සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ (ISTRM) වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණි.

මෙම නව වෙබ් අඩවිය, සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයෙහි කාර්යභාරය සහ ප්‍රගතිය පිළිබඳ උනන්දුවක් දක්වන අය සඳහා ප්‍රධාන සම්පත් ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනු ලබයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා යන අමාත්‍යවරුන් විසින් සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාවක් (CTUR) පිහිටුවීමටත්, ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුකිරීම වෙනුවෙන් අන්තර්වාර ලේකම් කාර්යාලයක් පිහිටුවීම සඳහාත් වූ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර අමාත්‍ය මණ්ඩලය විසින් 2023 මැයි 29 දිනැතිව එම යෝජනාව අනුමත කර තිබේ.

2009 වසරේ සිට සංක්‍රාන්තික යුක්තිය පසිඳලීමේ ප්‍රයත්න්හී ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ රට තුළ තිරසාර සාමයක් සහ ප්‍රතිසන්ධානයක් ඇතිකිරීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශයකට අනුව මෙම තීරණය ගෙන  ඇත.

එම මූලික කාර්යයේ කොටසක් ලෙස, සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය විශේෂඥ කමිටුවක් සමඟ සහයෝගයෙන්, යෝජිත සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව සඳහා පනතක් කෙටුම්පත් කර ඇති අතර එය 2024 ජනවාරි 1 වන දින භාෂා තුනෙන්ම සංකල්ප පත්‍රිකාවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම සංකල්ප පත්‍රිකාව නැවත ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මේ සඳහා පුළුල් එකඟතාවක් ලබාගැනීම සහ යම් සංශෝධනයකට ලක් කිරීම සඳහා සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය රට පුරා සිටින විවිධ පාර්ශවකරුවන් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වී තිබේ.

දේශපාලන නායකයින්, ආගමික නායකයින්, විවිධ සිවිල් සමාජ සංවිධාන, ජාත්‍යන්තර නියෝජිතයින් සහ විද්වතුන් සමඟ විවිධ දෘෂ්ටිකෝණයන් සහ අදහස් ලබාගැනිම සඳහා පවත්වන ලද රැස්වීම් මීට ඇතුළත් වෙයි.

මෙම වැඩසටහන්වලට අමතරව, සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය විසින් නැගෙනහිර ටිමෝරය, ලයිබීරියාව, රුවන්ඩාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු තෝරාගත් රටවල ගැටුම් නිරාකරණය සහ සත්‍ය පිළිබඳ එම රටවල් ස්ථාපනය කරන ලද කොමිෂන් සභා පිළිබඳ සොයා බලමින් මෙම පුළුල් වාර්තාව සකස් කර තිබේ.

. මෙම වාර්තාව සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම මෙන්ම නිර්දේශ ලබාගැනීම සහ එහි ප්‍රවේශය දැනුවත් කිරීම සඳහා ගෝලීය අත්දැකීම් ලබා ගැනීම පිළිබඳ අදහස් ලබා ගැනීමට අරමුණු කරයි.

වෙබ් අඩවිය දියත් කිරීම සහ වාර්තාව නිකුත් කිරීම ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ සත්‍ය සෙවීමේ ප්‍රයත්නයන් පිළිබඳ අර්ථවත් සංවාදයක් ඇතිකිරීම, දැනුම බෙදාගැනීම සහ සහයෝගීතාවයෙන් ගැටළු විසඳීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරනු ඇතැයි සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය විශ්වාස කරයි.

සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය විසින් පසුගිය කාලය පුරා සිදුකරන ලද උපදේශන වලදී, බලපෑමට ලක් වූ ප්‍රජාවන් විසින් විවේචනාත්මක කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

නැවත පදිංචි කරන ලද ගම්වැසියන් සඳහා ඉඩම් අක්කර තුනක් ලබාදෙන බවට ලබාදුන් පොරොන්දුව අක්කර භාගයක් දක්වා අඩු කර ඇති අතර, දැනට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් පිළිබඳ පවතින ආරවුල් තත්ත්වය නිසා ඔවුන්ට වගා කටයුතු සිදු කිරීමට හෝ රැකියා සොයා ගැනීමට ඇති හැකියාව අඩාල වී තිබේ.

සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයෙහි මෙම නව මුලපිරීම් හරහා එම පීඩාවට පත් පිරිසගේ දැවෙන ගැටළු විසඳීමේ අරමුණින්, බලපෑමට ලක් වූ සියලුම ප්‍රජාවන් සඳහා සියල්ල ඇතුළත්, අවැසි සහාය ලබාදෙන වාතාරණයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කරයි.

Similar Posts