වසර අවසානයේ සිදුකෙරෙන ස්ථාන මාරු ක්‍රියාවලිය සමග කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාශයේ ගුරුවරුන් එකිසිය අසූවකට ආසන්න පිරිසක් කලාපයෙන් හා පළාතෙන් පිට ස්ථානමාරු සදහා සුදුසුකම් ලබා ඇතත් එම පිරිසගේ හිඩැස් පිරවිම සදහා ඇත්තේ එක් අනුප්‍රප්තිකයෙකු පමණක් බවත් අනුප්‍රාප්තිකයන් නොමැතිව ගුරුවර ගුරුවරියන් ස්ථානමාරු ලබාගිය හොත් අඩුම තරමේ පාසල් හතරක්වත් වසා දැමීමට සිදුවන බව එම කලාපයේ ගුරුවරුන් පිරිසක් අනාවරණය කලහ.

දෙදහස් විස්ස වසර වෙනුවෙන් සකසා ඇති වාර්ෂික ගුරු ස්ථානමාරු නාම ලේඛණයට අනුව ගුරුවර ගුරුවරියන් 180 දෙනෙකු කලාපයෙන් හා පළාතෙන් පිටස්තරව ස්ථානමාරු ලබාතිබෙන බවත් එම සියළුම ගුරුවර ගුරුවරියන් වසර පහක සේවා කාලය සම්පූර්ණකල අයවළුන්වීම විශේෂත්වයක් බව ඔවුන් කීහ.

එම පිරිස අතර කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාශයෙන් වෙනත් කොට්ඨාශවලට ස්ථානමාරු සදහා සුදුසුකම් ලබා තිබෙන පිරිස 80ක් පමණ වන අතර උතුරුමැද පළාතෙන් පිට සේවය කිරිම සදහා සුදුසුකම් ලබා ඇති පිරිස 100කි.එම පිරිසගේ පුරප්පාඩු සදහා ගුරුවර ගුරුවරියන් 180 දෙනෙකු කැබිතිගොල්ලෑව කොට්ඨාශයට අවශ්‍යව ඇතත් ඊට අනුප්‍රප්තිකයන් වශයෙන් 2020 වසර සදහා ඉල්ලුම්කර ඇත්තේ එක් ගුරුවරයෙකු පමණක් වීම කැපීපෙනන විශේෂත්වයකි.

කලාපයතුල පමණක් ගුරුවරුන් 166 දෙනෙකු ස්ථානමාරු සදහා ඉල්ලුම්කර තිබෙන අතර එම පිරිසට ගැටළුවක් මතුවි නැති බව ඔවුන් සදහන් කලහ.මෙම තත්වය අර්බුධයක් බවට ඉදිරියේදි පත්විය හැකි බවත් වසර පහ ඉක්මවුවන් වෙනත් පළාත්වලට හා කොට්ඨාශවලට යද්දි කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාශයේ පාසල්වල සේවයට යන්නේ කවුරුන්ද යන්න බරපතල ප්‍රශ්නයක් බව පෙනී යන්නේ යැයි අනාවරණය කල ගුරුවරුන් එසේ ගුරුවරුන් නොමැති වුවහොත් පාසල් හතරක් පමණ වසා දැමීමට සිදුවන බව පෙන්වා දුන්හ.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ සභාපති එස් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගෙන් දුරකථනයෙන් සිදුකල විමසිමකදි ඒ මහතා කියා සිටියේ පසුගිය ආණ්ඩු සමයේ ලබාදුන් අවිධිමත් පත්විම් හේතුවෙන් මෙවැනි තත්වයක් නිර්මානයවි තිබෙන බවයි.පසුගිය සමයේ උපාධිධාරින් 536කට පත්විම් ලබාදුන්නා උතුරු මැද පළාත් සභාව මගින්.ඒ පත්විම් නියමාකාරයෙන් දුන්නනම් මේවගේ ප්‍රශ්න ඇති වෙන්නෑ.

ඒ වගේම උපාධිධාරින් 436ක් ඉන්නවා පත්විම් නොමැතිව.ඔවුන්ට පත්විම් ලබාදිලා නිසියාකාරයෙන් ස්ථාන ගතකිරිම් සිදුකරන්න ඕන.ඒ වගෙම අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල්වල කියා ගන්න බැරි තරම් ගුරු අතිරික්ත.නමුත් හැම පත්විම් ලබාදිමකදිම අනුරාධපුරය අවට පාසල් වලට කොහොම හරි පිරිසක් රිංගනවා.

මේ ස්ථානමාරුවිම් ලැබු පිරිසට ස්ථානමාරු අනිවාර්යෙන්ම දෙන්න ඕන.සමහරු දුෂ්කර සේවයේ යෙදිලා තම ගම්පලාතට යන්න බලන් ඉන්නවා. ඒවගේම වසර පහක් එකම ස්ථානයේ සිටින ගුරුවරුන් වෙනත් පාසල් සදහා මාරුකර යවන්න ඕන යනුවෙන් ඒ මහතා පැවසුවේය.

ගුරුවරුන් 180 දෙනෙකු ස්ථානමාරු ලැබිම සදහා අයදුම් කිරිමෙන් පසුව අනුප්‍රාප්තිකයන් නොමැතිවිම නිසා එම ස්ථානමාරු අවලංගුකර ඇතිද යන්න උතුරුමැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් හා පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් කල විමසීමකදි එම ස්ථානමාරු කිසිවක් තවම අවලංගුකර නොමැති බව එහි නිලධාරින් අනාවරණය කලහ.

More Stories