ගල්කිස්ස ප්‍රදේශයේ පහලොස් හැවිරිදි දැරියක් විවිධ තරාතිරම් වලට අයත් පුද්ගලයන් සැලකිය යුතු පිරිසක් වෙතින් සමූහ අපයෝජනයට ලක්වීමේ සිදුවීම් දාමයක් පිළිබඳව මේ දිනවල විවෘත සමාජ කතිකාවක් ගොඩනැගී තිබේ. අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකිරීම මඟින් සංවිධානාත්මක ලෙස සිදු කෙරුණු මෙම අපයෝජන දාමය සමාජයීය වශයෙන් ද විශේෂයෙන් සලකා බැලිය යුතු තත්වයක් නිසා මාධ්‍ය මඟින් ඊට සැලකිය යුතු ප්‍රසිද්ධියක් හිමි කොට තිබේ.
එහෙත්, මෙම සමූහ අපයෝජන දාමය පිළිබඳ අදහස් දක්වන බොහෝ දෙනෙක් මේ සඳහා හවුල් වූ පුද්ගලයන් මානසික රෝගීන් විය නොහැකි ද? යන අනුමානය පළ කරති. එසේ සමූහ අපයෝජනයට ලක් වූ දැරිය ගේ වයස ඒ සඳහා බලපෑ ප්‍රධාන සාධකයක් වී තිබේ. එමෙන්ම මෙම අනුමානය පළ කරන්නවුන් ගෙන් වැඩි ප්‍රතිශතය කාන්තාවන් බව ද නොරහසකි. ඊට හේතුව පිරිමින්ට වඩා වෙනස් කෝණයකින් ලිංගිකත්වය සම්බන්ධයෙන් විමසුම් කිරීමේ ස්වභාවික නැඹුරුවක් කාන්තාවන් තුළ පවතින බැවිනි.
මිනිසුන් තුළ පවත්නා බහු විධ රුචිකත්ව සාධකය ලිංගිකත්වය කෙරෙහි ද එලෙසින්ම බලපායි. ප්‍රජනනය සඳහා ඉවහල් වන ප්‍රධානතම සාධකය වුවද ලිංගිකත්වය තුළින් විවිධත්වයක් අත්විඳීමෙන් වැඩි සතුටක්, තෘප්තියක් ලද හැකි බව පොදු විශ්වාසයකි. එහෙත්, එම ලිංගිකාශ්වාදය ලබා ගැනීම පිණිස මිනිසා විසින් අනුගමනය කරනු ලබන අනේක විධ ඉරියව්, ක්‍රම සහ උපාය මාර්ගවලින් කොටසක් අනුගමනය නොකළ යුතු බවට ආගමික සහ සංස්කෘතික තහංචි පැන වී තිබේ.
බුදු දහමේ ‘අධර්ම රාග’ යනුවෙන් හැඳින්වෙනුයේ මෙවන් නුසුදුසු ලිංගික භාවිතයන් බව පෙනේ. මීට අමතරව කිතුනු, ඉස්ලාම් ආගම් වලින් ද ලිංගිකත්වය ක්‍රියාවට නැංවීමේ දී ආචාර විචාර සම්ප්‍රදායන් හඳුන්වා දී තිබේ.
නවීන මනෝ විද්‍යාව අනුව ද ලිංගික විෂමාචාරයන් මුල් කොට ගත් වෙනම මානසික අර්බුද කාණ්ඩයක් හඳුන්වා දී තිබේ. පාරලෝලීත්ව ආබාධ (Paraphilic disorders) යනුවෙන් හැඳින්වෙන මෙම මානසික අර්බුද ලිංගික අවවර්තන (Sexual Perversions) සහ ලිංගික අපගමනය (Sexual deviations) යනුවෙන් ද මින් පෙර හඳුන්වා තිබිණ. තමන්ට සහකරුට හෝ සමාජයට අහිතකර කිසියම් උපක්‍රමයක් භාවිතා කොට යම් සහකරුවකු හෝ සහකාරියක සමඟ නැතහොත් යම් යම් සතුන් හෝ, ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් ලිංගික තෘප්තියක් ලබාගැනීමට නතුවීම මෙම පාරලෝලිත්ව මානසික අර්බුද ගණයට අයත් වෙයි.
එහෙත් ස්ත්‍රී පුරුෂ ස්වයං වින්දනය සහ සමලිංගිකතාව එවන් මානසික අර්බුද නොවන බව කිව යුතුය. නමුදු යම් පිරිමියකු ජීවත් වන කතුන් හැරපියා කාන්තා මළ සිරුරු සමඟ ලිංගිකව එක්වීමෙන් සතුටක් ලැබීමට පෙළඹීම ශවලෝලීත්වය (Necrophilia) නමින් හැඳින්වෙන එවන් පාරලෝලීත්ව ගණයේ මානසික අර්බුදයකි. දිගු කලක් තිස්සේ සිදු කරනු ලැබූ කරුණු ගොනු කිරීම් වලට අනුව මෙවන් පාරලෝලීත්ව මානසික අර්බුද පන්සියයකටත් වඩා හඳුනාගෙන තිබේ.
එමෙන්ම මානසික රෝග පිළිබඳ නිර්නායක සහ සංඛ්‍යානමය සංග්‍රහයේ (DSM) සහ ජාත්‍යන්තර රෝග වර්ගීකරණ සංග්‍රහයේ (IDC) විවිධ වෙළුම් වල මෙම පාරලෝලීත්ව මානසික අර්බුද පිළිබඳ නිර්ණායකයන් වෙනස් කොට දක්වා ඇති අවස්ථා ද තිබේ. එමෙන්ම මෙම පාරලෝලීත්ව මානසික අර්බුද බොහෝ විට දැකිය හැක්කේ පුරුෂ පාර්ශ්වය අතුරින් වීම ද විශේෂත්වයකි.
ඉහත සඳහන් ගල්කිස්සේ දැරිය සමූහ අපයෝජනයට ලක්වීම පිළිබඳ සිදුවීම් සම්බන්ධයෙන් පුරුෂ පක්ෂය අබිබවමින් කාන්තාවන් කෙරෙන් ප්‍රබල විරෝධයක් මතු වීමට එම මානසික සාධකය ද ඉවහල් ව ඇති බවක් පෙනේ. එහෙත්, එය පිරිමියා ලිංගිකත්වයෙහි ලා ක්‍රියාකාරී සහකරු වීම සම්බන්ධ ජෛවමය තත්වයක් මිස ඔවුන්ගේ වරදක් නම් නොවේ.
වැඩිහිටි පිරිමින් තුළ පවත්නා පාරලෝලීත්ව මානසික අර්බුද අතුරින් කුඩා දරු දැරියන් සමඟ ලිංගික සබඳතා ඇති කරගැනීම පිළිබඳ ලෝලීත්වය බාලක කාමය (Paedophilia) යනුවෙන් හැඳින්වෙයි. එහි මූලික ම ලක්ෂණය ඔවුන් තමන් ගේ ලිංගික අභිලාෂයන් ඉටුකර ගැනීම පිණිස වැඩිවිය පත්වීමට පෙර වයසේ දැරියන් හෝ දරුවන් තෝරා ගැනීමයි.
මෙහි දී ඒ හා සම්බන්ධ ලිංගික ආවේග ප්‍රවර්ධනය වීම ඒවා ක්‍රියාත්මක කිරීම පිණිස උපාය මාර්ග යෙදීම සහ ඒ ඔස්සේ එම ලිංගික ආශාවන් සංතෘප්ත කරගැනීම යන කරුණු තුනම සලකා බැලෙයි. මීට අමතරව මේ හා සබැඳුණු ඊට වඩා මඳක් මුහුකුරා ගිය දරුවන් සමඟ ලිංගික සේවනයේ යෙදීම සම්බන්ධ පූර්ව යෞවන කාමය සහ (Hebephilia) යෞවන කාමය (Ephcbophilia) යන පාරලෝලීත්ව ලිංගික ලෝලීත්වයන් පිළිබඳව සඳහන් වෙනත් ඒ සියලු දරුවන් වයස අවුරුදු දහසයට අඩු විය යුතුය. නමුදු මෙහි දී පාරලෝලී ලිංගික අර්බුදයන් ලෙස සායනිකවශයෙන් පැහැදිලි ලෙසම සඳහන් කළ හැක්කේ බාලක කාමය බව ද කිව යුතුය.
මනෝ වෛද්‍ය විද්‍යාත්මක පක්ෂය එසේ වුවද 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනතේ අංක 364 වගන්තිය අනුව ව්‍යභිචාරය යන අපරාධමය චෝදනාව යටතේ වයස අවුරුදු දහසයට අඩු දැරියක් අපයෝජනය කළ සියල්ලන් අත්අඩංගුවට ගනු ලැබේ. මෙහිදී එම වයස සීමාවේ දැරියකගේ නම් ‘කැමැත්ත ඇතිව‘ යන සාධකය ද අධිකරණය විසින් නොතකා හරිනු ඇත.
ඒ අනුව එවන් නඩුවක් විභාග වන අවස්ථාවේදී එම ක්‍රියාව විත්තිකරු තුළ පවත්නා මානසික විකෘතියක්, අසාමාන්‍යතාවක් නිසා සිදුවන බවට අධිකරණය වෙත කරුණු ගොනු වුවහොත් විශේෂඥ අධිකරණ මනෝ වෙද්‍යවරයකු හෝ එම විෂය හා සම්බන්ධ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු වෙතින් ඒ සම්බන්ධ වෛද්‍ය වාර්තාවක් අධිකරණය විසින් ලබා ගනු ඇත.
ඒ අනුව එම විත්තිකරු සැබැවින්ම බාලක කාමය නම් මානසික අර්බුදයෙන් පෙළෙන්නකු ද යන්න පිළිබඳ විද්‍යාත්මක වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට එම මනෝ වෛද්‍ය වරයාට සිදුවනු ඇත. පසුව එම නඩු විභාගය පැවැත්වෙන අතරේ ඒ සම්බන්ධ අධිකරණය හමුවේ විශේෂඥ සාක්ෂි ඉදිරිපත් කිරීමට ද එම විශේෂඥ මනෝ වෛද්‍යවරයාට සිදු වනු ඇත.
මෙවන් අවස්ථාවකදී විත්තිකරු බාලක කාමය නම් මානසික අර්බුදයෙන් පසු වන්නකු ද යන්න නිවැරදිව තීරණය කිරීමේ ද නිර්ණායක උපයෝගී කරගැනීමට මනෝ වෛද්‍යවරයාට සිදුවෙයි. විත්තිකරු ලිංගිකමය වශයෙන් පරිනත වූ වැඩිහිටියෙකු වීම, ඔහු විසින් එම දැරිය අපයෝජනයට ලක් කරන ලද්දේ හුදු අවස්ථානෝචිත තත්වයක් යටතේ නොව බාලක ලෝලීත්වය මත පදනම් වූ හැඟීම් සහ චිත්තාවේග මත පදනම් ව බව තහවුරු කිරීම ඒ අතුරින් ප්‍රධාන ය.
ඊට හේතුව ඇතමුන් ඇතැම් අවස්ථාවන් හිදී ලිංගිකාපේක්ෂාවන් ඉටු කරගැනීම පිණිස වන විකල්ප ක්‍රියාමාර්ග ලෙස මෙවන් කුඩා දරුවන් අපයෝජනය කළ හැකි බැවිනි. එය මිනිස් ආහාරයට සුදුසු ආහාර කිසිත් නොමැතිව කුසගින්නෙන් පෙළෙන අයකු මිනිස් ආහාරයට නොගන්නා සත්ව සහ ශාක කොටස් ආහාරයට ගන්නාක් බඳු තත්වයකි. ‘කන්නට සිතුණු කල කබරගොයා ද තලගොයා කරගැනීම‘ යන පිරුළ ද මේ හා සැසඳෙනු ඇත. සායනික වශයෙන් එය කෙසේවත් බාලක ලෝලීත්වය නම් මානසික අර්බුදය ලෙස නොසැලකෙයි.
විවිධ සමාජ සංස්කෘතික පසුබිම් තුළින් මෙවන් බාලක ලෝලීත්වය නම් මානසික අර්බුදයෙන් පෙළෙන්නවුන් හමු වී ඇති අතර ඔවුන් බොහෝ විට හඳුනා ගැනීමට ලැබෙනුයේ ළමා අපචාර සම්බන්ධ අධිකරණ කටයුතුවලදී වීම ද විශේෂත්වයකි.
එහෙත්, මෙහි මුලින්ම සඳහන් කළ අන්දමට ලිංගික විවිධාංගීකරණය අපේක්‍ෂාවෙන් සෙසු ලිංගික කටයුතුවල යෙදෙන අතරේ කුඩා දැරියන් අපයෝජනය කරන්නවුන් මෙම බාලක ලෝලීත්ය නම් මානසික අර්බුදයෙන් පෙළෙන්නවුන් සේ අප වරදවා වටහා ගත යුතු නැත. මෙහිදී ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට ද මනෝ වෛද්‍ය වරයාට සිදුවෙයි. ගත වූ දශක කිහිපයට සාපේක්‍ෂව ලෝකයේ බොහෝ රටවල ළමා ගණිකා ව්‍යාපාරය ශීඝ්‍රයෙන් හිස ඔසවමින් තිබේ.
විශේෂයෙන් ලොව රටවල දිළිඳුකම පිටු දැමීම පිණිස වන නොවිධිමත් උපාය මාර්ගයක් ලෙස ළමා ගණිකා වෘත්තිය ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පිලිපීනය, තායිලන්තය ආදී රටවල සේම ශ්‍රී ලංකාව තුළ ද ප්‍රවර්ධනය වීමේ පැහැදිලි හැකියාවක් තිබේ. විශේෂයෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමෝපායක් වශයෙන් නිල නොලත් ලෙස අප රට තුළ ද ළමා ගණිකා ව්‍යාපාර ප්‍රවර්ධනය වීම තුළ ඉහත සඳහන් අන්දමේ ළමා අපචාර සිද්ධීන් අප රට තුළ සාමාන්‍යකරණයට ලක්වීමේ පැහැදිලි අවදානම මනාව වටහා ගෙන එම ඛේදනීය තත්වය වැළැක්වීමේ කාලසීමාව මේ වන විට ද ශීඝ්‍රයෙන් පසුවෙමින් තිබේ.
ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය ආයතනයේ හිටපු සභාපති
විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ