money converter

ශ්‍රී ලංකාව අල්ලස හා දූෂණය නිසා ජාත්‍යන්තරව අප්‍රසාදයට ලක් වූ රටක් ලෙස හැඳින්වීම වරදක් නොවේ.බොහෝ රජයේ ආයතනවලින් යම් සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් යම් මුදලක් නිලධාරින්ට ලබා දීමට සිදු වේ.

මුදල් ලබා නොදුනහොත් සිදු වන්නේ අදාල කාර්ය ඉටුකර ගැනීමට දින ගණන් රස්තියාදු වීමටය.මේ ආකාරයට යම් කාර්‍යක් කරගැනීමට මුදල් ලබා දීම සරලව “අල්ලස්” ලබා දීමක් ලෙස අර්ථගැන්විය හැක.

පහල රාජ්‍ය සේවකයාගේ සිට ඉහල දේශපාලන අධිකාරිය දක්වා අල්ලස සාමාන්‍යකරණය වී ඇති වටපිටාවක මහජනතාවට ඒ නිසා විඳින්නට වන පීඩා සම්බන්ධව ක්‍රියාමාර්ග ගනු ලබන්නේ අල්ප වශයෙනි.

මේ අතර අල්ලස් ලබා ගැනීම් සම්බන්ධව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට හා පොලිස් නිලධාරින්ට කාලාන්තරයක් තිස්සේ එල්ල වන චෝදනාවල නිමාවක් තවමත් නොමැත.

යම් නඩු කටයුතුවලින් මුදා හැරීමට,විමර්ශන පක්ෂග්‍රාහීව පැවැත්වීමට,පුද්ගලයන්ට අසත්‍ය නඩු පැවරීමට සහ සැකකරුවන්ගේ ඇප සම්බන්ධව ලිහිල් ආකාරයට කටයුතු කිරීමට පොලිස් නිලධාරින් මුදල් ලබා ගන්නා අවස්ථා සම්බන්ධව දැනගන්නට ලැබේ.යම් පොලිස් නිලධාරියෙකු ඒ ආකාරයෙන් යම් අල්ලස් මුදලක් ඉල්ලා සිටියහොත් ඊට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න විමසා බලමු.

අල්ලස් ලබාගැනීම හා සම්බන්ධ වැරදි පිළිබඳව ප්‍රතිපාදන දක්වා ඇත්තේ 1954 අංක 11 දරණ අල්ලස් පනතේ ය.

පනතේ 16 වන වගන්තිය තුළින් පොලිස් නිලධාරියෙකු සාම නිලධාරියෙකු හෝ වෙනත් රජයේ සේවකයෙකු සම්බන්ධ වැරදි දක්වා ඇත.

16 (අ) වරදකරුවන්ට නඩු පැවරීම ,ඔවුන් සොයා ගැනීම හෝ ඔවුන්ට දඬුවම් දීම පිණිස යම් තත්වයකින් සේවයෙහි යොදවා සිටින යම් පොලිස් නිලධාරියෙකු සාම නිලධාරියෙකු හෝ වෙනත් රජයේ සේවකයෙකු නැතහොත් අධිකරණයක නිලධාරයෙකු විසින් යථා පරිදි යුක්තිය පසිඳලීමකට බාධා කිරීම හෝ යම් වරදක් කරවීම හෝ කිරීමට පහසුකම් ලබා දීම හෝ යම් වරදක් කරන්නා සොයාගනු ලැබීමෙන් හෝ දඬුවම් කරනු ලැබීමෙන් ආරක්ෂා කිරීම හෝ තම බලතල යම් තැනැත්තෙකුට හානිකරව නැතහොත් පීඩාකාරීව අයුතු ලෙස යෙදීම සදහා පෙළඹවීමක් හෝ ත්‍යාගයක් වශයෙන් ඒ නිලධාරියාට හෝ සේවකයාට යම් තුටු පඬුරක් පිරිනමන හෝ
16(ආ) එබඳු නිලධරයකුව හෝ සේවකයෙකු ව මෙම වගන්තියේ (අ) ඡේදයේ සඳහන් බාධා කිරීමකට,වරද කරවීමකට, පහසුකම් ලබා දීමකට ,ආරක්ෂා කිරීමකට හෝ අයුතු ලෙස යෙදීමකට පෙළඹවීමක් හෝ ත්‍යාගයක් වශයෙන් යම් තුටු පඬුරක් අයදින හෝ බාරගන්නා
තැනැත්තෙකු අවුරුදු හතක් නොඉක්මවන කාලයකට බරපතල වඩ ඇති බන්ධනාගාරගත කිරීමකින් සහ රුපියල් පන්දහසක් නොඉක්මවන දඩයකින් දඬුවම් කළ හැකි වරදකට වරදකරු විය යුතුය.

මෙම වගන්තිය අනූව අල්ලස් ලබා ගන්නා නිලධාරින් මෙන්ම අල්ලස් ලබා දිමට උත්සාහ කරන පුද්ගලයන් ද වරදකරුවන් වේ.අල්ලස් ලබා දෙන පුද්ගලයෙකු වරදකරු වීමට නම් ඒ සම්බන්ධව පොලිස් නිලධාරියා විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කළ යුතුය.
පනතේ 19 වගන්තිය යටතේ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධව රජයේ සේවකයන්ට අල්ලස් ලබා දීම හා අල්ලස් ලබා ගැනීම සම්බන්ධව ප්‍රතිපාදන සලසා ඇත.

19 (අ) රජයේ සේවකයෙකු විසින් යම් නිල කාර්‍යක් ඉටු කිරීම හෝ ඉටු කිරීමෙන් වැලකි සිටීම සදහා හෝ එකී රජයේ සේවකයා විසින් හෝ වෙන යම් රජයේ සේවකයෙකු විසින් යම් නිල කාර්‍යක් ඉක්මන් කිරීම ,ප්‍රමාද කිරීම,එයට බාධා කිරීම නැතහොත් එය වැලැක්වීම සදහා හෝ රජය සමග යම් කටයුත්තක් කිරීමේදී යම් තැනැත්තෙකුට ආධාර කිරීම,පක්ෂග්‍රාහී වීම,බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම සදහා පෙළඹවීමක් හෝ ත්‍යාගයක් වශයෙන් යම් තුටු පඬුරක් ඒ රජයේ සේවකයාට පිරිනමන,හෝ (ආ) රජයේ සේවකයෙකුව , යම් නිල ක්‍රියාවක් ඉටු කිරීම හෝ ඉටු කිරීමෙන් වැලකී සිටීම සදහා හෝ මෙම වගන්තියේ (අ) ඡේදයේ සදහන් ඉක්මනින් කිරීමක් ,ප්‍රමාද කිරීමක්,බාධා  කිරීමක්,වැලැක්වීමක්, ආධාර කිරීමක් හෝ පක්ෂග්‍රාහී වීමක් සදහා පෙළඹවීමක් හෝ ත්‍යාගයක් වශයෙන් යම් තුටු පඬුරක් අයදින හෝ භාර ගන්නා හෝ (ඇ) රජයේ සේවකයෙකු ව යම් තුටු පඬුරක් අයදින හෝ භාර ගන්නා;තැනැත්තෙකු වසර හතක් නොඉක්මවන කාලයකට බරපතල වැඩ ඇති බන්ධනාගාරගත කිරීමකින් සහ රුපියල් 5000 නොඉක්මවන දඩයකින් දඬුවම් කළ හැකි වරදකට වරදකරු විය යුතුය.

මෙම වගන්තිය අනූව ද අල්ලස් ලබා ගන්නා පුද්ගලයෙකු හා ලබා දෙන පුද්ගලයෙකු පනත යටතේ වරදක් කරනු ලබයි.මේ වගන්තියේ 19(ආ) සහ 19(ඇ) අතර වෙනසක් ඇත.එනම් 19(ආ) මගින් යම් මුදලක් ලබා ගන්නේ යම් ක්‍රියවක් කිරීමට හෝ නොකර හැරීමටය.නමුත් 19(ඇ) වගන්තිය අනුව රජයේ සේවකයෙකු යමක් කිරීමට හෝ නොකර සිටීමට අවශ්‍ය නැත.මුදල් ඉල්ලීම හෝ භාරගැනීමම ප්‍රමාණවත් ය.උදාහරණයක් දැක්වුවහොත් ඔබ යම් කාර්‍යාලයකට ගොස් කාර්‍යක් ඉටු කරගෙන එන විට යම් සේවකයෙක් තේ බීමට අවශ්‍ය බව පවසා මුදලක් ඉල්ලා ගැනීමම මේ වගන්තිය යටතේ වරදක් සංස්ථාපනය වීමට ප්‍රමාණවත් වේ.

යම් පොලිස් නිලධාරියෙකු ඔබගෙන් අල්ලසක් ඉල්ලා සිටිය හොත් ඔබ පළමුව කළ යුත්තේ ඒබව ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි එකතු කරගැනීමය.දුරකථන සංවාද ,දුරකථන කෙටි පණිවිඩ හා වීඩියෝ දර්ශන වැනි සාක්ෂි ඉතා ප්‍රබල සාක්ෂි ලෙස සැලකිය හැක.ඉන් අනතුරුව මේ සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ යුතුය.ඒ පැමිණිල්ල ඔවුන්ගේ 011-2596360 දුරකථන අංකයට හෝ 1954 හොට් ලයින් එකට අමතා කළ හැක.එසේම අංක 36,මලලසේකර මාවත,කොළඹ 07 යන ස්ථානයේ පිහිටි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ගොස් වුවද පැමිණිලි කළ හැකිය.

ඉන් අනතුරුව අල්ලස් නිලධාරින් සංවිධානය කරනු ලබන වැටලීමකින් අනතුරුව අදාල පොලිස් නිලධාරියා අත් අඩංගුවට ගැනීම සිදු කරයි.ඔබගෙන් මුදල් ලබා ගන්න අවස්ථාවේ කොමිසමේ නිලධාරියෙක් “උපාය දූතයෙක් ” ඔබ සමග පැමිණෙන අතර සැබෑ ලෙසම අල්ලස් මුදලක් ලබා ගන්නේ දැයි ඔහු තහවුරු කරගැනීමෙන් පසුව පමණක් අත් අඩංගුවට ගැනීම සිදු වේ.

අල්ලස් ලබා ගැනීමකට අදාල වන්නේ යම් මුදලක් ලබා ගැනීම පමණක් ද යන්න සලකා බැලිය යුතුය.පනතේ 90 වගන්තියේ “තුටු පඬුර” යනු කුමක්ද යන්න අර්ථනිරූපණය කර ඇති අතර එය ඉතා පුළුල් අර්ථනිරූපණය කි.එයට මුදල් ඉල්ලීම පමණක් නොව වෙනත් ආකාරයේ මුදලින් මැණිය හැකි හා මුදලින් මැණිය නොහැකි සහන,උපකාර,වාසි,සේවා,අයිතිවාසිකම් හා සතුටු කිරීම් ඇතුලත් වන බව පෙනේ.

කතබ්ඩීන් එරෙහිව ජනරජය (1998 (3) SLR 107) නඩුවේදී අධිකරණය තීරණය කරන ලද්දේ යම් ස්ථාන මාරුවක් ලබා දීමට ලිංගික සංසර්ගයේ යෙදීමට ආරාධනය කිරීම අල්ලස් පනතේ “තුටු පඬුර” යන අර්ථනිරූපණට අයත් වන බවයි.ඒ අනූව ඔබගෙන් යම් ලිංගික අල්ලසක් ඉල්ලා සිටින අවස්ථාවක වුවද පොලිස් නිලධාරින්ට එරෙහිව පැමිණිලි කිරීමට හැකියාව පවතී.

අල්ලස් ලබා ගැනීමේ සංස්කෘතිය නිමා කිරීමට රජය මූලිකවම මැදිහත් විය යුතුය.නමුත් රජය ඒ සම්බන්ධව ගෙන ඇති පියවරයන් ප්‍රමාණවත් ද යන්න සැකයක් ඇත.පුරවැසියන් ද නිහඬව නොසිට තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම කළ යුතුය.අල්ලසෙන් තොර රටක් පිළිබඳ බලාපොරොත්තු සඵල කරගත හැක්කේ එවිට ය.

~නීතීඥ සාරංග වාදසිංහ ~

උපුටා ගැනීම – අන්තර්ජාලයෙන්

More Stories