ඓතිහාසික කතරගම රුහුණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ දිනවල උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි. පසුගිය ජූලි 6 වැනිදා ආරම්භ වූ ඇසළ පෙරහැර මේ දිනවල පැවැත්වෙන අතර ලබන 20 වැනිදා මහ පෙරහැර පවත්වා 21 වැනිදා මැණික් ගඟේ දිය කැපීමෙන් පසු කතරගම රුහුණු මහා දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වනු ඇත. අලි ඇතුන් 30 දෙනෙකු පමණ ද, උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායන්ට අදාළ සහ ජාතික තරුණ සේවා සභාවට අදාළ නර්තන කණ්ඩායම් රැසක් යොදවා පෙරහැර මංගල්‍යය වර්ණවත් කිරීමට කටයුතු යොදා ඇතැයි දේවාලයේ බස්නායක නිලමේවරයා ප්‍රකාශ කළ බව ද මාධ්‍ය වාර්තා කොට තිබේ.
ඉහත සඳහන් කතරගම සම්බන්ධ සාමාන්‍ය ප්‍රවෘත්තිය අතික්‍රමණය කරන සමාජ හා මානව විද්‍යාත්මක වශයෙන් අතිශය වැදගත් සංසිද්ධියක් මෙවර ඇසල උත්සව සමය මුල් කොට පණ ගැන්වී ඇති බවක් පෙනෙයි. සමාජ මානව විද්‍යා ක්ෂේත්‍රයන් හි නියුක්ත වූවන් ගේ මෙන්ම සාමාන්‍ය ජනතාව ගේ සංතීක්ෂණ අවධානයට යොමු විය යුතු එම කරුණ සම්බන්ධයෙන් අපගේ ද අවධානය යොමුව ඇති පසුබිමක එය මුල් කොට මෙය සටහන් කොට තැබීම කාලීන යුතුකමක් හා වගකීමක් සේ අපි දකිමු.
අපට මීට පෙර අසන්නට ලැබුණු කරුණකින් ප්‍රකාශ වූයේ කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ රෝගීන් සඳහා ලබා දෙන ආහාර වලින් හරි අඩක්ම ඌරු කෑම වශයෙන් පිටතට යැවෙන බවකි. එවන් තත්වයක් යටතේ පළමුව මහරගම අපේක්ෂා රෝහලෙන් සහ දෙවනුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ආරම්භ කෙරෙන මෙම රෝහල් සඳහා ලබා දෙන රස ගුණ සපිරි ආහාර ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීමට කතරගම රුහුණු මහා දේවාලයේ බස්නායක නිලමේවරයා ඉදිරිපත් වීම අප කාගේත් පැසසුමට ලක් විය යුතු කරුණකි.
ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය විද්‍යායතනය සහ එම වෛද්‍ය සංගමය එක්ව Feed the Patient Project නමින් නවතම ව්‍යපෘතියකට මුල පුරා තිබේ. එනම් මේ වන විට රජයේ රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා කෑමට ප්‍රිය උපදවන එමෙන්ම පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාර වේලක් ලබා දීම සම්බන්ධයෙනි. එම කරුණ සම්බන්ධයෙන් අපට මීට පෙර අසන්නට ලැබුණු කරුණකින් ප්‍රකාශ වූයේ කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ රෝගීන් සඳහා ලබා දෙන ආහාර වලින් හරි අඩක්ම ඌරු කෑම වශයෙන් පිටතට යැවෙන බවකි. එවන් තත්වයක් යටතේ පළමුව මහරගම අපේක්ෂා රෝහලෙන් සහ දෙවනුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ආරම්භ කෙරෙන මෙම රෝහල් සඳහා ලබා දෙන රස ගුණ සපිරි ආහාර ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීමට කතරගම රුහුණු මහා දේවාලයේ බස්නායක නිලමේවරයා ඉදිරිපත් වීම අප කාගේත් පැසසුමට ලක් විය යුතු කරුණකි. එමෙන්ම කතරගම රුහුණු මහා දේවාලය විසින් ඉටු කොට ඇති තවත් සුවිශේෂ සමාජමය මෙහෙවරක් පිළිබඳව ද තොරතුරු අසන්නට ලැබේ. එනම් කතරගම රුහුණු මහා දේවාල අරමුදලින් මහරගම අපේක්ෂා රෝහලේ තනා නිමවා ඇති සියලු නවීන පහසුකම් වලින් සම්පූර්ණ ළමා වාට්ටු සංකීර්ණය මෙවර කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ නිමාවත් සමඟ ලබන ජූලි 23 දා විවෘත කිරීම ය.
ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ වැඩි පිරිසක් දේව වන්දනයට ද යොමුව සිටිති. ඒ අතරිනු`දු බහුතරය කතරගම දෙවියන් සම්බන්ධ විශ්වාසය දරන බව පෙනේ. නමුදු බුදු දහමට අනුව තෙරුවන සම්බන්ධ අචල විශ්වාසය දරන්නවුන් හට ඉන් බැහැර වෙනයම් මාර්ගයන් ගෙන් ආයුෂ, වර්ණ, සැප, බල ආදී වශයෙන් ලෞකික සම්පත් අපේක්ෂා කළ හැකිද? යන්න සංවාදයට තුඩු දෙන මාතෘකාවකි. නමුත් ඒ සම්බන්ධ සමාජ මානව විද්‍යාත්මක විශ්ලේෂණයක දී පෙනී යනුයේ එය ලොව බොහෝ ආගමික විශ්වාස දරන්නවුන් අතර පවත්නා පොදු ලක්ෂණයක් බව ය. තමන් ගේ ලෞකික අභිමතාර්ථයන් ඉෂ්ඨ සිද්ධ කරගැනීම සඳහා එසේ අනුගමනය කරනු ලබන පිළිවෙත් ලෞකික අභිචාර (Secular rirual) නමින් මෑතක සිට හඳුනා ගැනෙමින් තිබේ. ඩෙන්මාර්කය ආදී රටවල් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමසුම් වලදී ඒවායේ උසස් අධ්‍යාපනයේ යෙදෙන්නවුන් වෙනයම් ආගමික සංකේත පළඳනාවන් (Cockade) ලෙසින් තම හිස් වැසුම් ආදියේ පැළඳ සිටිනු අනාවරණය වී තිබේ.
ආගම යනු විවිධ සමාජ මානව විද්‍යාඥයන් ගේ විවිධාකාර නිර්වචන වලට ලක් වූවකි. ඒ සෑම නිර්වචනයක් තුළින්ම පැවසෙන ආගමක් තුළ ගැබ් වූ පොදු මූලයක් තිබේ. එනම් පරම විමුක්තියයි. බෞද්ධ සංකල්පවල එන නිර්වාණය හින්දු කිතුණු ආදී ආගම් වල එන මෝක්ෂය, ඉස්ලාම් දහමෙහි එන ජන්නා ඒ සඳහා නිදසුන් ලෙස දැක්විය හැක. එහි දී ඒ සඳහා ශාස්තෘ දේශනාව, ඉන් පැවසෙන දර්ශනය, සදාචාර මාර්ගය සහ පූජා චාරිත්‍ර ආදිය ඉවහල් කර ගත යුතු බව පැවසෙයි. එහෙත් ලොව පුරා විවිධ ආගමිකයන් විසින් ඉටු කරනු ලබන ලෞකික අභිචාර සම්බන්ධයෙන් ඉහත සඳහන් ආගමික ලක්ෂණ බල නොපාන බව අතිශයින් පැහැදිලි ය. සිංහල බෞද්ධයන් ගේ කතරගම දෙවියන් ඇදහීම ද හුදු ආගමක් සේ නම් කළ නොහැක්කේ එබැවිනි.කතරගම දේව වන්දනාව සඳහා ශාස්තෘ දේශනාවක්, ඉන් පැවසෙන දර්ශනයක්, සදාචාර මාර්ගයක් පදනම් කර නොගන්නා බව අපි කවුරුත් දනිමු. එනිසාම මහාචාර්ය ඔබේසේකර වැනි කීර්තිමත් සමාජ විද්‍යාඥයන් මෙම ඇදහීම් මාත්‍රය අභිවාදනය (Cult) ලෙස හඳුන්වා දී තිබේ.
කිසිදු සැකයකින් තොරව පැවසිය හැකි අන්දමට අද වන විට සිංහල බෞද්ධ සමාජයේ ජනප්‍රියම දෙවියා කතරගම දෙවියෝ ය. එය ගත වූ සියවස් කිහිපය තුළ ක්‍රමයෙන් ප්‍රවර්ධනය වූ ආකාරය සහ ඊට පසුබිම් වූ හේතු සාධක සහිතවම මහාචාර්ය ගණනාථ ඔබේසේකර සූරීන් Social change and the deities :The rice of Kataragama cult in modern Sri Lanka (1982) නම් සිය අනගි කෘතියෙන් මනාව පෙන්වා දී තිබේ. අතීතයේ තිබූ ඉතා චාම් සරල කෘෂිකාර්මික ජන සමාජය තුළ මිනිසාගේ ලෞකික අපේක්ෂාවන් හි පරිමාව ඉතා සීමිත වූ අතර ඒවා හිමිකර ගැනීම පිණිස වන ගුප්ත ක්‍රමෝපායන් ලෙස ඔවුන් ද දේව වන්දනයට යොමුව තිබූ බව පෙනෙයි. එහෙත්, ඒ හුදෙක් ප්‍රජාමය ඒකරාශීත්වයන් වශයෙනි. පොර පොල් ගැසීම, අං ඇදීම වැනි ආධ්‍යාත්මික පසුබිමක් සහිත ජන ක්‍රීඩා සේම කංකාරී මඩු ආදී ශාන්ති කර්ම වලදී ගම් පිටින් එක්ව කටයුතු කරනු දක්නා ලදී. එහෙත්, ගත වූ දශක කිහිපය තුළ හටගත් සමාජමය පරිනාමයන් හි දී සමාජය තුළ පැවැති ඒ ප්‍රජා සාමූහිකත්වය අවප්‍රමාණ වී න්‍යෂ්ටික පවුල (Nuclear family ) නම් වන සමාජ ඒකකය බල ගැන්වෙත්ම ඉහත සඳහන් ප්‍රජාමය දේව වන්දනය පසුබා දෙවියන් ඇදහීම ද හුදෙක් පෞද්ගලික කාරියක් බවට පත්ව ඇති අයුරු පෙනේ. ඒ සඳහා එදා මෙදා තුර කුළු ගැන්වුණු සමාජමය තරඟය හෙවත් පුද්ගල හා පවුල්මය වශයෙන් අනෙකුත් පුද්ගලයන් සහ පවුල් අභිබවා නැගී සිටීමට ඇති නොහිම් ආශාව මූලෝත්පාදක වූ බව පැහැදිලි ය.
1817 වසරේ ඉංග්‍රීසීන්ට එරෙහිව ඇති වූ නිදහස් අරගලය හා සම්බන්ධ වීම නිසා ඉංග්‍රීසීන් ගේ ඇති අප්‍රසාදයට පත් ව තිබූ කතරගම පුදබිම වසරින් වසර වන්දනාකරුවන් ගේ පැමිණීම අඩුවන හා ඉදිරියේ දී ගොඩනැගිලි කඩා වැටී තිබූ තැනක් වත් සොයා ගත නොහැකි ස්ථානයක් වනු ඇති බවට 1819 වසරේ දී මෙරට සංචාරය කළ ජෝන් ඩේව් නම් ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයා ලියූ An account of the Interior of Ceylon and its Inhabitants ග්‍රන්ථයේ (1821) සඳහන් වෙයි. නමුදු ඉන් සියවසක් පමණ ගත වන තුරු එතරම් ජනප්‍රිය මට්ටමක නොපැවැති කතරගම 1920 වසරින් පසුව ශීඝ්‍ර ජනප්‍රියත්වයකට පත් වූ අන්දම සමකාලීන මූලාශ්‍ර මගින් සනාථ කර ගත හැක.ඒ සඳහා ඉන් කලකට පෙර සිටම සිංහල ජනතාව විසින් රසවත් ප්‍රබන්ධ ද ගොඩ නඟා ඇති බව පෙනෙයි.කිසිදු ඓතිහාසික මූලාශයක සඳන් නොවන කතරගම දෙවියන් ගේ සහ දුටු ගැමුණු රජුගේ සහසබන්ධතාව යටත් විජිත සමයේ ගොඩනැඟුණු එබඳු රසවත් කාලීන ප්‍රබන්ධයකි.ඒ වන විට කතරගම දේවාලයේ බලය දෙමළ හින්දු පූජකයන් අතට පත්වීම වැලකීම සඳහා ප්‍රබන්ධය වූ මෙම ප්‍රවාදගත කතා ප්‍රවෘත්තීන් මේ වන විට ඓතිහාසික සිදුවීම් ලෙස සමාජ ගත වී තිබේ.
ඒ කෙසේ වුව ද අපගේ පෞද්ගලික නිරීක්ෂණයට අනුව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ නව ලිබරල්වාදී ආර්ථික සංකල්ප මත පදනම් වූ පරිභෝජනවාදී ආකල්ප ප්‍රවර්ධනය වන තරමට කතරගම පුදබිම් ජනප්‍රියත්වය තව තවත් ඉහළ නැංවෙනු නියත ය. පසුගිය දශක කිහිපය තුළ කතරගම අප රටේ ඇති ධනවත්ම පුදබිමක් වූයේත් එය වටා ඒකරාශිවන ධනස්කන්ධය ඊට සම්බන්ධ පාර්ශවයන් විසින් අවභාවිතා වන බව ප්‍රසිද්ධ රහසක් බවට පත් වූයේත් ඒ නිසා ය.
මූලික වශයෙන් පූජා වට්ටියට සංයුතියට අයත් නොවූ එම අමතර මුදල් නෝට්ටුව සහ රන් භාණ්ඩය සැබැවින්ම යනුයේ කපුරාළ ගේ අතට මිස දෙවියන් වෙතට නොවන බව මෙතෙක් බොහෝ දෙනෙක් නොදනිති.ඒ සම්බන්ධයෙන් සුවිසල් ආන්දෝලනයක් ඇති වූයේ පාතාල නායකයකු ගේ බිරිඳ විසින් කතරගම දේවාලයට පූජා කළ පවුම් තිස් අටක් රන් තැටියක් අස්ථාන ගත කළ බවට එල්ල වූ චෝදනාවක් මත එහි ජ්‍යෙෂ්ඨතම කපුරාළට එරෙහිව මේ වන විට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනෙමින් තිබීම ය.
කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන් දෙවියන් හමුවට ගෙන යන ප්‍රධාන පූජා භාණ්ඩය පූජා වට්ටියයි. එහි සංයුතියට පළතුරු වර්ගකිහිපයක්,රස කැවිලි, පොල් ගෙඩියක්, මල්, සුවඳ දුම්, මල් මාලයක් සහ පඬුරක් ආදී කොටස් ඇතුළත් වේ. එහෙත්, මෑතක සිට ඊට එහි ඇති පඬුරට අමතරව තවත් මුදල් නෝට්ටුවක් තබා දෙවියන් හමුවට ඉදිරිපත් කිරීමේ නව විලාසිතාවක් ද එක් වී තිබේ. එමෙන්ම එම පූජා වට්ටිය සමඟ රන් භාණ්ඩ වැනි වෙනයම් වටිනා දේ ද දෙවියන් වෙත ඉදිරිපත් කිරීමක් දක්නට ලැබේ. එහෙත් මූලික වශයෙන් පූජා වට්ටියට සංයුතියට අයත් නොවූ එම අමතර මුදල් නෝට්ටුව සහ රන් භාණ්ඩය සැබැවින්ම යනුයේ කපුරාළ ගේ අතට මිස දෙවියන් වෙතට නොවන බව මෙතෙක් බොහෝ දෙනෙක් නොදනිති.ඒ සම්බන්ධයෙන් සුවිසල් ආන්දෝලනයක් ඇති වූයේ පාතාල නායකයකු ගේ බිරිඳ විසින් කතරගම දේවාලයට පූජා කළ පවුම් තිස් අටක් රන් තැටියක් අස්ථාන ගත කළ බවට එල්ල වූ චෝදනාවක් මත එහි ජ්‍යෙෂ්ඨතම කපුරාළට එරෙහිව මේ වන විට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනෙමින් තිබීම ය.එලෙස දේවාලයට ලැබෙන වටිනා දේවල් ගබඩාව භාර කපුරාල විසින් බස්නායක නිලමේ ගේ ද අනුදැනුම අනුව දේවාලයේ ගබඩාවේ තැන්පත් කිරීම නිවැරදි සම්ප්‍රදායයි.
නමුත් තමන් උදෙසා දෙවියන්ට යාතිකා කිරීම වෙනුවෙන් බැතිමතුන් කපුරාලලාට අතීතයේ දුන් සුළු සන්තෝෂමක් ගැන ද අසන්නට ඇත.ඇතැම් ප්‍රදේශ වල “බැලය” ලෙස හඳුන්වනු ලැබූ එය හාල්,පොල්,වී,කුරහන්, තල,මෙනේරි,බුලත් පුවක් හෝ කාසියක් වූ බව පැවසෙයි.එහෙත්, බැතිමතුන් කපුරාලලාට ඒ “බැලය”නම් වන සන්තෝෂම ප්‍රදානය කොට ඇත්තේ ද යාතිකාවෙන් පසු පූජා මණ්ඩපයෙන් බැහැර දීය.ඒ අනුව අද පූජා වට්ටිය මත තැබෙන මුදල් නෝට්ටුව කපු රාලලා සඳහා දෙන “බැලයක්” සන්තෝෂමක් වීමට ඉඩක් නැත.
මේ අතර කතරගම කපුරාළලා රුපියල බැගින් පගාව නොදුණොත් පූජා වට්ටි ප්‍රතික්ෂේප කිරීමත් උත්සව කාල වලදී බැතිමතුන් ඉදිරිපිට දීම පූජා වට්ටි ගෝනි වලට හලාගෙන යාමත් සිදු වූ බව මීට වසර හැට හැත්තෑවකට පෙර සිටම සිදුවූ බව බලදේව දේශබන්ධු නමින් එළි දක්වා ඇති “සර්ව දේව යාදිනි සහිත දේව කන්නලව්ව” (රත්න පොත් ප්‍රකාශකයෝ) නම් ග්‍රන්ථයේ සඳහන් ය. මේ වන විට මෙම ආර්ථික ලාභය කෙතරම් ප්‍රවර්ධනය වී තිබේද? යත් මෙම ඇසල උත්සව මාසය තුළ පමණක් රුපියල් ලක්ෂ හයසියය හත් සියයක පමණ මුදලක් එලෙස අවභාවිතාවට ලක් වන බව පසුගිය කාලයේ රුහුණු කතරගම බස්නායක නිලමේ ආරංචි මාර්ග මගින් තහවුරු කරන ලදී. ගත වූ කාලය තුළ කතරගම දේවාලය වෙත ලැබෙන මෙතරම් සුවිසල් ධනස්කන්ධය එහි කපු පාර්ශවය වෙතින් අවභාවිතාවට ලක් වීම මුල් කොට 1931 අංක 19 දරන විහාර දේවාල ගම් පනත ප්‍රකාරව දේවාලයේ පරිපාලන යාන්ත්‍රණය හැසිරවීමට පවා එහි කපු පාර්ශවයෙන් ඉඩක් නොලැබුණු බව පැවසෙයි. විශේෂයෙන් දේවාලයේ කපු පවුල් කිහිපයට රාජකාරී පැවරීම සම්බන්ධයෙන් එහි බස්නායක නිලමේ වරයා සතුව තිබූ සාම්ප්‍රදායික හිමිකම පවා මේ වන විට කපු පාර්ශවයන් කිහිපයක් විසින් බලහත්කාරයෙන් පැහැරගත් බවට තොරතුරු තිබේ. එමෙන්ම දේවාලයේ යතුර සම්බන්ධ කරුණක් මුල් කොට රුහුණු කතරගම මහා දේවාලයේ මීට පෙර සිටි බස්නායක නිලමේ වරයා ගේ පාර්ශවයට ආධාර කරුවන් පිරිසක් ද සමඟ පැමිණි කපු පාර්ශවයට අයත් පුද්ගලයකු ගේ පහර දීමක් සම්බන්ධයෙන් ද පොලිස් වාර්තා තිබේ. එහි අලුත්ම තත්වය වනුයේ බස්නායක නිලමේවරයා ගෙන් යතුර පැහැර ගෙන හිඳින එක් කපු පාර්ශවයක් මෙවර ඇසල උත්සව සමයට ඔන්න මෙන්න කියා තිබිය දී තවත් කපු පාර්ශවයක අයකුට පහර දී තුවාල සිදු කිරීම ය. කතරගම කපුරාලලාගේ අධික ධන තෘෂ්ණාව මුල් කොට රුහුණු මහා දේවාලයේ පවත්නා වර්තමාන අවාසනාවන්ත තත්වය සම්බන්ධ පොලිස් වාර්තා මගින් උපුටා දැක්විය හැකි සාක්ෂි අතරට මේවා ද එක් වී තිබේ.
දේවාල පරිපාලනය තුළ කපුරාළ යනු රාජකාරී මණ්ඩලයට අයත් වූවකු මිස නිල ලත් ධූරයක් දරන්නෙක් නොවේ.1931 අංක 19 දරන විහාර දේවාල ගම් පනත මඟින් කපු වෘත්තිය හුවා දැක්වීමක් පවා නොතිබීමෙන් ඒ බව මනාව තහවුරු වෙයි. එහෙත්, කතරගම රුහුණු මහා දේවාලයේ ජ්‍යෙෂ්ඨතම කපුරාළ පවා පසුගිය කාලයේ ජන මාධ්‍ය මගින් පවසා සිටියේ දේවාලය සම්බන්ධ සැබෑ උරුමක්කාරයන් දුටු ගැමුණු යුගයේ සිට පැවත එන එහි පාරම්පරික කපු ධූර දරන්නවුන් මිස වසර පත්ව එන බස්නායක නිලමේ වරුන් නොවන බව ය. මෙය එම කපු රාළලා ගේ සමාජ විඥානයේ බෙලහීන බව හෝ වංක භාවය කදිමට හුවා දැක්වෙන ප්‍රකාශයකි. දේවාලයක පරිපාලන සහ කළමණාකරණ කටයුතු බස්නායක රාළ බෙත්මේ රාළ ආදී වශයෙන් වන මුලාදෑනි නිල දරන්නවුන් විසින් මෙහෙය වූ බවත් කපුරාළ ලා ඔවුන් යටතේ දේවාලය පරිපාලනය හා කිසිදු සබැඳියාවක් නොමැති “කපු පංගුව”නම් රාජකාරී කොටස කරන්නවුන් බවත් අප රටේ දේවාල සම්බන්ධ අතීතය පරීක්ෂා කිරීමේ දී මැනැවින් සනාථ වෙයි. එමෙන්ම මෙහි දී කිව යුතු තවත් විශේෂතම දෙයක් ද තිබේ. එනම් මේ වන විට කතරගම දේවාලයේ කපුකම් කරන කිසිවකුටත් මීට පරම්පරා දෙක තුනකට ඉහත තම පාරම්පරික උරුමය විය හැකි කිසිදු එෛතිහාසික මූලාශ්‍රයක් ඉදිරිපත් කිරීමට නොහැකි වීමය. ඒ අනුව ඔවුන් ද එම කපුකම් සඳහා අප්‍රකට අයුරකින් හෝ සංක්‍රමණය වූවන් බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක.
මේ සියලු තත්වයන් පිළිබඳව මෙලෙස කෙටි අනාවරණයක් සිදු කරන ලද්දේ මේ වන විට ඓතිහාසික කතරගම රුහුණු මහා සම්බන්ධයෙන් පැන නැගී ඇති අතිශය සාධනීය තත්වයන් තව දුරටත් ප්‍රවර්ධනය විය යුතු බවට අප තුළ පවත්නා දැඩි අපේක්ෂාව පෙරදැරි කර ගනිමිනි. කතරගම පැමිණෙන බැතිමතුන් ද කතරගම දෙවියන් උදෙසා සිදුකරනු ලබන සියළු පුද පූජාවන් කපුරාළ ලා ගේ අවභාවිතාවට ලක් කිරීමට ඉඩ නොදී රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ කාර්යාලය වෙත ලබා දුනහොත් එය ඉතා උතුම් ජාතික මෙහෙවරකට උර දීමක් සේම කතරගම දෙවියන් උදෙසා සිදු කරනු ලබන උසස්තම පූජෝපහාරයක් ද වනු ඇත.
මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර