චිත්ත ශක්තියේ ඇති බලපුළුවන්කාරකම් පිළිබඳව ඔබට අමුතුවෙන් කිවයුතු නැත. නමුත්, එකී චිත්ත ශක්තිය බහාලූ මානුභාව සම්පන්න මංජුසාවක් පිළිබඳව මට ඔබට කීමට කතාවක් ඇත. ඒ මීට විසි වසරකට පමණ ඉහතදී රෝගීන් සුවකර යක්ෂයන් පලවා හැරීම සඳහා ම`විසින් විශේෂයෙන් තනාගත් චිත්ත ශක්ති මංජුසාවක් පිළිබඳ කතාවකි.
ඒ 2000 වර්ෂයේ අගභාගයයි. ඒ වන විට විවිධ ආගමික කණ්ඩායම් විසින් රෝගීන් සුවපත් කරන බව හා යක්ෂයන් පලවාහරින බව කියමින් ගමින් ගමට ගොස් හාස්කම් මෙහෙයන් පවත්වමින් සිටියහ.
ඒවාට එක්වන බෞද්ධයන් එම අන්‍ය ආගම් වෙත යොමුවීමේ නැඹුරුවක් ඇති බව ද පෙනෙන්නට තිබිණ.කඩවත ප්‍රදේශයේ පවුල් කිහිපයක් ද එලෙස රෝගීන් සුවපත් කරන බව හා යක්ෂයන් පලවා හරින බව කියන හාස්කම් මෙහෙයන් තුළින් තම ජන්ම ඇදහීම වන බුදු සමය අතැර ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවක් පවසා හිඳින ලද්දේ කඩවත, රාගම පාරේ පිහිටි ජයතිලකාරාම විහාරාධිපති පූජ්‍ය අල්දෙණියේ සෝමාලෝක හිමියන් විසිනි..
නමුත්,එම සකලවිධ හාස්කම් මෙහෙයන් ඉතා සරල මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත මත පදනම් වූ තුට්ටු දෙකේ සිල්ලර මානසික ගුණ්ඩු බවත් අවශ්‍ය නම් මට ද එවැනි හාස්කම් මෙහෙයක් පැවැත්විය හැකි බවත් ඒ මොහොතේ මම උන්වහන්සේට කීවෙමි.
‘‘හාස්කම් බලයෙන් රෝග සුව කළ හැකිද? චිත්ත ශක්ති මංජුසාව මගින් කරුණු පැහැදිලි කිරීමක් 2001 ජනවාරි 21 සෙනසුරාදා ප.ව. 5.00 මෙම විහාරස්ථානයේදී. සැමට ආරාධනා!’’
ඒ හිමියන්ගේ කාරුණික අවසරය මත ඉහත සඳහන් වාක්‍ය කිහිපය සහිත බැනරය නියමිත දිනට සතියකට පෙර සිට කඩවත-රාගම මහා මාර්ගයේ ප්‍රදර්ශනය කරවීමට මා කටයුතු කරන ලද්දේ ඒ අනුවය..
නියමිත දිනයේ අවට ප්‍රදේශවාසීන් හතළිහක් පමණ විහාරස්ථානයට එක්වනු ඇතැයි අපේක්ෂා කළ මුත් පස්වරු පහට ආසන්න වනවිට තුන් හාර සියයක පමණ ජනකායක් ඒකරාශී විය.
බලි තොවිල්, ශාන්තිකර්ම, යාඥා, දේව කන්නලව් ආදියෙන් කායික මානසික රෝග සුවපත් වන්නේ මානසික ඇණවුම හෙවත් ව්‍යංගය[Suggestion] නම් මනෝමය සාධකය නිසා ය.
එය බොහෝවිට රෝග ලක්ෂණ අවම වීමක් හෝ තාවකාලික සුවයක් මිස තිරසාර රෝග සුවයක් නොවන බව මම ඒ වනවිට සරල පර්යේෂණ කිහිපයකින්ම සනාථ කරගෙන සිටියෙමි. මෙය බොහෝ විට නොවිධිමත්, අර්ධ හෝ පූර්ණ මෝහන චිකිත්සාවක් ද වන බැවින් මම ශ්‍රී ලාංකේය මෝහන ප්‍රසංග කලාවේ නිර්මාතෘ ආචාර්ය නෙවිල් ද සිල්වා මහතාට ද එම අවස්ථාවට ඇරයුම් කළෙමි. ඒ වනවිට ද ගුප්ත විශ්වාස සම්බන්ධයෙන් මා විසින් කරනු ලැබූ පර්යේෂණයන්ට ඔහුගෙන් ලැබුණු සහාය කොතරම්ද කිවහොත් ව්‍යාජ යාදිනි, කන්නලව්, යන්ත්‍ර මන්ත්‍ර මගින් පුද්ගලයන් ආරූඪයට පත් කිරීමේ කලාව ද මා උගත්තේ ඔහුගෙනි.
චිත්ත ශක්ති මංජුසාව මූලික කර ගනිමින් රෝග සුව කිරීම, යකුත් පලවා හැරීම, දේව වරම් ඇත්තවුන්ට ක්ෂණිකවම දේවාරූඪ ලබාදීම සඳහා පැවැත්වූ මෙම නවතම මාදිලියේ හාස්කම් මෙහෙය නිරීක්ෂණය කිරීමට මගේ හිතවතුන් කිහිප දෙනෙකුටද මා ඇරයුම් කළේ එම කාරියේ වගකීම් සහගත බව පිළිබඳ යම් ප්‍රමිතියක් තිබිය යුතු වූ බැවිනි. ඒ සඳහා මගේ ඇරයුම ලත් කීර්තිමත් සාහිත්‍යධරයෙකු සහ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම හේතුවාදී ලේඛකයෙකු වන අජිත් තිලකසේන මහතාත්, ළමා ශල්‍යවේද විශේෂඥ වෛද්‍ය වයි.කුලසේකර මහතා සහ එම මහත්මියත් එහි පැමිණියහ.
වේලාව පස්වරු පහට ආසන්නව තිබියදි විහාරස්ථානය තුළ තැන්පත්කොට තිබූ චිත්ත ශක්ති මංජුසාව මහත් හරසරින් යුතුව හිස මත රඳවාගත් මම, එය එළිමහන් වේදිකාව මතට “වැඩම කොට” එහි තනා තිබූ පීඨිකාව මත තැන්පත් කළෙමි. එවිට ආචාර්ය නෙවිල් ද සිල්වා මහතා ඊට දොහොත් මුදුන් දී වන්දනා කළ අතර, රැස්ව සිටි සියල්ලෝම මහ හඬින් සාධු නාද පවත්වා චිත්ත ශක්ති මංජුසාවට සිය ගෞරවාදරය පුද කළහ.
ඉන්පසුව මා විසින් එහි රැස්ව සිටි පිරිසට එය හඳුන්වා දුන්නේ මේ චිත්ත ශක්ති මංජුසාව විශ්වයේ ඇති සකල විධ ශක්තීන් ආකර්ශනය කරගත හැකි මහාර්ඝ වස්තුවක් ලෙසය. සිත් තුළ පවතින අන් සියලු අරමුණුවලින් ඉවත්ව එම චිත්ත ශක්ති මංජුසාව කෙරෙහි පමණක් දැඩිව සිත යොමු කරගෙන මනැස සමාධිමත් කළ හැකි නම් ඒ අනුහසින් තමන් තුළ පවතින කායික, මානසික රෝග සියල්ල එක මොහොතින් දුරු කර ගැනීමටත්, දැනට තමා තුළ සිටින අමනුෂ්‍යයන් ඉවත් කර අවශ්‍ය කෙනෙකුට දේවාරූඪ ලබා ගැනීමටත් හැකි බව මම ඔවුන්ට කීවෙමි.
එමෙන්ම කිසියම් යක්ෂයෙක් තමන්ට ශරීරයෙන් ඉවත්වීමට නොහැකි බව කියමින් ‘යකා නටන්නට’ පටන් ගතහොත් චිත්ත ශක්ති මංජුසාව ඒ තැනැත්තාගේ ශරීරයේ යන්තම් ස්පර්ශ කර නිමේෂයක් තුළ යක්ෂයා ශරීරයෙන් ඉවත්ව යළි නොඑන සේ පලා යනු ඇති බවද මම කල් ඇතිවම කීවෙමි.
. කෙසේ හෝ එම චිත්ත ශක්ති මංජුසාව මුල්කොට රැස්ව සිටි පිරිසගේ සිත් සමාධිගත කරවීම මෝහන ශාස්ත්‍රඥ ආචාර්ය නෙවිල් ද සිල්වා විසින් ඉටු කරන ලද අතර, ඔහුගේ එම විධානයන් ලැබී පළමු විනාඩි පහ ඉක්මෙත්ම රැස්ව සිටි පිරිසගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් දියෙන් ගොඩ දැමූ කාවයියන් මෙන් ගැහෙන්නට පටන් ගත්හ. මගේ ආරාධනයෙන් එහි පැමිණි ජාතික රූපවාහිනියේ සම්මානලාභී වැඩසටහන් සම්පාදක සුමින්ද තිලකසේන විසින් එම සියලු දර්ශන පටිගත කරනු ලදුව 2001 ජනවාරි 29 දා ජාතික රූපවාහිනී ‘නුග සෙවණ’ වැඩසටහන මගින් ඒවා ප්‍රචාරය කළේ මා ද එම මැදිරියට කැඳවමිනි.මෙහි දී මා කලින් අපේක්ෂා නොකළ කිසියම් ආශ්වාදනීය අත්දැක ගැනීමට ද ගැනීමට ද එහි රැස් වූවන්ට හැකි විය.
එනම් ඊට එක්වූ කාන්තාවන් දෙදෙනෙකුට එක්වරම කාලි අම්මා ආරූඪ වීම ය. පසුව ඒ දෙදෙනා එකම තැනකට ගෙන්වනු ලදුව ‘තෝ හොර කාලී මමයි හරි කාලී’ කියමින් ඔවුන් එකි`නෙකා කෙහෙවලු පටලවා ගැනීමට සැරසීම රැස්ව සිටි පිරිසට මහත් විනෝදයක් ගෙන දීමට සමත් විය.
පසුව එම වැඩසටහන සංවිධානය කළවුන් එහි යක්ශාවේශ වී”යකා නටන්නට පටන් ගත්තවුන් බලහත්කාරයෙන් වේදිකාව අබියසට කැඳවාගෙන එනු ලදුව එම චිත්ත ශක්ති මංජුසාව ඔවුන්ගේ ශරීරවල ස්පර්ශ කළ සැනින් ඔවුහු මුළුමනින්ම නිහඬ, නිසසල බවට පත්වූහ. පසුව චිත්ත ශක්ති මංජුසාවේ අනුහසින් තම රෝග සුවපත් වූ බව දැනුණු පිරිස්වලට අත් ඔසවා ඒ බව දැනුම්දෙන ලෙස මා පවසත්ම රැස්ව සිටියවුන්ගේ අත් පනහක් හැටක් එක්වර එසවෙනු දක්නා ලදි.
ඉන් එක් කාන්තාවක් කියා සිටියේ පෙර අපර දිග වෛද්‍ය ප්‍රතිකාර කළ මුත් වසර ගණනාවක සිට ඉහළට එසවීමට නොහැකිව තිබූ තම දකුණු අත මෙම චිත්ත ශක්ති මංජුසාවේ අනුහසින් මුළුමනින්ම ඉහළට එසවීමේ ක්ෂණික හැකියාවක් තමන්ට ලැබුණු බවය. ඒ අනුව චිත්ත ශක්ති මංජුසා ශාන්ති කර්මය හාස්කම් මෙහෙයක් වශයෙන් අතිශය සාර්ථක වූ බවට සැකයක් නොවිණි.
එහෙත්, අවසානයේ අප විසින් එසේ කරන ලද්දේ ලොව සෑම හාස්කම් මෙහෙයක දීම සිදු කරන්නාක් මෙන් කායික මානසික විෂමතා මුල්කොට මිනිසුන්ට වැළඳෙන මනෝ තනුක රෝග [Psychosomatic disorder] සඳහා වන නොවිධිමත් මනෝ චිකිත්සාවක් බවත්, විධිමත් වෛද්‍ය ප්‍රතිකාර හැරුණුකොට මෝහනය මුල්කොට ගත් හාස්කම් ප්‍රතිකාර පැතීම අනතුරුදායක බවත් මම ඔවුන්ට පැවසුවෙමි. එසේම එය ඔවුන් ගේ ඇස් ඉදිරිපිටම ඔප්පු කරනු පිණිස චිත්ත ශක්ති මංජුසාව නමින් ඔවුන් ඉදිරියේ තබන ලද වස්තුව ද දිගහැර ඔවුනට ප්‍රදර්ශනය කළෙමි.
සැබැවින්ම එම චිත්ත ශක්ති මංජුසාව මගේ ගෘහස්ථ නිමැවුමක් වූ අතර, මා එය සකසා ගන්නා ලද්දේ අයිස්ක්‍රීම් කප් එකක් මත මුඩ්ඩ ඉහළට සිටින සේ පොල් ගෙඩියක් තබා එය නිල් සහ රතු රෙදිවලින් වසා ඒ වටා නූල් පොටවල් කිහිපයක් බැඳීමෙනි.
තිලක් සේනාසිංහ