවත්වන්න. ඒ වගේම අපිව ජයග්‍රහණය කරවන්න, මේ සමාජය සමාජවාදය කරා ගෙනයන්න. ඒ සඳහා අපි පෙ අතීත අත්දැකීම් භාවිතා කරන්නේ කොහොමද? මේ අරගලයේ අඛණ්ඩතාවක් තිබෙනවා.

අපි එදත් අදත් ඒ අරමුණ වෙනුවෙන් සටන් වැදුනා. එවන් යුක්තිගරුක සමාජයක අවශ්‍යතාවයත් අප ඉදිරියේ තිබෙනවා. අපි පසු කාලීනව නැවත ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නගමින් ඒ සටනට උර දුන්නා. ජනතා විමුක්ති පෙරමුණ පිරිහෙන විට, පීලි පනින විට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගොඩ නගමින් ඒ අරගලයම අඛණ්ඩව කරගෙන යනවා.

එදා අරගලයේ අත්දැකීම් සහ අද සමකාලීන මොහොත අතර සමානකම් සහ අසමානකම් තිබෙනවා. එදා 1970 දශකය මුල ලෝක ආර්ථික අර්බුදයත් සමග ධනවාදය විශාල අර්බුදයකට ගොදුරු වුනා. ඒ නිසා 1975 වනවිටම ඔවුන් වෙනත් ධනවාදී ආකෘතියක් ගැන අවධානය යොමු කළා. අපි විවෘත ආර්ථිකය, එහෙමත් නැතිනම් නව ලිබරල් ධනවාදී මාර්ගයකට අවතීර්ණ වුනේ ඉන් පසුව. එහිදී කළේ ජනතාවට අවම හෝ සාධාරණයක්, අවම හෝ සමාජ ආරක්ෂණයක් තිබුනා නම් එය පවා අහෝසි කරමින්, සමතලා කරමින්, උදුරා ගනිමින් ප්‍රාග්ධනයට සියලු ක්ෂේත්‍ර විවෘත කළා.

එයට එදා කම්කරු,ගොවි,ශිෂ්‍ය බලවේග විරුද්ධ වුනා. නිෂ්පාදනය සමග බැඳුනු ආර්ථිකය වෙනුවට බැංකු, ලීසිං, ෆිනෑන්ස්, ණය උගුලක ජනතාව සිර කරන ආර්ථිකය, රජය ජනතාව ගැන වගකීමෙන් ඉවත් වන ආර්ථිකය නිර්මාණය කළා. එය පවත්වාගෙන යන්නනම් ජනතා විරෝධය මැඩලන මර්දනයක් අවශ්‍ය වුනා.

1978 ඒකාධිපති ව්‍යවස්ථාව ගෙනාවේ ඒ සඳහා. පළමුවැනි ජනාධිපති සිය ධුරයට පත්වුණේ එදා ජනතාවගෙන් පවා නොඅසා, එවකට පැවතුනු නීතිය පවා නොසලකා හරිමින් ව්‍යවස්ථාමය ඒකාධිපතීත්වයක් හරහා. අද හත්වන ජනාධිපතිවරණය හමුවේ එය සිහිපත් කළ යුතුයි. ඒ එකාධිපතීත්වය අවසන් වුනේ 60,000ක් පමණ මරා දමන මහා ලේ වැගිරීමකින්. ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනය සහ නව ලිබරල් ප්‍රතිපත්තිය අතර සම්බන්ධයක් තිබෙනවා. 1980 ජුලි වර්ජනය මර්දනය කළා. ඡන්ද කොල්ලය සාමාන්‍යකරණය වුනා. මැතිවරණ කල් දැම්මා.

ලංකාව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී කඳවුරේ ගොදුරක් කිරීමත් සමග ජේ. ආර්.ට යැංකි ඩිකී කියලා නමකුත් වැටුනා. ඒ වගේම 1983 කළු ජුලිය සමග ජාතිවාදය යුද්ධයක් දක්වා වර්ධනය කළා. ඉන්පසුව අප ඉදිරියේ දිග හැරුනේ මහා අඳුරු කාල පරිච්ඡේදයක්. එදා රෝහණ විජේවීර සහෝදරයා, උපතිස්ස ගමනායක සහෝදරයා ප්‍රමුඛ විරුවන් මේ තත්වය පිලි ගත්තේ නෑ.

ඔවුන් ඊට එරෙහිව සටන් වැදුනා. විවිධ නීතිමය ක්‍රියාමාර්ග හරහා මෙන්ම 1983දී පක්ෂය තහනම් කිරීමෙන් පසුව වෙනත් ආකෘති ඔස්සේත් අපි ඒ විනාශයට එරෙහිව සටන් වැදුනා. අද ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස වගේම එදා ජේ ආර් ජයවර්ධනත් ආවේ ජාතිවාදය හරහා ජනතාවගේ ඇස් අන්ධ කරමින්. මුලින් ධර්මිෂ්ට සමාජයක් කියලා සටන් පාඨයකින් ඇවිත් ඒ හරහා කලේ ජාතිවාදය අවිස්සවීම. එදා ජේ.ආර්. කිව්වේ ලංකාව සිංගප්පූරුවක් කරන්න කියලා. ධනවාදය සහ නව ලිබරල් උපායමාර්ගය අසාර්ථක වීමෙන් පසුව දැන් ගෝඨාභය සහ සජිත් නැවත ඒ සිංගප්පූරු ආකෘතිය ගැන කියනවා. සිංගප්පූරු, මැලේසියානු ආදර්ශයක් ගැන කියනවා. කියන්න කනගාටුයි රෝහණ සහෝදරයා විසින් නිර්මාණය කළ ජනතා විමුක්ති පෙරමුණ ඔහුගේ මරණයෙන් තිස් වසරකට පසුව දැන් ඒ ධනවාදී වදපිලිවෙලම ඉදිරිපත් කරනවා.

ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වල තියෙන්නෙත් ඒ ආසියානු පන්නයේ ධනවාදය. රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය කර වසර තිහකට පසුව ඔහුව දේශපාලන වශයෙන් ඝාතනය කරලා. සමහරු අහනවා සිංගප්පූරුව, මැලේසියාව සන්වර්ධිතයි නේද, ඒවා හොඳ නැද්ද කියලා. ඒ අදහස වැරදියි. ඒ රටවල් වමේ ව්‍යාපාරය සමූලඝාතනය කළා. විරුද්ධ වන සියල්ලන් මරුවා. සමාජ බලවේග මර්ධනය කළා. සමහර රත්කවල වෘත්තීය සමිති අයිතිය පවා නෑ. සමාජවාදී නමින් පක්ෂයක් ලියාපදිංචි කරන්නවත් බෑ. කෙටියෙන් කියනවානම් ලී ක්වාන් යු සහ මහතීර් මොහොමඞ් විසින් ක්‍රියාත්මක කලේ ප්‍රජාතන්ත්‍රවාදය නොමැති ධනවාදය. අද ගෝඨාභය, සජිත් සහ ජවිපෙ පාර්ශව තුනම යෝජනා කරන්නේ ඒ විනාශකාරී ආකෘතිය.

අද ජනතා විමුක්ති පෙරමුණ රෝහණ විජේවීර සහෝදරයා දේශපාලන වශයෙන් ඝාතනය කරලා. ඒ නිසා ඉල් මහ විරුවන් සමරන්න අයිතිය තිබෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට විතරයි. දැන් ජවිපෙ පමණක් නොව ගෝඨාභය රාජපක්ෂත් ඇවිත් රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය කිරීම වැරදියි කියනවා. අපි ඔහුගෙන් අහනවා අපේ ලලිත් සහ කුහන් සහෝදරවරු කෝ? සජිත් ප්‍රේමදාස ඇවිත් වමක් ගැන කියනවා. එයාගේ පියා තමයි දස දහස් ගණන් ඝාතනය කලේ.

මේ අයට දෙන්න පුළුවන් මර්දනය විතරයි. කුසගින්න විතරයි. මේ සමාජ ආර්ථික ප්‍රතිපත්තියට ඊට වඩා දෙයක් ජනතාවට දෙන්න බෑ. ඒ ගැන සැකයක් තියා ගන්න එපා. අදත් ඒ අතීත අරගලයේ දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විතරයි. ඒ නිසා ගෝඨාභය ආවත්, සජිත් ආවත්, කවුරු කීවත් අපි එයට මුහුණ දෙන්න සූදානම්. අපි ඒ අරගලයට නෑකම් සහිත මේ සහෝදර සහෝදරියන් සමග පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකත්වයෙන් ඒ ඕනෑම අභියෝගයක් ජය ගන්න සූදානම්.

එදා 1982දී රෝහණ විජේවීර සහෝදරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී 5%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. එදා පක්ෂය ඉදිරිපත් කල ප්‍රතිපත්තිය කුමක්ද? වැඩපිළිවෙල කුමක්ද? එදා අපි ඉදිරිපත් කළේ සමාජවාදී වැඩපිළිවෙල. එය මැතිවරණ වැඩපිළිවෙලක් පමණක් නෙවෙයි. ඉන් පසුව 1987-89 වකවානුවේ අරගල කලෙත් ඒ සමාජවාදී වැඩපිළිවෙල මත පදනම්ව. අද ඒ සමාජවාදී වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ අප, පෙරටුගාමී සමාජවාදී පක්ෂය. අද වනවිට ජනතා විමුක්ති පෙරමුණ වැඩපිළිවෙල අත හැරියා පමණක් නෙවෙයි, සමාජවාදය යන වචනය තහනම් වචනයක් බවට පත් කරලා. ඔවුන් අද මැද පාන්තික කොටස් වල ගොදුරු බවට පත්වෙලා සමාජවාදය ඉටු කර ගත නොහැකි ඉලක්කයක් බවට ප්‍රතිගාමී මතයක් පවා පතුරනවා.

එදා ලෙනින් කීවේ පක්ෂය කරන්නේ ජනතාවගේ දැනට තිබෙන මතය ප්‍රකාශයට පත් කිරීම නොව ජනතාවගේ මතය වෙනස් කරන්න, ඔවුන් සංවිධානය කිරීම බව. නමුත් අද ජවිපෙ ඒ කර්තව්‍යය අත හැරියා. මැතිවරනවාදයට වැටිලා, ජනතාව ඉන්න තැනට ගිහින් ඡන්ද ගොඩ වැඩි කර ගන්න හදනවා. මාක්ස් කිව්වී යුගයක රජයන අදහස් පාලක පන්තියේ අදහස් කියලා. ඒ නිසා සමාජයේ ජනප්‍රිය දේශපාලනය, සමාජයේ දේශපාලන චින්තනය ස්වභාවිකව ඇතිවූ දෙයක් නෙවෙයි.

ඒවා ගොඩ නගපු ඒවා පාලක පන්තිය ගොඩ නගපු ඒවා. මාධ්‍ය සහ පාලකයන් අපේ ඔලු වලට බස්සපු අදහස්. ඒ අදහස් මේ අසාධාරණ ක්‍රමය පවත්වාගෙන යන අදහස්. ඒවා අපි නැවත කිව යුතු නෑ. එය මහා පාවාදීමක්, දන ගැසීමක්. මේ ඛේදවාචකයට එරෙහිව මධ්‍යම කාරක සභාව තුළත් පක්ෂය තුළත් අවුරුදු ගණනාවක් අරගල කරලා එය අසාර්ථක වුනාම තමයි අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැදුවේ. අපි පක්ෂය හැදුවේ ඒ අදහස් නැවත කියන්න නෙවෙයි, ඒ අදහස් වෙනස් කරන්න.

එදා 1983 පක්ෂ තහනමින් පසු බොහෝ දෙනා පක්ෂය හැර ගියා. මම ඒ කාලේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩ කරද්දී දිස්ත්‍රික්කය තුළ සිටි සංවිධායකයන්ගෙන් පක්ෂයට ඉතිරි වුනේ පරපේ සුනිල් අයියා ලෙස අපි හඳුන්වපු සහෝදරයා විතරයි. ඒ සහෝදරයා පසුව අරගලයේදී මරා දැමුවා. කළු අකුරෙන් තාප්ප වල ‘ජවිපෙ තහනම ඉවත් කරනු‘කියලා ලියන්න අපිට අවුරුදු එකහමාරක් ගියා. අපිට කට්ටිය හිටියේ නෑ. ඒ තරම් දුර්වල වුනා. නමුත් වසර කිහිපයකින් අපි විශාල බලවේගයක් ලෙස වර්ධනය වුනා. ජේ ආර්ගේ මර්දනයට මුහුණ දෙමින් ඔහුට අභියෝග කළා. ඒ නිසා අපි ව්‍යාපාර වල වර්ධනයේ ස්වභාවය ගැන දන්නවා.

මෙතන ඉන්නේ ඒ උරුමය නියෝජනය කරන අය. ඒ නිසා ගෝඨාභය ආවත්, සජිත් ආවත් කවුරු ආවත් අපට මුහුණ දෙන්න ඕන. ඒ වගේම අපිට විශ්වාසයක් තිබෙනවා, අපිට අලුත් මිනිසුන් නිර්මාණය කරන්න පුළුවන් කියලා. එදා රෝහණ විජේවීර සහෝදරයා පස් දෙනෙකුගෙන් ආරම්භ කළ ව්‍යාපාරය මේ රටේ දේශපාලන ඉතිහාසය වෙනස් කළ ව්‍යාපාරයක් බවට පත් කළේ ජනතාව සමග වැඩ කරලා. අපි ජනතාව සමග වැඩ කරමු. ජනතාවගේ අරගල සමග බද්ධ වෙමු. පක්ෂ තහනමින් පසු, හා දොළොස් දෙනෙකුට සීමා වූ ව්‍යාපාරයක් ගොඩ නගද්දීත්, හැට දහසක් මරා දමා තිබියදී නැවත ව්‍යාපාරය ගොඩ නගන්නත් අපට ධෛර්යය තිබුනේ අපි ජනතාව මත විශ්වාසය තැබූ නිසා.

අපි සටන් කරද්දී වගේම සම්මුතියේදීත් ජනතාව මත විශ්වාසය තැබුවා. සමහරු කියනවා 1988 ජනාධිපතිවරනයේදී සිරිමාවෝ බණ්ඩාරනායක සමග සම්මුතියක් ගහලා ආණ්ඩුවක් හැදුවානම් ජීවිත බේරා ගන්න තිබුනා කියලා. අපි අපේ සහෝදර වරුන්ගේ ජීවිත ගැන වග කියනවා. අපට විනාශයන් අවශ්‍ය නැහැ. නමුත් එදා අපි අපේ දේශපාලන මාවත අත හරියේ නෑ. අපි ආණ්ඩුවකට යාම වෙනුවෙන් සමාජවාදය අත හරියේ නෑ. අඩුම ගානේ ජීවිත බේරා ගන්නවත් ධනේශ්වර තුරුලට ගියේ නෑ. දන ගැහුවේ නෑ.

අපි ඒ ප්‍රතිපත්තිමය පදනම් මත දෙපා තබාගෙන සිටියදී අපට ශක්තිය සැපයුවේ ජනතාව ගැන තිබෙන අචල විශ්වාසය සහ වැඩකරන ජනතාව ගැන තිබෙන නොවෙනස් පක්ෂපාතීත්වය. අපේ දෑත් උණුසුම්. අපි අපේ සිත් තුල වැඩකරන ජනතාව ගැන පක්ෂපාතීත්වය, ආදරය රඳවාගෙන සිටිනවා. සමාජවාදය ගොඩ නැගීම සඳහා එකම මාර්ගය වැටී තිබෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය හරහා පමණයි. අපි එකතු වෙමු, සටන් වදිමු, ජයග්‍රහණය කරමු කියා අපි ආරාධනා කරනවා.

More Stories