චන්ද්‍රිකාගමනය කියන්නේ ලංකාවේ බලාපොරොත්තුවක්..හැවෝම මේ රට නවීකාරක රාජ්‍යක සිහිනය මේ ආගමනය සමග දැක්කා. මිනී කඳු අතරින් තමයි චන්ද්‍රිකාව පායා ආවේ. මිනිස්සුන්ට යුක්තිය ගැන නොනිමි බලාපොරොත්තුවක් තිබුණා. මව් පෙරමුණු බිහිවුණා. අහිංසකයින්ගේ ආරාම හැදුනා. සුදු නෙළුම් පාර දිගට පිපුනා. තවල් ගියා. උතුරු දකුණු සහජීවනය ගැන අලුත් බලාපොරොත්තු ලියලා ආවා. ලේ වැකි ඉතිහාසයක් රෝසමල්මය අනාගතයකින් වහලා දාන්න බොහෝ දෙනෙක් කැපවුණා. මංගලත් මතුවෙලා එන්නේ ඒ කැපවීමේ ප්‍රතිපලයක් විදිහට.
ඊටපස්සේ ආවේ මහින්දාගමනය. මහින්දාගමනය අස්සෙත් මිනිස්සු හීන දැක්කා. පොඩි මිනිහා උස්සලා දිව්‍යලෝකෙට වීසිකරන්න මැදමුලනෙන් ආපු රැවුල්කාර දෙයියා විදිහට තමයි, මහින්දව මිනිස්සු ගැහැනු පිළිගත්තේ. දකුණේ මහින්ද රට හරවයි කියලා, දකුණ වමට හරවපු මංගල ඇතුලු ගොඩාක් අය එදා හිතුවා. ඔවුන් ඒ සඳහා වැඩකළා… ඊළඟට ආවේ 2015 මෛත්‍රීගමනය. ලේවැකි ඉතිහාසයක් පිළිබඳ ප්‍රශ්නයට වඩා රට පවුලකින් ගලවා ගැනීමේ ප්‍රශ්නයක් තමයි හැවෝටම තිබුණේ.
2005 ඉඳලා 2015 වෙනකම් පැවති ඒකාධිපති පවුල් පාලනයක බිහිසුනු අත්දැකීම් එක්ක ගොඩක් දෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදයේ අලුත් බලාපොරොත්තු සමග ඒ දේශපාලන ව්‍යාපාරයට එකතුවුණා. මංගල කියන්නේ ඒ රැල්ලෙත් මුල් චරිතයක්. මේ ගොඩක් රැලිවලදි මංගල තමන්ගේ ඉතිහාසය එක්ක නැවත නැවතත් සටන් කළා කියලයි මට හිතෙන්නේ. තමන් මූලික වෙලා හදපු බොහෝ රැලි රට විශාල ආගාධයකට අරගෙන ගිහිං තිබුණා.. ඉතිං එයට විරුද්ධව නැවතත් සටන් කරන්න වුණා මංගලට. මංගල ඒ හැම සටනක්ම උද්‍යෝගයෙන් සහ ආසාවෙන් කළා කියලයි මට හිතෙන්නේ. එනිසා ඔහු හැමදාම උද්‍යෝගී දේශපාලන සත්වයෙක්. සටන් කාරයෙක්.
මේ වෙනකොට ලංකාවේ සීරියස් දේශපාලන චරිත හෝ නායකයෝ දකින්න හරිම අඩුයි. එවැනි තැනක මංගල ලකුණ වෙනස් දීප්තියක් තමයි අරගෙන ආවේ. ඔහු ක්‍රියාවේදී යම් පරතරයක් පෙන්නුවත්, ඔහු කතාකරපු ලිබරල් සමාජසාරය අපි බොහෝ දෙනෙක් ගේ ජීවිතාසාව වැඩිකලා. ඔහු මුදාහැරිය අදහස් පද්ධතිය අපි හැවෝටම අලුත් ඇසක් දුන්නා ජීවිතය සහ සමාජය අලුත් විදිහකට දකින්න. විශේෂයෙන් වාටියට විසිවුණ සමාජ කොටස් වෙනුවෙන් ඔහුකළ අරගලය අපිට බොහෝ පාඩම් ඉතුරු කළා.
අනාගත නායකයෙක් මේ රට දියුණු රටක් කරන්න අදහස් කරනවා නම් මංගලට තිබුණ ඔහු නිතරම කතා කළ නමුත් ඔහුට තමන් ප්‍රතිපත්ති සම්පාදක භූමිකාවේ සිටියදී කරගැනීමට නොහැකිවූ, ඒ අදහස් සහ යෝජනා ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරිය යුතුයි. ඒ මන්ද දියුණු ලංකාවක් නවීන ලංකාවක් සඳහා ඒ අදහස් සහ ප්‍රතිපත්තීන් ඉතාමත් වැදගත් නිසා..
1994න් පස්සේ මංගලා ප්‍රමුඛව ගොඩනඟපු රාජ්‍ය තමයි අද මේ විශාල අර්බූදයක ගිලිලා ඔක්සිජන් දෙමින් බොහොම අමාරුවෙන් පවත්වාගෙන යන්නේ. ඇත්තටම මංගල එහිම ගොදුරක් වීම ගැන මට විශාල දුකක් තිබෙනවා. මේ ඉතිහාසය නිර්මානය කරන්නට දරදිය ඇද්ද, තවමත් ජීවග්‍රහයෙන් සිටින නායකයින් කල්පනා කළ යුතු දෙයක් මේක. අවුරුදු 60 වැඩි මිනිස්සුන්ට වැක්සීනය නියමිත වෙලාවට දුන්නේ නැති එක රාජ්‍යයේ ප්‍රශ්නයක්.. ඔව්.. මේවා ඝාතන සේ අපි ගතයුතුයි. අපේ දෙමාපියෝ අපිට උරුම කරපු රට තමයි මේක. අපිත් එයම අපේ දරුවන්ට උරුම කරනවාද? මෙවැනි මරණ හරහා හෝ අපේ පරපුර කල්පනා කළ යුතුයි.
ඒ නිසා මංගල නම් භෞතිකය පොළව සමග මුසුවුණත් මංගල නම් සාරය හැමදාම පවතීවි. ඒ සාරය සමග මෙවැනි වසංගතයක දී හෝ කෙළින් සිට තමන්ගේ පුරවැසියා ආරක්ෂා කරගන්නට පුලුවන් රාජ්‍යක් සාදාගැනීමට වෙහෙස වීම මංගලට කරන ගෞරවයක්.. ඉතිං සුබ ගමන් මංගල..!
කේ. සංජීව