“ධීවරයෝ “, “අල්ලපු ගෙදර” බලපු පරම්පරාවේ අයට ජීවිතේට අමතක නොවෙන නළුවෙක් තමයි හියුගෝ මාස්ටර්. විකට නළුවෙක් හැටියට ජනප්‍රිය වෙලා හිටිය හියුගෝ මාස්ටර් ඇතුලේ හිටිය බැරෑරුම් මිනිසා ගැන බොහෝ අය නොදන්නා තොරතුරු ටිකක් මම දන්නවා. ඒවා මේ වෙලාවේ මතක් කරන්න හිතුවේ ආදර්ශයට ගතයුතු බොහෝ දේ ඒ චරිතය තුළ තිබුන නිසා. හියුගෝ මාස්ටර් අපිව අතහැරලා ගිහින් දැන් බොහෝ කල්. මාස්ටර්ව මට නම් ජීවිතේටවත් අමතක කරන්න පුළුවන් කමක් නැහැ. මගේ ජීවිතේ පියෙකුට දක්වන ගෞරවය පුදකරන චරිත තුනක් තියෙනවා. පළමු වැන්න මගේ තාත්තා . දෙවෙනියා හියුගෝ මාස්ටර්. තුන්වන්නා මගේ බිරිදගේ පියා . ඒ තුන්දෙනාම දැන් ජීවතුන් අතර නැහැ. විකට නළුවෙක් වෙලා හිටිය හියුගෝ මාස්ටර්ට මගේ පීතෘ ගෞරවය හිමි වූනේ කොහොමද කියන කාරණාව ඇතුලේ අපි කාටත් ආදර්ශයට ගන්න දේ බොහොමයි. කොටින්ම මගේ විවාහයට සාක්ෂියට අත්සන් කරන්න මම එක්කගෙන ගියෙත් හියුගෝ මාස්ටර්ව.
පළමු පොත හියුගෝ මාස්ටර්ගේ ජීවිත කතාව.
සිනමා කරුවෙක් වෙන්න සහ ලේඛකයෙක් වෙන්න තියෙන අසාවෙන් ඉන්න කාලෙක (එතකොට මට වයස 19 යි) හියුගෝ චරිතය ලියන්න යොමු උනේ අහම්බෙන්. ඒ නිසා මාස හයක් විතර ඉතා සමීපයෙන් මාස්ටර් එක්ක කටයුතු කරන්න මට වාසනාව ලැබුන. ඒ වෙනකොට හියුගෝ මාස්ටර් විවේකීව ගතකරපු කාලේ . 83 කළු ජුලිය නිසා චිත්‍රපට කර්මාන්තයත් කඩාවැටිලා තිබුනේ. උදේට මාස්ටර් හම්බවෙන්න ගියාම සමහර දවස්වලට හවස්වෙනකම්ම ඉන්න වෙනවා. උදේ වරුවෙම හියුගෝ මාස්ටර් අරක්කු ටිකක් තියාගෙන අබින්ද ඇබින්ද ගන්නවා. නස්නාරන් ඉස්ම ටිකක් එහෙම දාල තමයි බොන්නේ. මම නොබොන නිසා කවදාවත් මට කිසිම උනන්දු කිරීමක් කළේ නැහැ. හැබැයි හියුගෝ මාස්ටර් ගේ අතදීමෙන් සිනමාකරුවන් උන ඇන්ටන් ග්‍රෙගරි , අන්දෘ ජයමාන්න, බර්නාඩ් රෙජිනෝල්ඩ් වගේ අයට නම් පොඩි “ෂොට් ” එකක් දුන්නා. මට හියුගෝ මාස්ටර් දුන්නු අවවාදය තමයි “නරක පුරුදු පුරුදු වෙන්න හරි ලේසියි එත් ඒවායින් මිදෙන්න හරි අමාරුයි. එත් හොඳ පුරුදු ඇතිකරගන්න හරි අමාරුයි එත් පටගාල නැතිකරගන්න පුළුවන් ඒ නිසා ඔයා කවදාවත් මේකට පුරුදුවෙන්න එපා “කියලා.
සිංහල වහරට අලුත් යෙදුම් එකතු කරපු මාස්ටර්.
ඒ කලේ චිත්‍රපටවල දෙබස් ලිවීමට හියුගෝ මාස්ටර් හරි ප්‍රසිද්දවෙලා ඉඳල තියෙනවා. “ධීවරයෝ”,” අල්ලපු ගෙදර” වගේ චිත්රපට නැගල යන්න මාස්ටර්ගේ දෙබසුත් බලපාල තියෙනවා. ඇයි සින්දු . ඒවා තාමත් ජනප්‍රයයි. “හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නැහැ නොහොඳ නරක දිනුවේ”,  ලන්කාරෙන් මලක් පිපි සැලෙන්නේ ” මාස්ටර් ලියපු අදටත් ජනප්‍රිය සින්දු. ඒ කාලේ චිත්‍රපටවල දෙබස් වලින් සමජගත වූණු අමුතු යෙදුම් මතු වුණා . හියුගෝ මාස්ටර් ඒවා ලියන්න දක්ෂයා . අපේ ජනවහරේ අදත් භාවිතා කරන “අලි වැඩේ ” , පන ගියා ” වගේ කැලි මාස්ටර්ගේ දෙබස් වලින් ආපු ඒවා. ඒ කටට එන වචන සමහර ඒවා හිනා කාලා මැරෙනවා. හියුගෝ මාස්ටර්ගේ විහිලු දන්නා හින්දම සමහරු මාස්ටර්ව විහිලුවටත් ගන්නද ලැස්තිවෙච්ච වෙලාවල් තියෙනවා. ඒවාට හියුගෝ මාස්ටර් උත්තර දෙන්නේ කටඋත්තර නැතිව යන්න.
ගොනෙකුගේ” පාට් ” එකකට ආරාධනාවක්.
අනවශ්‍ය විහිලුවලට එන අයට මාස්ටර් පිළිතුරු දෙන්නේ “නොකවුට්” වෙන්න. දවසක් නොසන්ඩාලයෙක් ටෙලිපොන් එකෙන් කතාකරල ” මාස්ටර් මම චිත්‍ර පටියක් කරන්න යනවා . ඒකේ ගොනෙකුගේ පාට් එකක් තියෙනවා එන්න බැරිද? කියල ඇහුවලු. මාස්ටර් කලබලවෙලා නැහැ. මාස්ටර් කිව්වලු” බොහොම හොඳයි මම එන්නම් එකේ එලදෙනෙකුගේ පාට් එකකුත් ඇතිනේ එකට උඹේ අම්මව ගනින්” කියලා. අනිත් පැත්තේ එකා එහෙම්මම ටෙලිපෝනය තිබ්බලු. ඒවගේ නොසන්ඩාල විහිලුවකට දෙන්න ඊට වඩා හොඳ පිළිතුරක් තියෙනවද??
තාත්තෙකුගේ වගකීම
හියුගෝ මාස්ටර්ට හොඳම දරුවෝ පස්දෙනෙක් හිටියා. චිත්‍රපටිවල හියුගෝ මාස්ටර් කවටයෙක් උනාට ගෙදරට විහිලු කාරයෙක් නෙමෙයි. තාත්ත කෙනෙක් ගේ වගකීම් සහගත බව මටත් දැනුනු අවස්ථා කීපයක්ම තියෙනවා. මට ඒ කාලේ පත්තරකාරයෙක් වෙන්න පුදුම ආසාවක් තිබුනේ. මම නිතරම මාස්ටර් ළඟ කන්කෙඳිරි ගැවා මට පත්තරේක රස්සාවක් හොයල දෙන්න කියලා . ඒ වෙනකොට මම ගුරු පත්වීමක් ලැබිල වනාතවිල්ලුවේ වැඩ. මාස්ටර් මාව එක්කගෙන ගිරයේ මුලින්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට. එකේ ඒකාලේ සභාපති එමන් කාරියකරවන මහතා. එතුමාගේ සහෝදරයා තමයි ඩී .ඒෆ් කාරියකරවන මහතා. එතුමා වැඩ කෙරුවේ ලේක් හවුසියේ. හියුගෝ මාස්ටර් ඒමන් කාරියකරවන මහතගෙන්ගෙන් ඇහුවේ ඩී .එෆ්. කාරියකරවන මහතාට කියල මාව ලේක් හවූසියට දල දෙන්න පුලුවන්ද කියල. එතුමාට එක සුළු වැඩක් බව කියවුණා . ඊට පස්සේ මව එක්කගෙන ගියේ දවස පත්තර කන්තෝරුවට. එච්.ඩබ්ලිවු. අභයපාල මහත්තය මුණ ගැහිලා මාස්ටර් එම ප්‍රශ්නයම ඇහුවා . එතුමත් දුන්නේ බලාපොරොත්තු සහගත උත්තරයක්. පස්සේ දවසක හියුගෝ මාස්ටර් තකහනියක්ම අපේ ගෙදර ඇවිත් අපේ තාත්තාව මුණගැහුන. මාස්ටර් තාත්තාට කිව්වා “ඔයාගේ පුතා පත්තර කන්තෝරුවකට දාල දෙන්න කියන ඉල්ලීම කරනවා. මට ඒ උදව්ව කරලා දෙන්න පුළුවන්. එත් ඔයා එකට කැමතිද?. එත් තාත්ත එකට කැමැති වූනේ නැහැ.අන්තීමෙට මාස්ටර් මට දුන්නු පිළිතුර තමයි “ළමයෝ ඔයාගේ තාත්ත අකමැති දෙකට මට ඔයාට උදව් කරන්න බැහැ” කියලා . මගේ බලාපොරොත්තු බිඳ වැටුනා . මට පස්සේ කාලෙක තමයි තේරුණේ හියුගෝ මාස්ටර් මොනතරම් වගකීම් සහගත තාත්තා කෙනෙක්ද කියලා.
හියුගෝ මාස්ටර් ලියපු ගීතිකා අහල තියෙනවද ???
දේශපාලන වශයෙන් වාමාංශික අදහස් දරපු හියුගෝ මාස්ටර් හොඳ කිතුනු භක්තිකයෙක් හියුගෝ මාස්ටර් ලියපු ගීතිකා ප්‍රමාණය විශාලයි. ඒවා පෙරියම්මුල්ල පල්ලියේ ගයන කළා මම හිතන්නේ. ඒවා ගැන දැන් දන්නේ මාස්ටර්ගේ බලපුතා බ්‍රිටෝ. මටත් එක ගීතිකාවක පේලි කීපයක් පාඩම්.
අම්මේ මාගේ අම්මේ මා රකින්නකෝ.
අම්මේ ජේසු අම්මේ පිහිට වෙන්නකෝ
අම්මේ ඔබගේ තුරුළට මාව ගන්නකෝ
අම්මේ ඔබගේ දරුවා මා වැළඳ ගන්නකෝ
ඒ කපාල පීඨකයේ කුරුස ආසනේ
පිතුරු දෙවිට අමිල ප්රානේ පූජා කරමිනේ
පළමුවරට දිව්ය යාගේ සිද්ධ කළ දිනේ
ඔබයි අම්මේ ඒ පූජාවට උදව් වුණේ
භක්තිමත් කිතුනුවෙක් හැටියට දිවි ගෙවපු හියුගෝ මාස්ටර් අවසාන කාලය වෙනකොට පුදුම උපේක්ශාවකින් මරණය බලාපොරොත්තුවෙන් හිටියේ. බුදු දහමේ උගන්වන “අත හැරීම” මම සැබෑ ලෙසම දැක්කේ හියුගෝ මාස්ටර් තුළින් . මම ඉඳහිට මාස්ටර්ව බලන්න හිහින් ” මාස්ටර් කොහොමද ඉතිං ” කියල අහපුවාම මාස්ටර් එකපාරටම දෙන උත්තරේ තමයි ” එකනේ බලන්ඩකෝ තාම ඉන්නවනේ ” කියලා . ඒ කතාව විහිලුවට නෙමෙයි ඇත්තටමයි කිව්වේ. මාස්ටර් කිව්වේ ” මගේ වැඩ ඔක්කොම දැන් ඉවරයි. මගේ යුතුකම් වගකීම් ඔක්කොම මම සම්පූර්නකරල ඉවරයි. ඉතින් මම ඇයි තවත් මේ දරුවන්ට කරදරයක් වෙන්න ජීවත් වෙන්නේ. මට ඕනේ පැදුරට වැටෙන්න කලින් වලට යන්න. අනික මිනිස්සුන්ට මාව අමතක වුනාට පස්සේ මැරෙනවට වඩා හොඳ මිනිස්සුන්ට මතක කාලේ දීම මැරෙන එක” මම උදේ හවස දෙයියන්ගෙන් ඉල්ලන්නෙත් එක. මම ටිකට් එක හදාගෙන බලාගෙන ඉන්නේ එත් තම මට වීසා එක අවේ නැහැ.” සුපුරුදු විහිළුවෙන්ම මාස්ටර් කියන්නේ එහෙම.. ඒ විදිහට මරණයට සුදානම් වෙලා හිටිය වෙන කෙනක්ව මම දැකල නැහැ. විහිලු කාරයා ඇතුලේ හිටිය ගැඹුරු මිනිසා තමයි ඒ.
හියුගෝ මාස්ටර් හොඳටම අඬපු දවස.
හැමදාම විහිළුවෙන් ජීවිතයට මුහුණ දීපු හියුගෝ මාස්ටර් මහා වේදනාවෙන් අඬපු දවස තමයි මාස්ටර්ගේ ආදරණීය බිරිඳ මිය ගිහින් අවසාන කටයුතු කල මොහොත. හියුගෝ මාස්ටර්ගේ බිරිඳ හරිම සීදේවි සෙනෙහෙබර මාතාවක්.හියුගෝ මාස්ටර් නෝනට කතාකළේ “නොනියෝ” කියලා. තමන් මරණයට සුදානමින් සිටියට තම බිරිඳගේ වියෝව මාස්ටර්ගේ ජීවිතය කම්පනයට පත්කරපු හැටි බලාගෙන හිටපු අපිවත් කම්පනයට පත්කලා.
බත්කන්ඩ රස්සාව තියාගන්ඩ දීපු වටිනා අවවාදය
මා තුළ කලාවට තිබුණු ඇල්ම දැනගෙන හිටිය මාස්ටර් හැමවෙලේම මට කිව්වේ “රස්සාවට දෙන තැන අඩුකරගන්න එපා” කියලා. ” බත්පිගාන රස්සාවේ තරමට තියාගන්න සමහරවිට රස්සාවෙන් ලැබෙනවට වඩා කලාවෙන් උපයන්න පුලුවන්වෙයි. එව තියාගන්න අතුරුපසට. කවද හරි කලාවෙන් ලැබෙන සල්ලි අඩුවෙන්ඩ පුළුවන්. ඒත් බත් පිඟාන වරදින්නේ නැහැ. හුඟාක් කලාකාරයන්ට වැරදුනු තැන එතන කියලා”. මාස්ටර් “බත් පිඟාන ” කිව්වේ බොහෝ දේවල් වලට .හියුගෝ මාස්ටර්ගේ ඒ අවවාද කොයි තරම් ප්‍රයෝගිකද කියල මට දැන් තේරෙනවා.
සිඩ්නි මාකස් ඩයස්
(හියුගෝ මාස්ටර්ගේ සිනමා මෙහෙවර ගැන වැඩි විස්තර දැනගන්න “විකිපීඩියා ” අන්තර්ජාල විශ්වකෝෂයට පිවිසෙන්න )

Similar Posts