නිදහස ලැබීමෙන් පසු ලාංකීය සමාජය තුළ ව්‍යවස්ථා නීතිය පිළිබඳව මත දෙකක් එකිනෙකට ගැටෙන්නට පටන් ගත්තේය. 1947 පිළිගැණුනු සෝල්බරි ව්‍යවස්ථාවට පදනම් වූයේ සෝල්බරි කොමිසම ලංකාවේ පුරවැසියන් සමඟ කරන ලද සාකච්ඡා වල ප‍්‍රතිඵලයක් වශයෙනි. එම ප‍්‍රතිඵලය සෝල්බරි කොමිෂන් වාර්තාවේ සඳහන් කොට ඇත.

එහිදී කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් ලාංකිකයන්ගේ ඉල්ලීම වූයේ ලංකාව තුළ බි‍්‍රතාන්‍යයේ පවතින නීතිමය සම්ප‍්‍රදාය මත පදනම් වුනු ව්‍යවස්ථාවක් ඇති කළ යුතුය යන්නය.

එම බි‍්‍රතාන්‍ය ව්‍යවස්ථා සම්ප‍්‍රදාය අවුරුදු ගණනාවක අත්දැකීම් මතින් දීර්ඝ කාලයක් තිස්සේ හැදී වැඩුනු එකක් හෙයින් ඒ මත ලංකාවේ ව්‍යවස්ථාවද ගොඩනගා ගැනීම තුළින් ලංකාවේ සංවිධාන රටාව හා නීතිය එක්තරා මූලික සංකල්ප හා සම්ප‍්‍රදායන් ඔස්සේ ගොඩනැගිය හැකි බව මෙම සාක්ෂි කරුවන්ගේත් සෝල්බරි කොමිෂන් සභාවේත් අදහස විය. 1947 ව්‍යවස්ථාව ගොඩනැගුනේ මෙම පදනම මතය.

එහෙත් එම ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක වූ දින සිට අවුරුදු 10 පමන කාලය තුළම ව්‍යවස්ථා නීතියේ අනාගතය පිළිබඳව විවිධ මතභේද පැනනගින්නට විය. එම මතභේද වලට මූලාරම්භය සැපයූවේ භාෂාව පිළිබඳව හා සුළු ජාතීන්ගේ අයිතින් පිළිබඳව ඇති වූ ගැටලූ ගැන පැනනැගුනු මතභේදයන් නිසාය. ඒ අනුව 1947 ව්‍යවස්ථාවෙන් සුළු ජාතීන්ට තිබූ විශේෂ ආරක්ෂාව නැති කර දැමීම පිළිබඳව මෙන්ම භාෂාව සම්බන්ධයෙන් සියල්ලන්ටම සාධාරණ ප‍්‍රතිපත්තියක් ගොඩනගා ගැනීම සම්බන්ධයෙන් මතු වූ ගැටලූ පසුව විශාල දේශපාලන ප‍්‍රශ්න බවට පත්විය.

ව්‍යවස්ථාවේ අනාගතය පිළිබඳව වෙනත් අතකින් තර්ජනයකට මුහුණ දීමට සිදු වූයේ 1962 දී ඇති කිරීමට උත්සාහ කළ මිලිටරි කුමන්ත‍්‍රණය නිසාය. මෙම කුමන්ත‍්‍රණයේ අදහස වූයේ ඡුන්දයෙන් පත් කරන ලද ආණ්ඩුවක් බලයෙන් පහ කොට මිලිටරි හා පොලිස් ආයතන මූලිකයන්ට වුවමනා වූ ආකාරයට නව ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමය. මෙය ව්‍යවස්ථා නීතියට මුළුමනින්ම පටහැනි වූවා පමනක් නොව සමස්ථ ව්‍යවස්ථා නීතියම අයින් කර දැමීමට කරන ලද උත්සාහයක් විය.

මෙම කුමන්ත‍්‍රණයට හේතු වූ කරුණු පසුකාලයකදී ඇමෙරිකානු ආචාර්යවරයෙකු විසින් කරන ලද ගවේශනයකදී එම කුමන්ත‍්‍රණයට සම්බන්ධ වූ නායකයන් ගණනාවක් කියා සිටියේ තමුන් මෙම ප‍්‍රයත්නය කළේ ලංකාවේ ඉහළ පන්තිය එනම් ඉංග‍්‍රීසි කතා කරන කණ්ඩායම් වලට අතීතයේදී හිමිව තිබූ තත්වය නැති වෙමින් යන බවත් ඔවුන්ගේ දරුවනට ඔවුන්ට තිබූ වරප‍්‍රසාද අහිමි වන නිසාත් එය වළක්වා ගැනීමක් සඳහාත් බවය.

කෙසේ වුවත් මෙහි හරය වූයේ 1947 පදනම් වූ ව්‍යවස්ථා නීතිය නොතකා හැරීම හා අවලංගු කර දැමීමට කරන ලද උත්සාහයයි.

ඉන්පසු 1970 පවත්වන ලද මැතිවරණයේ හවුල් ආණ්ඩුවක් ඇති වීමත් සමඟ 1972 දී නව ව්‍යවස්ථාවක් ගොඩනගන ලදි. එය නම් කළේ ස්වජාත ව්‍යවස්ථාවක් වශයෙනි.

මෙහි අදහස වූයේ 1947 ව්‍යවස්ථාව රටට ඔබින ව්‍යවස්ථාවක් නොවේය යන සංකල්පයයි. මේ පිළිබඳව ප‍්‍රකාශයක් කළ එකල ව්‍යවස්ථා පිළිබඳ ඇමතිවරයා වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා කියා සිටියේ තමන් අලූත් ව්‍යවස්ථාවෙන් කරන්නේ නිකන් හුණු ගෑමක් නොව මූලිකම වූ සංකල්ප හා ප‍්‍රතිපත්ති ඉදිරිපත් කිරීමක් බවය. මෙයින් ඇඟවුනේ 1947 ව්‍යවස්ථාවේ මූලධර්ම හා සංකල්ප වෙනුවට වෙනත් ආකාරයක දර්ශනවාදයක් 1972 ව්‍යවස්ථාවේ සඳහන් බවය.

1977 දී බලයට පත් වී 1978 දී ගෙන එන ලද ව්‍යවස්ථාව මේ ඉහත සඳහන් සියලූ ප‍්‍රයත්නයන්ට වඩා ඉතා ප‍්‍රබල වඩා අංගසම්පූර්ණ වූ ප‍්‍රහරායක් වූ බවය. තනි පුද්ගල විධායකයට බලය පවරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ස්වෛරීභාවයත්, අධිකරණයේ නිදහසත්, සිවිල් සේවයේ ඇතුළු වෙනත් රජයේ ආයතන වලට තිබිය යුතු සාපේක්ෂ ස්වාධීනත්වයත් එමෙන්ම රටේ සියලූම කටයුතු සම්බන්ධයෙන් පැවතිය යුතු නීතිමය පාලනයත් අහෝසි වන ආකාරයෙන් 1978 ව්‍යවස්ථාව නිර්මාණය වී තිබුනි. එය හුදෙක් යම් සංකල්පයන් වෙනස් කිරීමක් නොව 1947 ව්‍යවස්ථාවට පදනම් වූ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම සියල්ලම අතහැර දැමීමක් විය.

ප‍්‍රශ්නය ලෙස පවතින්නේ මේ සියල්ල සිදුවන විටත් ලංකාවේ ව්‍යවස්ථාව නීති පිළිබඳ වීශාරදයන් වශයෙන් සැලකූ නිතිඥයන්වත් සාමාන්‍ය නීතිඥයන්වත් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු කිසිදු අධිකරණයකින් මෙය පරාජය කිරීම සඳහා කිසිදු ප‍්‍රයත්නයක් සිදු නොවුනේ ඇයි යන්නය. ඉහත සඳහන් සිදුවීම් තුළින් ලංකාව තුළ සිදු වන්නට පටන් ගත්තේ මගහැර යා හැකි ප‍්‍රශ්නයක් නොවේ.

සමස්ථ සංවිධාන රටාවත්, පාලන රටාවත්, පරිපාලන රටාවත්, යුක්තිය පසිඳලීමේ ආයතන වල නර්ව්‍යාජීභාවයත්, නීතිය මත පාලනය ගෙන යාමේ හැකියාවත් යන සියල්ලම මුළුමනින්ම අතහැර දැමීමේ කි‍්‍රයාවලියකට රට මුහුණ දුන්නේය. එවැනි තර්ජනාත්මක තත්වයක් තුළ රට බේරා ගැනීම සඳහා ප‍්‍රයත්නයක් දැරීමට හැකියාව දැක්වූ කිසිම ව්‍යවස්ථා නීතිය පිළිබඳ පඩිවරයෙක් වත් බුද්ධිමය ක්ෂේත‍්‍රයේ කොටසක්වත්, සිවිල් සමාජය තුළ මේ පිළිබඳව ප‍්‍රයත්නයක් ගෙන යාමට තරම් යම් උත්සාහයක් දැරූ යම් කිසිම ජනකොටසක්වත් සොයා ගත නොහැකි විය.

1978 ව්‍යවස්ථාව යෝජනා කළ අවස්ථාවේ දී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්චයකාරවරයා වූ නෙවිල් සමරකෝන් මහතා හෝ වෙන කිසිදු විනිශ්චයකාරවරයෙක් මෙම ව්‍යවස්ථාව මුළුමනින්ම ව්‍යවස්ථා නීතියේ මූලධර්ම වලට පටහැනි බවත් මේ මගින් නීතිය මත පාලනය විනාශ වී යන බවත්, පුද්ගලයාගේ ආරක්ෂාව පිළිබඳ ඇති සියලූම විධිවිධාන කි‍්‍රයාත්මක කළ නොහැකි තත්ත්වයක් ඇති වන බවත් ඊට අදාළ සිදු විය හැකි කිසියම් විපත්ති පිලීබඳව කිසියම් ආකාරයක සැලකිය යුතු මැදිහත්වීමක් සිදු කළේ නැත.

ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයට සිටි විනිශ්චයකාරවරුන් ව්‍යවස්ථාව මගින් අවලංගු කොට නව විනිශ්චයකාරවරුන් වශයෙන් පත් කිරීමක් කිරීමට විරුද්ධව විනිශ්චයකාරවරු දෙදෙනක් ඉල්ලා අස් වූහ.

මේ හැර මෙම ව්‍යවස්ථා නීතියේ ඉදිරියේ ඇතිවීමට යන මහා විනාශය ඒ හැර ඊට විරුද්ධව නැගී සිටීමට තරම් හැකියාවක් රටේ කිිසිම ජනකොටසක් තුළ ප‍්‍රදර්ශනය වූයේ නැත. සුළු ජන අයිතිවාසිකම් නියෝජනය කළ මහාචාර්ය ඊ.ජේ. විල්සන් මහතා ව්‍යවස්ථාව පිළීබඳව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු බවට පවා පත්විය.

වැඩි සැලකිල්ලක් යොමු විය යුතු වන්නේ ව්‍යවස්ථාව පිළිබඳ ගැටලූ සම්බන්ධයෙන් ලංකාවේ සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, වෙනත් අංශයන් නියෝජනය කරන මහජන ව්‍යාපාර, ගොවි ව්‍යාපාර මෙන්ම ස්වේච්ඡුා සිවිල් සංවිධාන ආදිය කිසිවක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ව්‍යවස්ථාව මගින් නැති කර දැමීම සම්බන්ධයෙන් මැදිහත් නොවුනේ ඇයි ද යන්න සාකඡ්චාවට භාජනය විය යුතු කරුණකි. සමහරවිට එවැනි කර්තව්‍යයක් මෙම ව්‍යාපාර වල වැඩක් නොවන බවත් දේශපාලනඥයන්ගේ හා නීති ක්ෂේත‍්‍රයට අදාල අය විසින් කළ යුතු දෙයක් බවත් මතවාදයක් රටතුළ පැවතුනා විය හැකිය.

එමෙන්ම ඉංග‍්‍රීසි භාෂාවෙන් නීතිය පිළිබඳ වැඩකටයුතු කෙරෙන හෙයින් ජනතාවට ව්‍යවස්ථා නීතියේ ඇති වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමක් ඇති කිරීමට වෙහෙස වූ කිසිදු ව්‍යාපාරයක් නොපැවතීමද හේතු වන්නට පුළුවන.

විශේෂයෙන්ම වාමාංශික ව්‍යාපාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සැලකූයේ තමන්ගේ අරමුණු වලට විශාල බාධකයක් ලෙසය. සැබෑ නිර්වචනයකින් තොරව සමාජවාදය යන වචනය නිතරම පාවිච්චි කළ අතර ඒ මගින් කියා සිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව අරගල ජනතාවට අහිතකර වූ හුදෙක්ම ධනපති පන්තියට පමනක් ප‍්‍රයෝජනවත් වූ ඒවා බවය. මෙම මතය ඉතා දැඩි ලෙස වාමාංශික ව්‍යවාපාරය පුරා පතුරවා තිබිනි. ඔවුන්ගේ මාර්ගයෙන් ජනතාවට තුළටද එය තරමක් දුරටවත් පැතිරෙන්නට ඇත.

මේ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මොකක් වුනත් ප‍්‍රශ්නයක් නැත යන මතයක් වඩා ප‍්‍රගතිශීලි ජනකොටස් අතර පවා ඉතා පළල්ව පතුරවා තිබිනි. වෙනත් ජාතිවාදී ව්‍යාපාර ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය සැලකූයේ ඔවුන්ට අවහිරයක් ලෙසය. රටේ වැඩි කොටසක් නියෝජනය කරන සිංහල ජනතාව අතර පතුරුවා තිබුනු මතයක් නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් සුළු ජනතාවගේ අයිතිවාසිකම් උලූප්පා පෙන්වන නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැඩි ජනතාවට සුදුසු එකක් නොවන බවය.

අනෙක් පැත්තට සුළු ජාතීන් අතර පතුරුවා තිබූ මතයක් නම් වැඩි දෙනෙකුගේ මතයෙන් පත්වන පාර්ලිමේන්තු අනිවාර්යයෙන්ම වැඩි ජන කොටස් නියෝජනය කරන බවත් එම නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් සුළු ජන කොටස් වලට බාධාවක් පමනක් පැමිණෙන බවත්ය.

එහෙත් සමස්ථයක් වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් තුළ විවිධ ප‍්‍රශ්න විසඳා ගැනීමට ඇති ඉඩකඩ ඒකාධිපති ක‍්‍රමයක් තුළ ඇති ඉඩකඩට වඩා අතිශයින් විශාල බව හදුන්වා දීම සදහා උත්සාහයක් පැවතුනේ නැත.

මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ව්‍යවස්ථා නීතිය මුළුමනින්ම වෙනස් කරමින් තනි පුද්ගලයෙකුට බලය පවරන සේ විධායකය ශක්තිමත් කර ගනිමින් අනෙක් සියලූම සමාජ සංවිධාන අස්ථානගත කරන අවස්ථාවේ දී පවා ඊට විරුද්ධ වීමට තරම් දැනුමක් අවබෝධයක් රටේ උගත්තු මෙන්ම සාමාන්‍ය ජනතාව අතරත් පැවතුනේ නැත.

මේ නිසා ඇති වූ විශාල විනාශය දැන් ප‍්‍රදර්ශනය වේ. ව්‍යවස්ථා නීතිය අස්ථාන ගත කිරීමෙන් සිදු කළේ සමස්ථ නීතියම අස්ථාන ගත කිරීමකි. නීතිය අස්ථානගත කිරීමෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීමට තිබූ සංවිධානද බොහෝ දුරට අස්ථාන ගත කරන ලදි.

මේ ආයතන වල පැවැත්ම ඇත්තේ නීතිය මත පාලනය පවත්වා ගෙන යාමට හැකි තාක් දුරට පමනි. ව්‍යවස්ථාව මගින්ම නීතිය මත පාලනය ඉදිරියට ගෙන යාමට බැරි තත්ත්වයක් නිර්මාණය කිරීමෙන් පසු නීතිය මත කි‍්‍රයාත්මක කිරීමට ඇති සංස්ථා වල අභ්‍යන්තරයෙන්ම මෙම නීතිය මත පාලනය පිළිබඳ සංකල්පය බැහැර වන ආකාරය ප‍්‍රදර්ශනය කිරීමේ උදාහරණයක් වශයෙන් දැන් ලංකාවේ සිදු වූ අත්දැකීම පවතී.

2015 ජනවාරි මස පැවතුනු මැතිවරණයේදී යහපාලනය ඇති කිරීම සටන් පාඨයක් කර ගත් නමුත් පවතින ව්‍යවස්ථා භංගත්වය යටතේ යහපාලනයක් ඇති කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නය ගැන කිසිවෙක් අවධානය යොමු නොකළහ.

ව්‍යවස්ථා භංගත්වය තුළින් නීතිය අස්ථානගත වූ සමාජයක් තුළ යහපාලනයක් ඇති කරන්නේ කෙසේද ? යහපාලනයේ පදනම නම් නීතිය මත පාලනය ගෙනයාම මගින් ඇති කරනු ලබන විනිවිද භාවයයි. එහෙත් නීතිය නොපවතින රටක විනිවිදභාවයකින් යුතුව රජයේ දේපල පරිහරණය මෙන්ම වැඩකටයුතු කිරීම කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නය මතු කිරීමට තරම් වත් ලංකාවේ දේශපාලන විඥානය අසමත්ය.

අනාගතය හිතනවාට වඩා භයානකය. එය හුදෙක් යම් පුද්ගලයෙකුගේ බලයට පත්වීමක් නිසා ඇති වන්නක් නොව සමස්ථ ක‍්‍රමය පුරාම පැතිරී ඇති ව්‍යාධිය සුව කිරීම සඳහා තිබිය යුතු දැනුවත්කමවත් වුවමනාවවත් රටේ නොපැවතීම නිසා සිදුවන්නකි.

බැසිල් ප‍්‍රනාන්දු

More Stories