ශ්‍රියානි සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ හා තවත් අය නඩුව ලංකාවේ අධිකරණ ඉතිහාසයේ සුවිශේෂතම නඩු තීන්දුවක් ලබා දුන් මූලික අයිතිවාසිකම් නඩුවකි. එය මගින් එකී නඩුවේ මූලික අයිතිවාසිකම් කඩ වූ වින්දිතයාට පමණක් නොව ඉදිරියට ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් කඩ වීමෙන් පීඩාවට පත්වන සියලුම තැනැත්තන්ට මෙන්ම පොදුවේ සමස්ත ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට යුක්තිය ඉටු කිරීමක් සිදු විය. මෙම නඩුව නීති ක්ෂේත්‍රයේ වෘත්තීය කටයුතු සිදු කරන, නීතිය හදාරන මෙන්ම මෙම ක්ෂේත්‍රයන් හා බුද්ධිමය වශයෙන් සම්බන්ධ සියලුම දෙනා හොදින්ම දන්නා නඩුවකි.
මෙම නඩුවට පෙර පැවැති තත්වය අනුව ශ්‍රී ලංකාවේ යම් මූලික අයිතිවාසිකමක් කඩ වූ පසු ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකිව තිබුණේ එකී පුද්ගලයාටම හෝ ඔහුගේ නීතිඥයාට පමණි. මූලික අයිතිවාසිකම කඩ වීම එම පුද්ගලයා ඝාතනයකින් කෙළවර වුනේ නම් එම පුද්ගලයා වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන්නේ කෙසේද යන ගැටලුව පැන නැගුනි. මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කලේ පොලිස් පහරදීමෙන් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ වන ශ්‍රියානි සිල්වා මහත්මියයි. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් වර්තමානයේ ජනාධිපති නීතිඥයකු වන ජේ. සී වැලිඅමුණ මහතා පෙනී සිටින ලදී. මෙහිදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන ව්‍යවස්ථාව ස්වර්ණමය රීතිය අනුව අර්ථනිරූපනය කරමින් තීරණය කලේ එකී මූලික අයිතිවාසිකම් කඩ වූ පුද්ගලයාගේ ළගම ඥාතියාට ඒ සම්බන්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කල හැකි බවයි. ඒ අනුව මෙම නඩුව විභාගය සඳහා අවස්ථාව උදා කර දුන් ශ්‍රේෂ්ඨාධීකරණය මිය ගිය අයගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට තීරණය කරන ලදී.
අප සියලු දෙනාමත්, ශ්‍රී ලංකා රජයේ නියෝජිතයනුත්, රජය විසින් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලය වෙත ලබා දෙන රාජ්‍යමය වාර්තා තුළත් මෙම නඩුව සුවිශේෂී කොට දක්වමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවර්ධනය පිළිබඳ අදහස් දක්වයි. පසුගිය දෙසැම්බර් 20 වන දින වදහිංසාවට එරෙහි පනතට අවුරුදු 25ක් පිරීම නිමිත්තෙන් පැවැති මහජන කතිකාව අමතමින් පොලීසියේ විශිෂ්ටත්වය ගැනත්, මානව හිමිකම් වලට මුවා වී ත්‍රස්තවාදීන් කුඩුකාරයන් රජ වීම ගැනත් වේගවත් උද්වේගකර දේශනයක් සිදු කල ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද මෙම නඩුවේ සුවිශේෂත්වය ගැන අදහස් දක්වන ලදී. නමුත් එම අවස්ථාවට වින්දිතයෙක් මෙන්ම මානව හිමිකම් ක්‍රියාධරයෙක් ලෙස සහභාගී වී සිටි අමිතා ප්‍රියන්ති මහත්මිය මෙම ඉද්දමල්ගොඩ නඩුවේ විශාලකාර්යභාරයක් තිරය පිටුපස සිට සිදු කල කාන්තාවක් මෙන්ම එම පොලිස් පහරදීමෙන් මියගිය පුද්ගලයාගේ සහෝදරියක බව ඔහු නොදැන සිටියා විය හැක.
මෙහිදී අදහස් දක්වමින් අමිතා ප්‍රියන්ති මහත්මිය ප්‍රකාශ කලේ මෙම වදහිංසාව හා ඝාතනය සිදු කල පොලිස් නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීම පොලීසිය හිතාමතා මගහරිමින් කටයුතු කල බවයි. මෙම මූලික අයිතිවාසිකම් නඩුව සඳහා කිසිදු මුදල් අයකිරීමකින් තොරව ජේ.සී වැලිඅමුණ මහතා පෙනී සිටි බවත් ඒ සම්බන්ධයෙන් අදද තමාගේත් සිය පවුලේත් ගෞරවය ඒ මහතාට හිමි වන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියාය. මෙම සිදුවීම මගින් සිය සහෝදරයා මිය යාම 2000 වසරේ සිදු වුවද මෙම පොලිස් පහරදීම මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවේ සඳහන් වදහිංසනයෙන් වැළකීමේ අයිතිය උල්ලංඝනය වූ බව ගරු ශ්‍රේෂ්ඨාධීකරණය තීරණය කලද මේ සම්බන්ධව විමර්ශන අවසන් කොට 1994 අංක 22 දරණ වදහිංසාවට එරෙහි පනත යටතේ මහාධීකරණයේ නඩු පැවරීමට වසර 13ක් ගත වුනු බවත් එසේ නඩු පැවරුවේ 2013 වසරේ බවත් ඒ මහත්මිය පැවසීය. එකී කාල සීමාව තුළදී මෙහි ප්‍රධාන චූදිත වන ඉද්දමල්ගොඩ නැමැත්තා රටින් පළා ගිය බවත්, එම නඩුව ඒක පාර්ශවිකව විභාග වීම ආරම්භ වී මේ වන විටත් වසර පහක කාලයක් ගත වී ඇති බවත් එමෙන්ම එකී කාලය තුළදී මෙහි ප්‍රධාන සාක්ෂිකාරයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් අමිතා ප්‍රියන්ති මහත්මිය පැවසීය.
මෙවන් තත්වයකදී යුක්තිය ඉටු කර ගන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් බව ඒ මහත්මිය ප්‍රශ්න කළාය. මෙම නඩුවේ චූදිත ඉද්දමල්ගොඩ ශ්‍රී ලංකාවට නැවත පැමිණ පිටව ගිය බවට මුල් අවස්ථාවකත් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ පිටව නොගිය බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව වාර්තා කරන බවත් ඒ මහත්මිය පැවසීය. ඒ අනුව එකී පුද්ගලයා මේ වන විට ශ්‍රී ලංකාවේ සැගව සිටින බවත් අධීකරණයෙන් කොතෙක් වරෙන්තු නිකුත් කලද ගුවන් තොටුපළේදී හෝ වෙනත් ස්ථානයකදී මොහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා නොකරන බවත් ඒ මහත්මිය වැඩිදුරටත් පැවසීය.
පොලීසිය වදහිංසා සිදු කල පොලිස් නිලධාරීන් අපරාධ වගකීමකට ලක් වීමෙන් බේරා ගැනීමට කටයුතු කරන ආකාරයට හොදම උදාහරණයකි මෙය. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ අදහස් දැක්වීමේදී ප්‍රකාශ කලේ වදහිංසා පැමිණිලි විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පොලීසියේ ඇති බවයි. අපේ ප්‍රායෝගික අත්දැකීම අනුවනම් එම ඒකකය ක්‍රියාත්මක වනවාද යන්න ගැටලුවකි. කුමන ඒකක පැවතුනත් පොලීසිය රටේ නමගිය නඩුවක චූදිත වූ සිය පැරණි පොලිස් නිලධාරියාට එරෙහිව කටයුතු කරන්නේ ඉහත කී අමිතා ප්‍රියන්ති මහත්මිය කියන ආකාරයටනම් එය සැබවින්ම කණගාටුදායක තත්වයකි.
මේ අනුව පෙනී යන්නේ ලංකා අධීකරණ ඉතිහාසයේ සන්ධිස්ථානයක් වූ නඩු තීන්දුවක් ලෙස ඉද්දමල්ගොඩ නඩුවේදී යම් තීරණයක් ලබා දුන්නද එකී පහර දී ඝාතනය සිදු කල චූදිතයන් වදහිංසායට එරෙහි පනත යටතේ අපරාධමය වගකීමකට යටත් කිරීමෙන් තවදුරටත් එකී පවුලේ සාමාජිකයන්ට යුක්තිය ඉටු කිරීමට රජයක් ලෙස අසමත් වීම ගැන ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම සමස්ත රාජ්‍යයම කණගාටු විය යුතුය.
වදහිංසාවට එරෙහි පනතට 25 වසරක් සපිරෙන මෙම වසරේදී අපගේ අධිෂ්ඨානය විය යුත්තේ මෙම ඉද්දමල්ගොඩ නඩුවේ වින්දිතයන්ට මෙන්ම තවත් වදහිංසාවෙන් වින්දිතභාවයට පත් සියලු තැනැත්තන්ගේ යුක්තිය උදෙසා පියවර ගැනීමට රජයට බලපෑම් කරන මහජන ව්‍යාපාරයක් බිහි කිරීමයි. එය ආරම්භ කල යුතු නඩුව ඉද්දමල්ගොඩ නඩුවයි.
– නීතිඥ දුලාන් දසනායක
උපුටා ගැනීම – aithiya.lk