මේ වන විට දිවයිනේ ගඩොල් කර්මාන්තයේ නියැලෙන්නන් උග්‍ර අමුද්‍රව්‍ය හිගයකට මුහුණපා සිටින බවත් පස් හා මැටි සොයා ගැනීම ඉතාම දුෂ්කර කරුණක් වී ඇති බවත් පොලොන්නරුවේ බැඳිවැව මා ඔයේ ගාඩොල් කර්මාන්ත කරුවෝ පවසති.වසර 20කටත් අධික කාලයක් තිස්සේ කරගෙන ආ තමන්ගේ ජීවනෝපාය අහිමි වීමේ අවදානමක් ඇතැයි ද ඔවුහු කියති.

මේ ඔවුන්ගේ කතාවයි.ගෙවුණු සතිදෙක  ගෙවී ගියේ කාන්තාවන් ගැන කතා කරන, කාන්තාවන්ගේ වැඩගැන අගය කිරීම් කරන වැඩසටහන්වලින් කීවොත් එය වැරදි නැත.ජාත්‍යන්තර කාන්තා දිනය  නිමිති කරගෙන දිවයිනේ බොහෝමයක් වැඩසටහන් රාජ්‍ය මට්ටමෙන්ද පළාත් හා ප්‍රාදේශීය මට්ටමෙන් ද සංවිධානය කර තිබුණි.කාන්තාවන් ගැන කතා කිරීම හා ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යය,අසීමිත කැප කිරීම්,විඳින්නට සිදුව තිබෙන අනේක විධ දුක් ගැහැට පිළිබඳවත් ඔවුන්ගේ අයිතිවාසිකම් ගැනත් මේ දිනටිකේම ඇස් කන් පිරෙන තරමට විද්‍යුත් මාධ්‍යය ඔස්සේත් මුද්‍රිත මාධ්‍ය ඔස්සේත් පමණක් නොව සමාජ මාධ්‍ය ඔස්සේත් කතා බහට ලක් වුණි.

දශ මාසයක් කුසේ දරාගෙන දරු ගැබ සුරක්ෂිතකොට පෝෂණය කොට මෙලොව එළිය දු‍ටු දා පටන් ශරීරය පුරා දිව යන රක්ත වර්ණ රුධිරය ක්ෂීර ගංගාවක් සේ දරක ස්නේහය දිගේ ගලා එන්නේ ඒ උතුම් මාතෘත්වය උසුලන කාන්තාවන්ගේ සිරුරෙනි.

අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් ඒවා දරා ගනිමින් ලක්ෂ සංඛ්‍යාත ගැහැණුන් ගෘහස්තව විදින පීඩාවන් ද අපි ඕනෑතරම් අසා ඇත්තෙමු.මේ කතාවත් අසීමිත දුක්ඛ දෝමනස්සයන් උහුළමින් දරු පවුල් ‍රැකීමට පියවරුන් දරනා වෙහෙසට කැපකිරීම්වලට නොදෙවෙනි  මහා මෙහෙයක් ඉ‍ටු කරන ගැහැණුන් පිරිසක් ගැනය.

මහා මන්දිර තැනුනේ ඔවුන්ගේ ඩා බිදුවල පුසුඹෙනි. දෑතේ දෙපයේ වීරියෙනි.ශක්තියෙනි.ඒ අන් කවරක් නිසාවත් නොව මේ වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍යම අමුද්‍රව්‍යක් වන ගඩොළු සැපයීමට සිය ජීවිතය කැප කොට දිවා රෑ වෙහෙසෙන ගැමි ගැහැණු පිරිසක් ගඩොළු කර්මාන්තයේ නියැලිම නිසා ය.මුලු රටේම විවිධ ප්‍රදේශ ගඩොළු නැතිනම් ගඩොල් කර්මාන්තයට සුවිශේෂි ප්‍රසිද්ධියක් උසුලන ගම් පවතියි.එම කර්මාන්තයේ යෙදෙන්නේ වැඩි පිරිස පිරිමිය.

මන්ද දැඩි වෙහෙසක් හා කායික ශක්තියක් වැය කිරීමට සිදුවන කර්මාන්තයක් වන බැවිණි.විල්ලුද පළසක දැවටෙන්නට ඕනෑ සුන්දර පාද යුග්මවල ශක්තියෙන්  පෑගෙන පස් කඳු මැටි පිඩු බවට  පදම්කර  සියුමැලි දැත්වලින්  ඔපමට්ටම්ව අපූරු ඉන්ජිනේරු ගඩොලක් හෝ මෝඩ ගඩොලක් හෝ නිර්මාණය වීම දක්වා වූ ක්‍රියාවලිය තුළ නම් ඇත්තේ අතිශය සෝචනීය වූ කතාවකි.

නගරයේ මහා මැදුරු තනන්නේ ඔවුන්ගේ ඩා බිඳු හා කඳුලු මතින් නිම වූ ඒ ගඩොලුවලින් බව සි‍ටුවර දිවිපෙවෙතක් ගත කරන්නෝ දෑහින් දැක බලා ගන්නේ නම් ඔවුන්ගේ ඒ ඩා දිය  කඳුලුවල වටිනාකම මෙසේ සොච්චමට විකිනෙන්නේ නැත.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බැඳිවැව සිංහ උදාගම ග්‍රාම සේවා වසමේ මා ඔයේ ගැහැණුන් සහ හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මින්නේරිය රොටවැවේ ගැහැණුන් විශාල සංඛ්‍යාවක් ගඩොලු කර්මාන්තයේ නියැලෙති. විශේෂයෙන් ම බැඳි වැව මා ඔයේ ගඩොලු කර්මාන්තයේ නියැලී සිටින පිරිසෙන් සියයට අනූ පහක් පමණම කාන්තාවෙඕ වීම අන් ප්‍රදේශවල ගඩොලු කර්මාන්තයට වඩා වෙනස් මුහුණුවරක් ගන්නේ ය.

“අපේ ගමේ පවුල් 380ක් ඉන්නවා.ඒකෙන් පවුල් 350ක් විතර ම ගඩොල් කපන එක තමයි කරන්නේ.ළමයි ඉස්කෝලෙ යවන්නේ,විශ්ව විද්‍යාලයට යවන්නේ.ගෙදරදොරේ සියලු දේවල් කරගන්නේ මේ කර්මාන්තයෙන්.මම දැන් අවුරුදු 20ක විතර ඉඳලා ගඩොල් කපනවා.දරුවෝ 04ක් ඉන්නවා.ඉන්ජිනේරු ගඩොල් තමයි මං කපන්නේ.

ලොකු ළමයා උසස් පෙළ විභාගෙට සූදානම් වෙනවා.පංති යවා ගන්නත් අනිත් ළමයි තුන්දෙනා ඉස්කෝලේ යවලා පංති යවන්නත් කඩොල් කර්මානතය තමයි පිහිට වෙන්නේ.අපට වෙන ආදායම් මාර්ග නෑ.

කුඹුරු නෑ ආණ්ඩුවේ රස්සා නෑ.අපි ඒවා ඉල්ලලා කරදර කරන්නෙත් නෑ.ඒත් දැන් අපිට මේ කර්මාන්තය කරගෙන යන්න පස් හොයාගන්න අමාරුයි.වැවෙන් පස් ටිකක් කපා ගන්න වැඩපිළිවෙලක් හදනවා නම් ගොඩක් පිං.අපිට පස් ගෙන්න ගන්නේ පිටින්.එක පස් ටිපර් ලෝඩ් එකක් රුපියල්  8000ක් වෙනවා.ප්‍රවාහන කුලිත් එක්ක.ඉතින් ඒ ගාණට පස් ලෝඩ් එකක් ගෙනල්ලා අපිට පාඩුයි.දැන් පස් හෝයාගන්න තැනක්වත් නෑ.”මා ඔය ඩී.එම්.දිස්නා ඩිලානි(37) මහත්මිය කීවා ය.

අවුරුදු 20ක් යනු අවුරුදු 17 දී පමණ සිට ම ඈය ගඩොල් පස් මැටි එක්ක ඔට්‍ටු අල්ලමින් ජීවිතය සරි කරගන්න වෙහෙසෙන්නීය.විටින් විට විවිධ ආයතනවලින් පැමිණ තමන්ගේ කර්මාන්තය ගැන විස්තර අසාගෙන යන නමුත් තමන් ඇතුළු බැඳිවැව මා ඔයේ ගෑණුන්ගේ දුක්ඛ දෝමනස්සයන් නිවා ලන්න වැඩපිළිවෙලක් නම් සැකසී නැති බව ඇය කියන්නේ හැමදාමත් හැමෝම තමන්ව ‍රැවැට්ටූ බව ද කියමිණි.

පාසල් යන දරුවන් සිව් දෙනෙකු සටින පවුලක වියදම කොතෙක් දැයි ඒ පිළිබඳව අද්දැකීම් ඇත්තෝ දනිති.ඉන්ජිනේරු ගඩොල් කැටයක් කපා වේලා පුලුස්සා ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය නිමි භාණ්ඩයක් බවට පත් කිරීම සඳහා දරණ වෙහෙස අත හැර පස් වලටත් දහය්යා හෝ දර හෝ සොයා ගැනීමටත් යන වියදම තවත් වැඩි ය.ඒ අනුව එක් ගඩොල් කැටයක් රුපියල් 7.50ක් පමණ මිලකට මේ දිනවල අළෙවි කළ හැකිව තිබුණත් තැ‍රැව්කරුවන් රුපියල් 5 ඉල්ලුව හොත් එම මිලට ද දීමට සිදු වෙයි.මන්ද එදිනෙදා ජීවිකාව ගැටගසා ගැනීමට මුදල් අවශ්‍ය බැවිණි.

වසර 22ක් තිස්සේ අව් වැසි රෑ දාවල් නොතකා ගඩොල් කැපීම ජීවිතයේ කොටසක් බවට පත් කරගත් බැඬිවැව මා ඔය අංක 84 ලිපිනයෙහි පදිංචි එක දරු මවක වන අනෝමා කුමාරි(40) මහත්මිය මෙසේ කීවාය.

“අපේ ජීවිතේ ගෙවුණෙම මේ පස් එක්ක ගඩොල් එක්ක.අවුරුදු 22ක් මම මේ රස්සාව කරනවා.මේකෙන් හරි හම්බ කරගන්න දේවල් තමයි අපිට තියෙන්නේ.කුඹුරු නෑ.වෙන ආදායම් මාර්ග නෑ.අපි උදේ හවහා නැහිලා නැහිලා තමයි කීයක් හරි හොයා ගන්නේ.අත් කැපෙනවා කකුල් කැපෙනවා.පස් පාගලා මැටි කරන්න පුදුම වෙහෙසක් ගන්න ඕන.

ඇඟේ මුළු හය්යම යොදවන්න ඕන.මටි පාගපු දවසට ‍රැට නින්ද යන්නෙත් නෑ මුළු ඇඟම රිදෙනවා.කොහොම නිදාගන්න හැදුවත් බෑ.ඒත් අපි මේකට දැන් හුරු වෙලා.අතර මැදියන් හින්දා අපි ගොඩක් අසරණ වෙනවා.මම කපන්නෙ ඉන්ජිනේරු ගලුයි.ලොකු ගඩොළුයි.ඒක මේ දවස්වල මිල ටිකක් හොඳයි පස් නැති නිසා ගඩොල් කැපීම ගොඩක් අය අත් අරිමින් තියෙන්නේ.අද රුපියල් 16ක් 17යි ශත 50ක් විතර වෙනව.

හැබැයි බ්‍රෝකර්කාරයින් ඇවිත් රුපියල් 15 ට 14 ට ඊලුවත් දෙන්න වෙනවා.මොකද පස් ටිකක් ගෙන්න ගන්නෙ දුරින් වෙන අයගේ වහනවලින් ඒ අයගෙ ණය බේරන්න ඕන.ගෙදරට ඕන හාල් තුණපහේ ගන්න ඕන.දරුවො ඉස්කෝලෙ යවන්න ඕන.ඒවට සල්ලි එන්න වෙන මාර්ගයක් නෑ.අපි මහන්සි වෙලා වැඩ කරලා ගඩොල් කැටයක් විකුණන්නේ ජීවත් වෙන්න.හැබැයි බ්‍රෝකර් කාරයෝ අතර මැදියෝ අපේ දුක් මහන්සිය විකුණලා වැඩි ලාභයක් ගන්නවා.අපෙන් ගඩොල් අඩු මිලට අරගෙන.” අනෝමා කුමාරි කියන්නීය.

තම්න් ඇතුළු මා ඔය ගම්මානයේ 200 ගණනක් වන ගඩොල් කපන ගෑනුන් වෙනුවෙන් මෙතෙක් කිසිදු වගකිව යුත්තෙකුගේ අවධානය යොමු වී නැති බව ද ඇය කියන්නීය.

” දැන් ගිය සඳුදා (14) පොලොන්නරුවේ කාන්තා දින වැඩසටහනක් තිබ්බා .අනේ ඉතින් අපි ඒක බලලා අපිත් දිරිය කාන්තෝඅවොනෙ.අපිත් මේ රටේ මහා මන්දිර හදන්න ඕන ගඩොල් සපයනවා නෙ.මේ ජීවත කාලෙ අවුරුදු 22ක් 25ක් විතර ගඩොල් කෝටි ගණනක් කපලා ඇති නෙ.ඒත් කවුද අපි අගය කරන්නේ.අපි කරන මෙහෙවර ගැන කතා කරන්නේ.

ඔය කාන්තා වැඩසටහන් කියලා ලොකු ලොකු තානාන්තර දරන කාන්තාවන්ට උපහාර පිදුවට කවදාවත් අපිට ඒ වගේ ඇගයීමක් ලබන්න වාසනාවකුත් නෑ.හරි දුකක් දැනෙනවා.ඒත් මේ රටේ හැටි එහෙම තමයි.” ඇය සිය වේදනාව සඟවාගෙන ඉවත බලා ගත්තාය.වා තලයට  හෙළූ දිගු සුසුමින් ලය සැහැල්ලු කරගත් මේ දිරිය ගැහැණිය ගොඩ ගැසූ මැටි ගොඩෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත ගඩොල් කැට 100ක්  කැපුවා ය.

“අපිට පස් නැතුව දැන් ගොඩක් අසරණ වෙලා තියෙන්නෙ.පස් ටිකක් කපා ගන්න තැනක් නෑ.ගඩොල් කර්මාන්තය බිද වෙටෙන්න ඔන්න මෙන්න කියලා තියෙන්නේ.අපේ ගමේ ගෑනු උදවිය තමයි වැඩි හරියක් ගඩොල් කපන්නෙ.අතමැදියන්ගෙන් බේරා ගන්න සමුපකාර ක්‍රමයක් වගේ වැඩපිළිවෙලක් හදලා අතරමැදියෝ අපේ මහන්සිය හූරා කන එක නවත්වන්න බලධාරින් මැදිහත් වෙනවා නම් හොඳයි.ඒ වගේම අති ගරු ජනාධිපතිතුමාගෙනුත් ආපි ඉල්ලන්නේ අපිට පස් ටිකක් ලැබෙන ක්‍රමයක් හදලා දෙනවා නම් මාසෙකට පස් ලෝඩ් 3ක් 4ක් විතර තමයි අපිට ඕන.තනියෙන් මම වැඩ කරන්නේ.

කුලියට දාගෙන මහා පරිමාණයෙන් කරනවා නෙමෙයි.පරිසරයට හානියක් නොවෙන විදිහට පස් ටිකක් ලබා ගන්න ක්‍රමයක් හදලා දෙනවා නම් බොහොම පිං.අපි වෙන මොකවත් ඉල්ලන්නේ නෑ.රස්සා එපා ණය ආධාර එපා.අපේ මහන්සියෙන් හම්බ කර ගන්න පස් ලබා ගන්න උදව් කරන්න.”අනෝමා කුමාරි කියන්නීය.

මා ඔයේ ප්‍රජා ශාලාව පි‍ටුපස අතුරු මාර්ග සියල්ලේම හාපේ ඇති නිවාසවල ඉඩ ඇති සැම තැනකම ගඩොල්ය. ඇතැම් තැනක ටිපර් රථවලින් ගෙනා පස් ගොඩවල් කිහිපයකි.තවත් තැනක දහය්යා ගොඩවල් ය. තරුණ යුවලක් ගිනි පූටක අව්වේ පිච්චෙමින් හරි හරියට ගඩොල් කපමින් සිටිය හ.අප එහි යන විටත් කහට බැඳුණු දත් පෙන්නා යාන්තමට සිනා පෑ තරුණිය සිය කාර්යයේ නිරත වූවා ය.

” අපි දෙන්නම කුළියට මෙතන ගඩොල් කපනවා.ඒ අයගේ පස් අමුද්‍රව්‍ය අපි මහන්සි වෙලා ගඩොල් කපලා  වේලලා අට්ටි ගහලා.පෝරණු ගහලා පුච්චලා දෙන්න එක ගඩොල් කැටේකට රුපියල් 3.00,ක් 3යි ශත 50ක් විතර තමයි අපට ගෙවන්නේ.ඉන්න හිටින්නවත් හරිහමන් තැනක් නෑ.කොහොම හරි නොතෙමී ඉන්න වහලයක් හදා ගන්න ඕන හින්දා මේ ගඩොල් කපන්න අපි දෙන්නම එන්නේ.පොඩි දරුවෙක් ඉන්නවා එයත් එක්ක ඇවිත් ගඩොල් කපන්නේ.

තාම ඉස්කෝලේ නෑ.මොන්ටිසෝරි යවන්නත් වියදම් යනවා.අතු පැළක ඉන්නේ.” කිසිත් නොකියා බිම බලාගෙන සිය කාර්යයේ යෙදී සිටි ගැහැණිය වෙනුවෙන් පිරිමියා කතාවට මුඅල පිරීය.හේ ඒ.ඒ.සරත් ගුණතිලක(35) ය.ඇය ඩී.එම්.ඩී.දිසානායක(26) ය.එක් දරු අඹුසැමි යුවලකි.තරුණ පෙනුම යටපත් කරමින් මුළු ඇග පුරාම මඩ තැවරී තිබුණු ඇගේ මුහුණේ ජීවිතයට උහුලන්නට බැරිතරම් දුක් කන්දරාවක් විදිමින් සිටින බව කියා පෑවේය.

එතැනින් හෑරී අපි තවත් ගෙමිදුලකට ගොඩ වීමු.එතැන මැදිවිය පසු කළ ගැහැණියක හා පිරිමියෙකු සිටියෝ ය.පිරිමියා මැටි පාගන්නට උදව් කරමින් සිටි අතර ගැහැණිය තමන් විසින් කපන ලද ගඩොලු ඊට මීටර් කිහිපයක් එහායින් ඇති වේලන ස්ථානයේ පිළිවෙලකට තබමින් සිටියාය.තමන් කපන ගඩොල් ඉතාම ශක්තිමත් ගඩොල් බව ඔවුහු කීහ.

“මට දැන් වයස අවුරුදු 54යි.අපි අවුරුදු 30කටත් වෙඩියි ගඩොල් කපන්න අරන්.එත් ඉස්සර වගේ නෙමෙයි පස් හොයාගන්න හරිම අමාරුයි.පස් විතරක් නෙමෙයි දර ,දහය්යා එහෙමත් ගන්න අමාරුයි.අද දර ලෑන්ඩ් මාස්ටර් ට්‍රැක්ටරයේ ටේලරයකින් එකක් රුපියල් 5000ක් වෙනවා.දහයියා ලෝඩ් එකක් රුපියල් 6000ක් වෙනවා.

එක කටක් තියෙන පෝරණුවක ගඩොල් පුච්චන්න දහයියා ලෝඩ් 2ක් කිට්‍ටු වෙන්න යනවා.දර නම් හොයාගන්නම අමාරුයි.ඒ නිසා දහයියා තමයි වැඩියෙන් අපි පාවිච්චි කරන්නේ.අපටත් කුඹුරු එහෙම නෑ.වෙන ආදායම් මාර්ගත් නෑ.දැරුවෝ 4ක් හිටියා 4 දෙනාම බැඳලා ගිහිල්ලා.දැන් අපි දෙන්නා ජීවත් වෙන්න ගඩොල් කපනවා.ළමයි ලොකු මහත් කරලා ඉස්කෝලේ යවලා මගුලු තුළා ගන්නකල් අපි හැම දෙයක් ම කළේ මේ කර්මාන්තයෙන් ම තමයි.” බැඳිවැව,මා ඔය ඒ.එම්.ධර්මවතී(54) කියන්නීය.ඈයගේ සැමියා වන ඩබ්.එස්.ජෝතිරත්න (62) මහතාගෙන් අපි කොහොමදැයි විමසුවෙමු.

ඔහු ඊට පිළිතුරක් නොදී මැටි පාගමින් සිටියේ ය.මොහොතක් මැටි පෑගීම නතර කළ ඔහු ගඩොල් කර්මාන්තය ආරම්භ කළ කාලය ගැන කීවේ ය.

මට මතක ඇති කාලෙක ඉඳලා ගඩොල් කැපුවා.ඒ ගඩොල්වලින් මේ රටේ කොච්චර මන්දිර හැදුනද?කෝටි ගාණක් ගඩොල් මේ අත් දෙකෙන් කපලා ඇති.ඒත් අපිට වැටිලා ඉන්න හරිහමන් තැනක් නෑ.”හෙතෙම කර ගැට මතුව ගඩොල් කැපීමට යොදාගන්නා මැටිවල ගල් කැබලිවලට කැපී තුවාල වී ගිය අත් පාමින් කීවේ ය.

කෙසේ වෙතත් පොලොන්නරුවේ බැඳි වැව මා ඔයේත් මින්නේරිය රොට වැවේත් වැලිකන්ද දිඹුලාගල වැනි ප්‍රදේශවලත් ගඩොල් කර්මාන්තයේ යෙහී සිටින ජනතාව මුහුණපා ඇති මූලිකම ගැටලුව වී තිබෙන්නේ ගඩොල් කැපීම සඳහා අවශ්‍ය පස් සම්පාදනාය කර ගැනීමයි.

“අපි පස් ගෙන්නා ගන්නේ කොහේ හරි පාරක් හදන තැනක කපන පස් ටිකක් නැත්නම් ඇළවේලිවලින් කුඹුරුවල ලියදි හදනකොට කපලා අහක දාන පස් තමයි ගෙන්නා ගන්නේ.ඒකත් මිලයි.අපිට මේ කර්මාන්තය දැනට කරගෙන යන්න බැරි තත්ත්වයට ඇවිත් තියෙන්නේ මේ පස් ප්‍රශ්නය නිසායි.මහා පරිමාණයෙන් අපි ගඩොල් කපන අය නෙමෙයි.

එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය වියදම් පිරිමහගන්නේ ගඩොල් කපලා ලැබෙන ආදායමෙන්.ඒ වුණාට ඉල්ලන්න එන කෙනා ගඩොල් ඉල්ලන්නේ තුට්‍ටු දෙකට එහෙම දෙන්න ත් ගඩොල් නැ.කර්මාන්තය වැඩි කල් යන්න කලින් වැටෙනවා.එතකොට රටේ ගෙවල් මන්දිර හදන්න ඕන ගඩොල් ටිකත් පිටරටින් ගෙන්නන්න වෙන්නේ.

පස් ගැටලුව විසදාගන්න බැරි වුණොත් අපටත් මහපාරට වැටෙන්න වෙන්නෙ.ජීවත් වෙන රස්සාව නැති වෙනවා.ඒක නිසා පස් ලබා ගන්න අපට වැඩපිළිවෙලක් කරනවා නම් ගොඩක් හොඳයි.”බැඳිවැව මා ඔයේ පදිංචි ඩබ්.තිලක් කුමාර (45) කීය.

ම ඔයේ පමණක් නොව රටේම ගඩොල් කර්මාන්තය බිමට ම සමතලා වෙමින් තිබේ.ඒ හරහා ජීවනෝපාය කරගත් බැඳිවැව මා ඔයේ මිනිස්සු සේම මුලු රටේම මෙම කර්මාන්තකරුවන් සියලු දෙනා ගේ ජීවිත කෙරෙහි බලධාරින් අවධානය යොමු කළ යුතුය.

සෝබනේට කාන්තා දින සැමරුම්වලින් ගෑණුන්ට උපහාර කරනවාට වඩා මා ඔයේ ගඩොල් කපන ගෑණුන්ගේ කප්පරක් දුක්  ගැහැට දෙස අවධානය යොමු කිරීම බලධාරින්ගේ වගකීමක් හා යුතුකමක් ද වන්නේ ය.

මන්ද මේ දිරිය ගැහෑණුන් කිසි කෙනෙකු මට රස්සාවක් දෙන්න, මට ණය දෙන්න , ආදි ලෙස කිසිවක් නොයිල්ලීම ම මේ අයගේ ජීවිත ඉහළට ඔසවා තැබීම ට හැකි හේතුවක් ද වන්නේ ය.මහා මන්දිර තැනීමට හරි හරියට පස් මෑටි සමග පොර බදා ගඩොල් කර්මාන්තය පවත්වාගෙන යන සියුමැලි ගෑණුන්ගේ සැබෑ ජීවන අරගලයට උපකාරයක් කිරීමට හෝ උපහාරයක් පිදීමට අවශ්‍ය නම් ඔවුන්ගේ හඬට ඇහුම්කන් දී කර්මාන්තය පවත්වාගෙන යාමට අත හිත හිය යුතුය.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts