පුද්ගලයන් 300 කට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳවමින් පාස්කු දින බෝම්බ ප්‍රහාර මාලාව එල්ල වී අදට වසරක් සපිරෙනවා.

ඒ අනුව අද සියලුම කතෝලික පල්ලිවල මෙන්ම සියලු ආගමික සිද්ධස්ථානවල ඉටිපහනක් හෝ පෙල්තෙල් පහනක් දල්වා පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහි කර යාඥා කරමින් පින් අනුමෝදන් කිරීම සුදුසු බවයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දෙන්නේ.

මෙම ප‍්‍රහාර මාලාව පිටුපස සිටි පිරිස උත්සාහ කළ රට තුළ ආගම් අතර ගැටුමක් නිර්මාණය කිරීමේ උත්සාහය මෙරට ජනතාව ඉවසීමෙන් හා සංයමයෙන් යුතුව පරාජය කළ බව පාස්කු ඉරුදින බෝම්බ ප‍්‍රහාරයේ වර්ෂ පූර්ණ අනුස්මරණය වෙනුවෙන් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිකුත් කළ විශේෂ පණිවුඩයක සඳහන්.

මෙම ප‍්‍රහාරය පිටුපස සිටි පිරිස හෙළිකරගෙන ඔවුන්ට නීතියෙන් දඬුවම් ලබා දීම මෙවැනි තත්ත්වයන් නැවතත් ඇති වීම වැළැක්වීමට අත්‍යාවශ්‍ය කරුණක් බවයි කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්නේ.

පසුගිය වසරේ සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 269 දෙනෙකු මියගිය බවත්, 500 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් ඔවුන්ගේ ජන ජීවිතය යථා තත්ත්යවයට ගෙන ඒම සියලුදෙනාගේ වගකීම බවත් මැල්කම් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් කියා සිටියා.

More Stories