මේ පොඩි එකා දැක්කාම මටනම් දුකක් දැනුනේ නෑ ඒ නිදාගෙන ඉන්න සුවබර විදිහ දැක්කාම මාර ආදරයක් හිතුනේ. ගෙදර ගෙනල්ලා හදාගන්න ඇත්නම් කියලා හිතුනා. ඒතරම් ලස්සනයි. මට වළාකුළු උඩ සැහැල්ලුවෙන් අඩි තිය තිය ඇවිදින පොඩි එකෙක් තමයි පෙනෙන්නේ. ඒ නිදාගෙන හිටපු විදිහෙන් මම කියෝ ගත්තා ඒ අම්මා මේ පොඩි එකාට කොච්චර ආදරේද කියලා. ඒ ආදරේ ඒ අවකාශයේ පාවෙමින් තිබුණා. තවමත් ඇති. ඒ ආදරේ නිසාම වෙන්න ඇති එහෙම නින්දක සතපවලා, නිල් ඕවිල්ලක තියලා, අලුත් ලෝකෙකට ඒ පොඩ්ඩා පාකලේ.
ඒත් ඉතිං මේක ලෝකේ හැම එකෙන්ම පරිපූර්ණ රට නිසා හැම එකෙන්ම පරිපූර්ණත්වයට පත්වුණ මිනිස්සු ඉන්න රට නිසා උන්ට මේ දමා යෑම මාර ප්රශ්නයක් වුණා. බුකිය පුරා කවි ගී සිංදු ලියවුණා. අර අම්මගේ ආදරේ අඳුරගන්න එකෙක්ටවත් බැරිවුණා. අලුත් ලස්සන ලෝකෙකට ඇරිලා තිබුණ දොර මුන් සේරම එකතුවෙලා බරකළු ගලක් තියලා වහලා දැම්මා.
මගේ අම්මා මට දවසක් කියනවා මෙහෙම ‘ මම උබව දෙපාරක් කළු ගඟට වීසි කරන්න හැදුවා ඒත් මට ඒක කරගන්න හිත හයිය කරගන්න බැරිවුණා’ එහෙම කියලා එදා අම්මා හොඳටම ඇඬුවා, මට ඒක මතක් උනා මේ පොඩ්ඩගේ මේ පොටෝ එක දැක්කාම. මගේ අම්මා මාව එහෙම වීසිකරලා කරන්න හැදුවෙත් මාව වෙනත් ලෝකෙකට පාකරන එක මිසක් වෙන දෙයක් නෙවෙයි. තාත්තෙක් නැති දරුවෙක් කියන්නේ ඒ දරුවා වදපු ගෑනිට වඩා ඒ දරුවට ප්රශ්නයක් වෙන රටක් මේක. එහෙම දරුවන්ට විඳින්න වෙන අපාගැහැට ගැන අම්මට අදහසක් තිබෙන්න ඇති. එහෙම ලෝකෙක දුක් විඳිනවාට වඩා ඒ දුකින් මාව මුදවන එක හොඳයි කියලා ඇය මොහොතකට හිතුවා වෙන්න පුලුවන්. මරාදාන එක හොඳයි කියලා අම්මට හිතෙන්න ඇත්තේ ඒකයි. මට හිතෙන්නේ ඒ සිතුවිල්ල අස්සෙත් තියෙන්නේ අසීමිත ආදරය…
මේ හැරදමා යාම අස්සෙත් තියෙන්නේ අසීමිත ආදරය. වෙන දෙයක් නෙවෙයි. මේ හැරදමා යෑමෙන් කවදාවත් ඒ කාන්තාවට අම්මට අලුත් ලෝකයක් ලැබෙන්නේ නෑ. මම දන්නවා ඇය මැරි මැරී තමයි ඊටපස්සේ ජීවත් වෙන්නේ. අපේ අම්මා එදා එහෙම හිතපු එක ගැන, ඒකට උත්සාහ කරපු එක ගැන තවමත් දුක් වෙනවා. සමහර වෙලාවට ඇය අයගේ අවසන් නිමේශයෙත් ඒ ගැන මතක් කරාවි. සිහි කැඳවා ගනීවි. මේ ගැහැණියත් එහෙම තමයි.
මේ හැරදමා යාම අස්සේ ඇයට හිමි මරණය විතරයි.. ඇත්තටම එදා ඇය කෝච්චියෙන් බැහැලා යන්නේ මැරි මැරී ඉපදෙන ගැහැණියක් විදිහට. සදාකාලික වේදනාවේ නිම්නයට තමයි ඇය කෝච්චියෙන් බැස්සේ. ඒත් ඇය ඒ මරණය අස්සේ තමන්ගේ කුසෙන් උපද්දපු මේ පොඩ්ඩට අලුත් ජීවිතයක් පෙන්වනවා. පොඩ්ඩට තියෙන්නේ අලුත් ලෝකෙක අලුත් ජීවිතේක ඇහැ අරින්න විතරයි. ඒ තරම් සුව නින්දක සතපවන ගමන් ඇය ඔහුගේ කනට ඒක මුමුනන්න ඇති…
ඒත් දැන් අවසානයේ මොකද වුණේ? මේක තමයි ලංකාව. මේක තමයි ලංකාවේ අවුල. අපිට තවම හිතාගන්න බෑ අපි සේපියන්ලා කියලා. අපිට වරදිනවා කියලා අපි දන්නේ නෑ. අපි අසම්පූර්ණයි කියලා අපි දන්නේ නෑ. අපි හිතාගෙන ඉන්නේ මිනිස්සුන්ට වරදිනවා කියලා දෙයක් වෙන්න බෑ කියලා. හැමදේකටම පරිපූර්ණ අවසානයක් තියෙන්න ඕනී කියලා තමයි අපි හිතන්නේ.
ගෑනු බඩ වෙන එකයි පාන් රොස් වෙන එකයි දෙකම වෙන්නේ එකම හේතුව නිසා කියලා අපි හක හක ගාලා හිනාවෙනවා. ප්රොස්ටිනෝ බීවත් දසම ගානකින් වරදින්න පුලුවන්. ළමෙක් හදන්න හිතලා සැළසුම් කරලා සමන්තිගෙන් නමකුත් අරගෙන දරුවා බඩට ආවට පස්සේ අපොයි බෑ දෙවියනේ කියලා හිතෙන්නත් පුලුවන්.. මේ ලෝකේ කියන්නේ වියහැකියාවන් ගොඩක එකතුවට..!.