රාජකාරි කටයුත්තක් සදහා ගිය ග්‍රාම නිලධාරිවරයෙකුට අතින් පයින් පහරදී කැත්තකින් කෙටිමට උත්සහ කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු මිහින්තලය පොලිසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මිහින්තලය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනියුක්තව 577තුලානේ සේවයේ නියුතු ග්‍රාම නිලධාරිවරයා මිහින්තලය මිස්සක මාවත තුන්වන පියවරේ ඉඩම් එලිපෙහෙලි කිරීමක් සොයා බැලීමට ගිය අවස්ථාවේ සැකකරු හා ඔහුගේ බිරිද නිලධාරියා සමග බහින්බස්වි පසුව ගුටි බැට හුවමාරුව ඇතිව තිබෙනා බව පොලිසිය පවසයි.

සැකකරු මිහින්තලය තුන්වන පියවර ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් එලිපෙහෙලි කරනා බවට ග්‍රාම නිලධාරිවරයාට කිසියම් පිරිසක් දන්වා තිබෙන අතර ඔහු එහි ගිය අවස්ථාවේ සැකකරු ඉඩම් කොටස තමන්ට අයිති බව පවසමින් ග්‍රාම නිලධාරිවරයා සමග බහින් බස්වි පසුව ඔහුට පහරදිමට උත්සහ කර තිබේ.

බීමතින් සිටි සැකකරුව මෙල්ල කළ අවස්ථාවේ ඔහුගේ බිරිදත් ග්‍රාමනිලධාරිවරයා සමග බහින්බස්වි තිබෙනා අතර පසුව සැකකරු ඉඩම එලි පෙහෙලි කිරීමට රැගෙනා කැත්තෙන් ග්‍රාම නිලධාරිවරයාට කෙටීමට සැරසෙද්දි ඔහු ඉදිරියට පැන එය වලක්වා තිබෙන බවත් ග්‍රාම නිලධාරිවරයාගේ එක් පාදයක සුළු තුවාලයක් සිදුව තිබෙනා බවත් පොලිසිය පවසයි.

පසුව අසල්වාසින් ඇතුළු පිරිසක් පැමිණ ආරවුල සමථයකට පත්කර ග්‍රාම නිලධාරි මහතාව පිටත්කර යැවීමට කටයුතු කර තිබේ.සිය රාජකාරියට බාධා කරමින් පුද්ගලයෙකු පහරදිමට උත්සහ කළ බව කියමින් පොලිස්ථානයට ඉදිරිපත් කළ පැමිණිල්ලට අනුව මිස්සක මාවත ගෙවල් විස්ස තුන්වන පටුමග ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.

රජයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු  අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඇපමත මුදාහැර තිබුණි.

මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ උපදෙස්ම විවිධ පැමිණිලි අංශය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories