(ජූනි 26 දිනට යෙදෙන වදහිංසනයට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනය)

වධහිංසනයට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජූනි 26 වන දිනට යෙදී ඇත. ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් ලෙස මෙන්ම වධහිංසනයට, කෘෘර අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයක් ලෙස මෙම දිනය සැමරීමට එක් වෙයි.

වදහිංසාව මානව වර්ගයාට එරෙහි අපරාධයක්ය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කර සිටින්නේ, “වධහිංසකයන්ට ඔවුන්ගේ අපරාධවලින් ගැලවීමට කිසිවිටෙක ඉඩ නොතැබිය යුතු අතර, වධහිංසා පැමිණවීමට ඉඩ සලසන පද්ධති විසුරුවා හැර හෝ පරිවර්තනය කළ යුතුය”. යනුවෙනි.

අපගේ නිගමනයට අනුව ශ්‍රී ලංකාවද වධහිංසා පැමිණවීමට ඉඩ සලසන පද්ධතියක් සහිත රාජ්‍යයකි. වධහිංසනයට ඉඩ සලසන සමාජ හා පරිපාලන පද්ධතියක් පැවතීම තුළින් ශ්‍රී ලංකා රාජ්‍යය අශිෂ්ටත්වය කරා රැගෙන යන බව අපි පෙන්වා දීමට කැමැත්තෙමු. ආර්ථික, දේශපාලන හා සමාජීය පීඩා රැසකින් පීඩා විදින ශ්‍රී ලංකා රාජ්‍ය හා සමාජ දේහයට අද අවශ්‍ය වී තිබෙන්නේ ශිෂ්ටත්වය කරා ගමන් කිරීම මිස අශිෂ්ඨත්වය කරා ගමන් කිරීම නොවේ.

වධහිංසනයෙන් කෘෘර අමානුෂික හා අවමන් සහගත සැලකිලි සහ දඩුවම් වලින් මිදී සිටීමේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කර ඇති, 1994 අංක 22 දරණ වධහිංසනයට, කෘෘර අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වලට එරෙහි ජාත්‍යන්තර සම්මුති පනත මගින් වධහිංසනය අපරාධ වරදක් බවට පත් කර ඇති, එමෙන්ම වදහිංසනයට, කෘෘර අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශවකරුවකු ලෙස වසර 25කට අධීක කාලයක් ඉක්මවා තිබෙන, සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැරණිතම සාමාජිකයකුද වන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ වදහිංසනය විශාල වශයෙන් පැවතීමත් වදහිංසනයට පක්ෂපාතී රාජ්‍ය හා සමාජ නිර්මිතයක් ගොඩ නැගී තිබීමත් කණගාටුවට කරුණකි.

ශ්‍රී ලංකාවේ වධහිංසනයට එරෙහිව ඉහළ ගණයේ නීති මාලාවක් තිබුණද, වධහිංසනය තවදුරටත් ඉහළ මට්ටමකින් පැවතීම ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයේ දුර්වලතාවයද වධහිංසනයට ඉඩ දෙන පාලන හා සමාජ නිර්මිතයන් පෙන්වයි. මේ ආකාරයට වධහිංසනය සිදු කිරීම ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කිරීම මිනිස් නිදහස හා අයිතිවාසිකම් සම්බන්ධයෙන් අයහපත් තත්වයක් වන අතර මහජන පරමාධිපත්‍ය යේ කොටසක් වන ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම දරණ රජය මේ තත්වය සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කල යුතු බවත් සිය නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් වධහිංසනය පිටු දකින මිනිස් අයිතිවාසිකම් ගරු කරන පිරිසක් බවට පත් කිරීම රජයේ අත් හළ නොහැකි වගකීමක් බවත් අපි අවධාරණය කරමු.

 

නීති අණ පනත් නිසි ආකාරයෙන් භාවිතා නොකිරීමද ලංකාවේ ඔඩු දුවන ප්‍රශ්නයකි. විශේෂයෙන් ජාත්‍යන්තර සම්මුතින් පදනම් කරගෙන පනවා එකී නීති මගින් ජාත්‍යන්තර රෙකමදාරු සහ සහයෝගයන් පමණක් ලබා ගෙන අවසානයේ ඒවා නිසි ශක්තියකින් ක්‍රියාත්මක නොකරන ප්‍රධානතම නීතියක් ලෙස 1994 අංක 22 දරණ වදහිංසනයට, කෘෘර අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වලට එරෙහි ජාත්‍යන්තර සම්මුති පනත හඳුන්වා දිය හැක.

එකී පනත මගින් වධහිංසනය අපරාධ වරදක් ලෙස හඳුනාගෙන තිබුණද, වධහිංසනය සිදු කරන නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන්ට එකී පනත ක්‍රියාත්මක කරන්නේ අල්ප වශයෙන් බව සංඛ්‍යාලේකන පෙන්වයි. එකී පනත ක්‍රියාත්මක කර වසර 25ක් යන තෙක්ම එම පනත යටතේ පවරා ඇති නඩු ප්‍රමාණය 115ක් බවද අප පෙන්වා දෙමු. මෙය වධහිංසනය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලැබෙන පැමිණිලි ප්‍රමාණය සමග සසඳන විට කිසි සේත් සෑහීමට පත් විය නොහැකි ප්‍රමාණයකි. විශේෂයෙන් නීතිය බලාත්මක කිරීමේ නිළධාරීන්ගෙන් සිදු වන වධහිංසනයන් සම්බන්ධයෙන් වාර්තා නොවන පැමිණිලිද විශාල වශයෙන් ඇති බව අප අවධාරණය කරමු.

මානව වර්ගයාට එරෙහි අපරාධයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුනා ගන්නා වධහිංසන අපරාධය මුලිනුපුටා දැමීම සම්බන්ධයෙන් පුළුල් හා ශක්තිමත් ලෙස ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක විය යුතු බව අප අවධාරණය කරමු. විශේෂයෙන් වධහිංසනයට එරෙහි පවතින නිසි ලෙස ක්‍රියාත්මක කිරීමටත්, වධහිංසකයන්ට නීතියෙන් ගැලවී යාමේ ඉඩ වැළැක්වීමටත් වධහිංසනයට ඉඩ සලසන ලෙස ශ්‍රී ලංකාවේ ගොඩනැගී ඇති පද්ධතිය ශිෂ්ඨ සම්පන්න වධහිංසනයට එරෙහි පද්ධතියක් ලෙස පරිවර්තනය කිරීමේ කටයුත්තටත් සක්‍රීයව මැදිහත්වන ලෙස අපි ශ්‍රී ලංකා රජයට බල කර සිටිමු.

“වදහිංසාව කිසිසේත් නොඉඩසීමේ” (zero tolerance on Torture) රාජ්‍ය ප්‍රතිපත්තිය ජාත්‍යන්තරය සඳහා යොමු කරන වාර්තා සඳහා යොදා ගන්නා පාඨයක් පමණක් නොවී ප්‍රායෝගිකව එකී ප්‍රතිපත්තිය ක්‍රියාවේ යොදවන ලෙස අපි තවදුරටත් රජයට බල කර සිටිමු.

2023/06/26 දින දීය.

More Stories