අලි ඇතුන් සංරක්ෂණ මධ්‍යස්ථානයක් වන පින්නවල අලි අනාථාගාරය ස්ථාපිත කොට වසර හතළිස් හයක් සම්පූර්ණවීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් අද (17) එම මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

වනයේ සිය රැළෙන් වෙන් වූ අලි පැටවුන් පස්දෙනෙකුගෙන් සමන්විතව මෙම මධ්‍යස්ථානය වර්ෂ 1975 පෙබරවාරි මස 16 වන දින ආරම්භ කරන ලද්දේ එවකට නාවික හා සංවාරක අමාත්‍ය පී.බී.ජී.කලුගල්ල මහාගේ ප්‍රධානත්වයෙනි.

අලි ඇතුන් අසූහයදෙනෙකු දැනට රැකවරණය ලබන මෙම ස්ථානයේ පැටවුන් හැත්තෑවක් පමණ උපත ලබා තිබීම ද විශේෂත්වයකි. එමෙන්ම විදේශීය රටවලින් පරිත්‍යාග ලෙස හිමිවුණු අලි ඇත් පැටවුන් කිහිපදෙනෙකු ද මෙහි රැකවරණ ලබති.

මුල් කාලයේදී යකඩ දම්වැල්වලින් පා බැද තිබුණු මෙහි අලියන් මේ වන විට නිදහසේ සැරිසැරීමට හැකි පරිදි හීලෑ කොට තිබේ. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වසා තබා මේ වන විට විවෘත කර ඇති මෙම මධ්‍යස්ථානය සෞඛාරක්ෂත ක්‍රම අනුව පාලනය වන අතර ඉදිරියේදී සංචාරකයන් වෙනුවෙන් තවදුරටත් පහසුකම් පුළුල් කිරීමට නියමිතය.

වන පින්නවල අලි අනාථාගාරය ස්ථාපිත කොට වසර හතළිස් හයක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැති සැමරුම් උත්සවය එහි අධ්‍යක්ෂිකා රේණුකා බණ්ඩාරනායක මහත්මියගේ මෙහෙයවීම මත සිදුවිය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

More Stories