ISB ණය නොගෙවන රටවලට විශාල අපකීර්තියක් ඇති වේ. ගමේ ගොඩේ වුණත්, අනුන්ගෙන් ණය අරගෙන නොගෙවා ඉන්න මිනිසුන්ට කිසිදු පිළිගැනීමක් නැත. 1999 සිට ගත් ණයවලින් 74%ක් වැය වී ඇත්තේ පොළී ගෙවීමට හා විනිමය අනුපාතික වෙනස් වීම හේතුවෙන් ඇති වන පාඩු පියවා ගැනීමට බව පසුගියදා ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දුන්නේය.
ණයවලින් කොටසක් ගෙවීම ප්රතික්ෂේප කර සෙසු ණය විතරක් ගෙවාගෙන යාමට හෝ ප්රතිව්යූහගත කරගැනීමට හැකි යයි සිතීම හිතලුවකි. චීනය වැනි රටක් නම් සමහර විට මෙයට කැමති විය හැකිය. තමන්ගේ ණය ආපසු ගෙවන්නට ඔවුන් අලුත් ණයක් දෙන්නට කැමැත්තක් ද පෙන්නුම් කළහ. ලංකාවට ඇති එකම පිහිට චීනය පමණක් වුවහොත්, ශ්රී ලංකාවට චීනයට දැඩිව යටත් වීමට සිදු විය හැකිය.
ලෝක ප්රසිද්ධ බංකොලොත්භාවයකට පත් වූ ග්රීසිය දැනුත් තමන් නොගෙවා පැහැර හැරි ජාත්යන්තර ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවමින් සිටින අතර ඔවුන්ගේ ණය ශ්රේණිගත කිරීම් ඉහළ ගොස් දැන් නැවතත් ඔවුන්ට ජාත්යන්තර මූල්ය වෙළඳපොළෙන් ණය ගැනීමේ හැකියාව ලැබී තිබේ.
ශ්රී ලංකාව ජාත්යන්තර ස්වෛරී බැඳුම්කර ණය ගෙවීම සම්පූර්ණයෙන්ම පැහැර හැරියොත් ආයෝජන ආරවුල් විසඳීම සඳහා වන ජාත්යන්තර මධ්යස්ථානය (ICSID) වැනි ජාත්යන්තර උසාවිවල ISB ණය ගෙවීම පැහැර හරින රටවලට එරෙහිව නඩු පැවරිය හැකිය. බැංකු නඩු දිනුවොත්, ණය පැහැර හැර ඇති ISB ප්රමාණය සහ පොලී සහ නෛතික ගාස්තු අය කරගැනීමට ඔවුන්ට හැකිය.
ඒ වන්දිත් ගෙවන්නේ නැතිනම් රටවල වත්කම් අත්පත් කර ගැනීම දක්වා යන්නට ද ඔවුන්ට හැකිය. ISB ණය ආපසු ගෙවීම පැහැර හරින රටවල බැංකු ගිණුම්, රජයේ ගොඩනැගිලි සහ විදේශ විනිමය සංචිත වැනි වත්කම් බැංකුවලට අත්පත් කර ගත හැකිය.
උදාහරණයක් ලෙස, 2018 දී, Aurelius Capital Management විසින් එක්සත් ජනපද ෆෙඩරල් උසාවියේ වෙනිසියුලාවට එරෙහිව නඩු පවරා ඩොලර් මිලියන 600ක වන්දියක් දිනාගත් අතර නඩුව තවමත් අවසන් නැත. Aurelius Capital Management විසින් වෙනිසියුලාවේ වත්කම් අත්පත් කර ගැනීමට උත්සාහ කරයි.
එක්සත් ජනපදය, කැනඩාව සහ යුරෝපීය රටවල් කිහිපයක් වෙනිසියුලාව සමඟ ඔවුන්ගේ රාජ්ය තාන්ත්රික සබඳතා අත්හිටුවා එරට රජයට සම්බාධක පනවා තිබේ. කෙසේ වෙතත්, රුසියාව, චීනය සහ ඉරානය වැනි රටවල් වෙනිසියුලාව සමඟ රාජ්ය තාන්ත්රික සබඳතා දිගටම පවත්වාගෙන යයි.
ඇමරිකානු ජනපද සංවිධානය (OAS) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්යන්තර සංවිධාන කිහිපයක වෙනිසියුලාවේ සාමාජිකත්වය ද අත්හිටුවා ඇත. කෙසේ වෙතත්, වෙනිසියුලාව නොබැඳි ව්යාපාරයේ සාමාජිකයෙකි.
අජිත් පැරකුම් ජයසිංහ (ආර්ථික විශ්ලේෂකයකු නොවේ. ජනමාධ්‍යකරුවකු ලෙස මෙය තේරුම් ගැනීමට දරන ලද උත්සාහයකි.)