“අපි අවමංගල්‍ය උත්සවයකට යාම සදහා තවත් කිහිප දෙනෙකු සමග ගනේගම සමූපකාරය අසල නැවතී සිටින විට කිරිඳිවැල පොලීසියේ කැබ් රථයකින් පැමිණි පිරිසක් එම ස්ථානයේ සිටි පිරිස පරීක්ෂා කළා. ඉන් ටික වෙලාවකට පසුව ඔවුන් පැමිණි කැබ් රථයේ පිටුපස සිටි තැනැත්තෙක් ඉන් බසිනු දුටුවා. ඒ තැනැත්තා ඩේවිඩ් බව තමන් හොදින් හඳුනා ගත්තා. ඩේවිඩ් කැබ් රථයෙන් බැස ඇවිදගෙන ටිකක් ඉදිරියට යනු දුටුවා. එවිට එහි සිටි පොලිස් නිලධාරියෙකු අත තිබු මුගුරකින් ඩේවිඩ්ගේ කොන්ද හා තුනටිය අතර ප්‍රදේශයට වැරෙන් පහර දුනා. ඩේවිඩ් මාව බේරාගනියේ කියමින් යටිගිරියෙන් කෑ ගැසුවා. ඉන් පසුව පොලිස් නිලධාරියා විසින් තෝ පැනල යන්න නේද හැදුවේ යැයි විමසමින් ඩේවිඩ්ගේ හිස වැරෙන් දෙවරක් කැබ් රථයේ පිටුපස දොරෙහි වද්දවා කැබ් රථයට තුළට ඇද දැම්මා.”
පසුගිය ජූලි 14 වන දින ශ්‍රේෂ්ඨාධිකරය විසින් වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කරන ලදී. කිරිඳිවැල පදංචිව සිටි ඩේවිඩ් අමරසිංහ මහතාගේඝාතනය සම්බන්ධව පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති ලඝුනොවන නඩු විභාගය පවත්වාගෙන යාම වළකාලමින්ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකර තිබු (SC Appeal 52/2021)පෙත්සමශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේපකරමින් එමතීන්දුව ලබා දී තිබේ.
ඩේවිඩ් අමරසිංහ යනු යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ වසර 12ක සේවයෙන් පසුව ඉන් විශ්‍රාම ලබා තම මහළු මව සමග ජීවත් වූ එවකට 46 හැවිරිදි අවිවාහකයෙකි. තම මව රැක බලාගැනීමේ කටයුතු වලට බාධාවක් විය හැකි නිසා ඩේවිඩ් කසාදයක් පවා නොකරගත් බව ඔහුගේ පවුලේ උදවිය පවසයි.
2010 අගෝස්තු මස 13 වන දින ඩේවිඩ් අසල පිහිටි කඩයටයන්නේරාත්‍රී ආහාරය සදහා පාන් ගෙඩියක් ගෙන ඒම සදහාය. මුර සංචාරයේ යෙදෙනකිරිඳිවැල පොලීසියේ නිලධාරීන් ඩෙවිඩ් අත්අඩංගුවට ගෙන ඇත්තේ තමන්ව පාලනය කර ගැනීමට නොහැකි මට්ටමින් බීමත්ව අශෝභන ලෙස හැසිරෙන බවට ගම්වාසීන්ගෙන් ලැබුන පැමිණිල්ලක් නිසා බව පුගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ගොනු කළ බී වාර්තාව (බී/678/10) මගින් කරුණු දක්වා තිබුණි. ඩේවිඩ් අත්අඩංගුවට ගෙන කිරිඳිවැල පොලිස් ස්ථානය වෙත රැගෙන එන අතරමගදී වේගයෙන්ගමන්කරමින් තිබූ කැබ් රථයෙන් පැනීම නිසා ඇති වූ තුවාල හේතුවෙන් රෝහල් ගත කළ බවත්, එම තුවාල හේතුවෙන් ඩේවිඩ් මියගොස් ඇති බවත් කිරිඳිවැලපොලිසිය විසින් ඉහත බී වාර්තාව මගින්පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු දක්වා තිබුණි.
ඩේවිඩ්ගේ මරණය සම්බන්ධව පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වුයේ ඩේවිඩ් ඒ අවස්ථාවේ බීමත්ව නොසිටි බවයි. ඔහුගේ අමාශ කොටස් තුළින් මත්පැන් ගඳක් වහනය නොවු බව සහ රුධිර පරීක්ෂණයෙන් ද ඔහු මත්පැන් පානය කර නොසිටි බව තහවුරු වූබව මරණ පරීක්ෂ වාර්තාවේ සඳහන් විය. එමෙන්ම, ඒ අවස්ථාවේ ඩේවිඩ්ගේආමාශය හිස්ව තිබූ බවත් එහි සඳහන්ව තිබේ. ඩේවිඩ්ගේ හිසට හා මොලය ප්‍රදේශයට මොට බලයක් යෙදීම නිසා ඇති වූ තුවාල හේතුවෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවත් එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.
මෙම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවත් සමග එවක පුගොඩ මහෙස්ත්‍රාත්ව සිටි අරවින්ද පෙරේරා විනිසුරුතුමා විසින් ඩේවිඩ්ගේ මරණය මිනීමරුමක් බවට සැක කරමින් ලඝු නොවන නඩු විභාගය (එන්.එස්/577) ආරම්භ කරන ලදී.ඊට විරෝධය දැක් වූ පොලීසිය මේ සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා ලෙස අධිකරණය වෙත කරුණු දක්වා තිබුණි. පසුව මේ සම්බන්ධව ක්‍රියාත්මක වූ නීතිපතිවරයා පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු ගොනුව වහාම ගෙන්වා ගැනීමට කටයුතු කර තිබුණි. ඉන් පසුව නීතිපතිවරයා විසින් මෙම නඩුව ඉදිරියට ගෙනයාමට අදහස් නොකරන බවත්, අදාළ චූදිතයින් නිදහස් කළ හැකි බවත්පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා තිබුණි. එමෙන්ම, මෙම නඩුව ඉදිරියට ගෙනයාමට මහේස්‍ත්‍රාත්වරයාට බලයක් නොමැති බවට රජයේ නීතිඥවරයා විසින් කරුණු දක්වා තිබුණි.
නීතිපතිවරයාගේ ඉහත උපදෙස් නැවත සලකා බලන ලෙස දන්වමින් පූගොඩ මහෙස්ත්‍රාත්වරයා විසින් ලඝුනොවන නඩු විභාගය නැවත අරම්භ කරතිබුණි.මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් සහභාගී වූ රජයේ නීතිඥවරයා පවසා සිටියේ ලඝු නොවන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයෙකුට නියෝගයක් දීමේ පුර්ණ බලයක් නීතිපතිවරයාට ඇති බවත්, උක්ත නියෝගයට අනුව චූදිතයින් දෙදෙනා නිදහස් කිරීමට කටයුතු කරන ලෙසයි.
මේ අතර, පුගොඩ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට එරෙහිව අදාළ පොලිස් නිලධාරින්ගේබිරින්දෑවරුන් විසින් ප්‍රතිශෝධනපෙත්සම් දෙකක් (13/2010-14/2010) ගම්පහ මහාධිකරණය වෙත යොමු කර තිබුණි. එම අයදුම්පත් ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර තිබුනේ මහේස්ත්‍රාත්වරයෙකු සතු බලතල අධිකණ සංවිධාන පනතේ මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහ පනතෙහි ඉතා පැහැදිලිව සඳහන් වන බව හා පුගොඩ මහේස්ත්‍රාත්වරයාට මෙම නඩුවේ මූලික විමර්ශනයන් සිදු කිරීමට පුර්ණ අධිකරණ බලය හිමිව ඇති බවයි. මෙම මරණය සම්බන්ධව විමර්ශනයක් පූගොඩ මහෙස්ත්‍රාත්වරයා විසින් සිදු කරන බැවින් මෙම සැකකරුවන්ට ඇප ලබා දුනහොත් එකී විමර්ශනයන්ට බාධා ඇති විය හැකි බවට මහේස්ත්‍රාත්වරයා ගෙන ඇති නිගමනය නිවැරදි බව එම තීන්දුව මගින් ප්‍රකාශ කර තිබුණි.
මහාධිකරණ තීන්දුවෙන් පසුව චූදිත පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් ලඝුනොවන නඩු විභාගය නවත්වන ලෙස ඉල්ලා අභියාචානාධිකරය වෙත පෙත්මක් ඉදිරිපත් කර තිබුණි. එම අයදුම ද ප්‍රතික්ෂේප වීමෙන් පසුව අදාළ චූදිතයින් ශ්‍රේෂ්ඨාධිකරය වෙත ඉහත සඳහන් කරන ලද පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
මහාධිකරණය, අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ගොස් නැවත පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගය ආරම්භ කිරීම සදහා නියෝගය ලබා ගැනීමසදහා ගත වූ කාලය වසර 13කි. මේ කාලය තුළ ඩේවිඩ් අමරසිංහ මහතාගේ මව තම පුතාගේ මරණය සිදු වූ ආකාරය පිළිබදව කිසිදු තොරතුරක් නොලැබ 2019 වසරේදී මියගොස් තිබුණි. මේ අතර මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වූ කුලසිංහ නැමැත්තාද මියගොස් ඇති බව අප වෙත වාර්තා විය.
මෙම නඩුවේ ඇසින් දුටු එකම සාක්ෂිය වුයේ කුලසිංහ මහතාගේ සාක්ෂියයි. ලඝු නොවන නඩු විභාගයේ දී කුලසිංහ ලබා දුන් සාක්ෂියේ මෙසේ සඳහන් වේ.
“අපි අවමංගල්‍ය උත්සවයකට යාම සදහා තවත් කිහිප දෙනෙකු සමග ගනේගම සමූපකාරය අසල නැවතී සිටින විට කිරිඳිවැල පොලීසියේ කැබ් රථයකින් පැමිණි පිරිසක් එම ස්ථානයේ සිටි පිරිස පරීක්ෂා කළා. ඉන් ටික වෙලාවකට පසුව ඔවුන් පැමිණි කැබ් රථයේ පිටුපස සිටි තැනැත්තෙක් ඉන් බසිනු දුටුවා. ඒ තැනැත්තා ඩේවිඩ් බව තමන් හොදින් හඳුනාගත්තා. ඩේවිඩ් කැබ් රථයෙන් බැස ඇවිදගෙනටිකක් ඉදිරියට යනු දුටුවා. එවිට එහි සිටි පොලිස් නිලධාරියෙකු අත තිබු මුගුරකින් ඩේවිඩ්ගේ කොන්ද හා තුනටිය අතර ප්‍රදේශයට වැරෙන් පහර දුනා. ඩේවිඩ් මාව බේරාගනියේ කියමින් යටිගිරියෙන් කෑ ගැසුවා. ඉන් පසුව පොලිස් නිලධාරියා විසින් තෝ පැනල යන්න නේද හැදුවේ යැයි විමසමින් ඩේවිඩ්ගේ හිස වැරෙන් දෙවරක් කැබ් රථයේ පිටුපස දොරෙහි වද්දවා කැබ් රථයට තුළට ඇද දැම්මා.”
ජූලි 14 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් මෙම තීරණයෙන් පසුව පුගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඩේවිඩ්ගේ මරණය සම්බන්ධව පැවැත්වෙන ලඝු නොවන නඩු විභාගය නැවත ආරම්භ කළ හැක. නමුත්, එය අවසන් වීමට කොපමණ කාලයක් ගත විය හැකිද? නීතිපතිවරයා පැරණි ස්ථාවරය තුළම කටයුතු කරන්නේ නම්, මේ නඩු ගොනුව නීතිපති වෙත යොමු වීමෙන් පසුව කුමක් සිදු විය හැකිද? අපගේ අධිකරණ ක්‍රමය තුළ අධිචෝදනා ගොනු කිරීම සිදු කරන්නේ නීතිපතිවරයා විසින් වීම නිසා ඒ සදහා ඔහුගේ අභිමතයක් නොමැති නම් මේ නඩුව මහාධිකරණයක් වෙත නැවත ගොනු නොවීමට බොහෝ විට ඉඩ ඇත.
ඒ සියලු අභියෝග ජයගෙන නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබුවත් එම නඩු විභාගයට තවත් කොපමණ කාලයක් ගතවේද? 2021දී අධිකරණ ඇමති ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා නීතීඥ සංගමයේ 47වන වාර්ෂික උත්සව සභාවේදීප්‍රකාශ කළ පරිදි,මහාධිකරණයේ අපරාධ නඩුවක් විභාග වීම සඳහා සාමාන්‍යයෙන් අවුරුදු 9 ½ක් ගතවේ. අපරාධ කටයුත්තක අභියාචනයක් සලකා බැලීම ආරම්භ කිරීම සඳහා අවුරුද්දක කාලයක් ගතවන අතර එම අභියාචනය සම්බන්ධයෙන් විසඳුමක් ලැබීමට අවුරුදු 3-4 පමණ කාලයක් ගතවේ.
දැනටමත් වසර 13ට වැඩි කාලයක් ගතවී ඇති මෙම සිද්ධිය සම්බන්ධව සාක්ෂි ලබා දීමට ඉතිරි වී ඇති සාක්ෂිකරුවන්ට තව දුරටත් මෙම නඩුව සදහා සාක්ෂි ලබාදීමට තරම් විශ්වාසයක්, ආරක්ෂාවක් හෝ ධෛර්යක්පැවතිය හැකිද? ඔවුන් ශරීරිකව දුබලව ඇති අතර, මේ සම්බන්ධව ඇති විශ්වාසය පලුදු වීම නිසා මානසික මට්ටම් ද ඉතා පහත් තත්ත්වයක පැවතිය හැක.
වසර 13ක් තිස්සේ විවිධාකාරයේ අභියෝගයන් මැද්දේ තම සොයුරාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි සයිමන් අමරසිංහ මහතාත් මේ වන විට 65 වියේ පසුවේ. රෝගීව සිටින සයිමන්ට මේ වෙනුවෙන් තව දුරටත් කාලය හා මුදල් යෙදවිමට හැකියාවක් තිබේද?
ඩේවිඩ් අමරසිංහගේ සිද්ධිය තවත් එක් සිද්ධියක් පමණි. අවුස්සා බැලුවොත් මෙවැනි සිද්ධි ඇති තරම් අපට සොයා ගත හැක. යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයේ හා ශ්‍රී ලංකාවේ පවතින නඩු ප්‍රමාදය ඇතුළු අප අධිකරණ පද්ධතියේ ඇති බරපතල ගැටලු මෙම සිද්ධිය හරහා අපට මනාව අවබෝධ කර ගැනීමට හැකියාව ඇත.
පිලිප් දිසානායක
අනිද්දා පුවත්පතෙන් උපුටා ගන්නා ලදි.