නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කැප වී සිටින පොලිස් නිලධාරින්ගෙන් අතිබහුතරය මහජනයාගේ සුබසිද්ධිය වෙනුවෙන් ද කැප වී සිටින බවක් පෙනේ. එහෙත් පොලිස් නිලධාරින්ගෙන් සුළුතරයක් නීතියෙන් පිට පැන දූෂණයට, වංචාවට පමණක් නොව මිනීමැරීම්වලටද හවුල් වූ අවස්ථා සටහන් වී තිබේ.
එසේ නීතියට පටහැණිව කටයුතු කිරීම නිසා ගෙවී ගිය සතියේ හලාවත කොට්ඨාස දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරින් අටදෙනෙකුගේ සේවය අත්හිටුවීමට සිදු විණි. සිද්ධිය සැලවෙන්නෙ මෙලෙසය.
පසුගිය හය වැනිදා ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි විස්ස ක්රිකට් තරගයක් පැවැත්වුණ දිනයයි.
එදින හලාවත, වෙන්නප්පුව, නයිනමඩම පමණක් නොව පුත්තලම, මීගමුව වැනි මඳක් දුර බැහැර පෙදෙස්වල වෙසෙන ප්රභූන්, ධනවතුන් පිරිසක් කලින් කතිකා කරගෙන තිබුණේ ක්රිකට් තරගය පැවැත්වෙන දින සවස් යාමයේ මා ඔයට මුහුණලා නයිනමඩම ප්රදේශයේ පිහිටි හෝටලයකට එක්රැස්වීමටයි. ඒ සඳහා හෝටලයේ එකවර තිහ හතළිහකට රැස්විය හැකි විශේෂ වූ කාමරයක් කලින්ම වෙන් කරවාගෙන තිබිණි.
ඒ ක්රිකට් තරගය නරඹන මුවාවෙන් කාඩ් සූදු කෙළීමටයි. එම පිරිස සතියකට දින දෙක තුනක් හලාවත අවට කිසියම් හෝ ස්ථානයකට රැස්ව එසේ කාඩ් සූදු කෙළිය සිදු කරන පිරිසක් බවට සැල වේ.
වෙන් කරවාගත් දින සවස් යාමය වෙද්දී හෝටලයට සුපිරි වාහන පෙළක්ම පැමිණෙමින් තිබිණි. පැමිණ පිරිස කා-බී විනෝද වෙමින් ක්රිකට් තරගය නරඹන මුවාවෙන් සුදු කෙළියේ යෙදෙමින් සිටියහ.