මේ රටේ ඇතැම් පුරවැසියන් තමන්ට සිදු වූ අකටයුතුකම් වලට එරෙහිව යුක්තිය ලබාගැනීම උදෙසා කාලාන්තරයක සිට තවමත් අරගල කරමින් ඉන්නවා. ඒ වගේම පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, පහරදීම් සහ ඝාතන හේතුවෙන් තමන්ට අහිමිව ගිය කිට්ටුවන්තයන් සහ හිතෛෂීන් වෙනුවෙන් යුක්තිය හඹා යන මිනිස්සුත් ඔබට මට මේ සමාජය තුළ මුණගැහෙනවා. ජීවන අරගලය මැද්දේත් යුක්තිය ලබා ගන්න මිනිස්සුන්ට ඊට නොදෙවනි අරගල කරන්න වෙලා තියනවා. ඒක බැරෑරුම් ඛේදවාචකයක්.
ඔබ මම දන්න පමණින් මේ රටේ ඉන්න වින්දිතයන් වෙනුවෙන් හිතන තරම් වේගයෙන් යුක්තිය ඉටු වෙන්නෙ නෑ. ඒ ප්‍රමාදය පිටිපස්සේ අනේකවිධ හේතු සාධක තියනවා. 2021 දී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 47 වන වාර්ෂික උත්සව සභාවේදි එවකට අධිකරණ ඇමතිව සිටි අලි සබ්‍රි මහතා මේ ගැන අදහසක් ප්‍රකාශ කරනවා. අලි සබ්‍රි අමාත්‍යවරයා කියන විදියට මහාධිකරණයේ නඩුවක් විභාග වෙන්න සාමන්‍යයෙන් අවුරුදු 9 1/2 ගතවෙනවා. අපරාධ කටයුත්තක අභියාචනයක් සලකා බැලීම ආරම්භ කරන්න අවුරුද්දක කාලයක් යනවා ඒ වගේ ම ඒ අභියාචනය සම්බන්ධයෙන් විසඳුමක් ලබාගන්න අවුරුදු 3-4 ක කාලයක් ගෙවන්න වෙනවා. මෙච්චර කාලයක් ගිහිල්ල ලබාගන්න යුක්තියෙන් ඇති ඵලේ මොකද්ද කියලා ඔබට හිතෙන්න පුළුවන් නමුත් අපි මතක තියාගන්න ඕන එච්චර කල් ගතවෙලත් තමන්ට යුක්තිය හිමි නොවූ පුරවැසියන් මේ රටේ ඉන්න බව.
ඉතින් මං ඔබට මේ කියන්න යන්නේ එහෙම කතාවක්. අපි ජීවත් වන අපරාධ දූපතේ සිදුවූ තවත් එක් මරණයකට යුක්තිය ඉෂ්ට කරගන්න අවුරුදු 13ක් තිස්සේ ඉඳලා වලිකන සහෝදරයෙක් ගැන. ඔහු සයිමන් අමරසිංහ. ඔහුගේ පවුලේ සහෝදරයන් තුන්දෙනෙක් සහ සහෝදරියන් හතරදෙනෙක් ගෙන් පිරිලා තිබුණා. ඩේවිඩ් අමරසිංහ, ඒ කියන්නේ සයිමන්ගේ බාල සහෝදරයා. මීට අවුරුදු 13 ට කලින් කිරිඳිවැල පොලිසියේ පහරදීමක් හේතුවෙන් ඔවුන්ගේ පවුලට අවාසනාවන්ත ලෙස ඩේවිඩ් ව අහිමි වෙනවා. කෙළින්ම කිව්වොත් අහිමි කරවනවා.
“මල්ලි නැතිවෙද්දි අවුරුදු 46ක්. එයා අවිවාහකයි. අවුරුදු 12ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ සේවය කරලා අයින් වෙලා අම්මවත් බලාගෙන තමයි හිටියේ.”
තමන්ගේ මිය ගිය සහෝදරයා ඩේවිඩ් අමරසිංහ පිළිබඳ කෙටි හැඳින්වීමක් කරලා සයිමන් අපිට කතාව කියගෙන ගියා.
2010 අගෝස්තු මාසේ 13 වැනි දා රාත්‍රියේ ඩේවිඩ් බඩගින්නට කන්න පාන් ගෙඩියක් ගේන්න ගෙවල් ළඟ හන්දියට ගිහින් තියනවා. ඒ වෙලාවෙම මුරසංචාරයක හිටපු කිරිඳිවැල පොලිසියේ නිලධාරීන් කැබ් එකකින් එතනට ඇවිල්ලා පාන් ගෙඩියක් ගන්න කඩේට ගියපු ඩේවිඩ්ව පොලිස් අත්අඩංගුවට අරගෙන් කැබ් එකේ දාගෙන කිරිඳිවැල පොලිසියට යන්න පිටත් වෙලා තියනවා. ඩේවිඩ් ව අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ බීමත්ව හැසිරෙන නිසා පොලිසියට ලැබුණු දුරකතන ඇමතුමක් මත කියලයි කිරිඳිවැල පොලිසියෙන් දිගින් දිගටම කියලා තියෙන්නේ (පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට බි/678/10 දරන වාර්තාව මඟින් දැක්වූ කරුණු). ඒත් එහෙම ඇමතුමක් ලබාදුන්න කෙනෙක් ගැන පොලිසිය අද වෙනකන් කිසිවක් කියලා නෑ. අත්අඩංගුවට ගත්තට පස්සේ කිරිඳිවැල පොලිසියට යන අතරතුරේ ඩේවිඩ් කැබ් එකෙන් බිමට පැන්න නිසා ඇති වුණ තුවාල නිසා මේ මරණය වුණා කියලා තමයි කිරිඳිවැල පොලිසිය කියලා තියෙන්නේ.
නමුත් ඒ කතාව පොලිසිය විසින් ගොතපු එකක් කියලා සිදුවීම ඇසින් දුටු කුලතිස්ස ගේ සාක්ෂියේ දී වගේම මරණ පරීක්ෂණ වාර්තාවෙන් ඔප්පු වෙනවා.
“අපි අවමංගල්‍ය උත්සවයකට යාම සදහා තවත් කිහිප දෙනෙකු සමග ගනේගම සමූපකාරය අසල නැවතී ඉන්න කොට කිරිඳිවැල පොලීසියේ කැබ් රථයකින් පැමිණි පිරිසක් එම ස්ථානයේ සිටි අයව පරීක්ෂා කළා. ඉන් ටික වෙලාවකට පස්සේ ඒ පිරිස ආ කැබ් රථයේ පිටුපස සිටි අයෙක් බිමට බහිනවා දැක්කා. ඒ බැස්සේ ඩේවිඩ් බව මම හොදින් හඳුනා ගත්තා. ඩේවිඩ් කැබ් රථයෙන් බැහැලා ඇවිදගෙන ටිකක් ඉස්සරහට යනවා මම දැක්කා. එතකොට එතන හිටිය පොලිස් නිලධාරියෙකු අත තිබු මුගුරකින් ඩේවිඩ්ගේ කොන්ද හා තුනටිය අතර ප්‍රදේශයට වැරෙන් පහර දුන්නා. ඩේවිඩ් මාව බේරාගනියෝ කියලා යටිගිරියෙන් කෑ ගැහුවා. ඉන් පසුව පොලිස් නිලධාරියා තෝ පැනල යන්න නේද හැදුවේ කියලා අහලා ඩේවිඩ්ගේ හිස තදින් දෙපාරක් කැබ් රථයේ පස්සේ දොරේ වද්දා කැබ් රථයට තුළටම ඇදලා දැම්මා” කියලා කුලතිස්ස මේ මරණය පිළිබඳ කරන නඩු කටයුත්තේ දි සාක්කි දීලා තියනවා.
ඩේවිඩ් ගේ මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරයා ඔහුගේ වාර්තාවෙන් කියන්නේ ඩේවිඩ්ගේ ආමාශය හිස්ව තිබුණා ය ඒවගේම මත්පැන් ගඳක් වහනය වුණේ නැති ය කියලා. වැඩි දුර පරීක්ෂණ කරන්න ඩේවිඩ් ගේ රුධිර පරික්ෂාවක් කළත් එයිනුත් ඔප්පු වුණේ එහි මද්‍යසාර අඩංගු වී නැති බවක්.
කොහොම වෙතත් මේ සිද්ධිය සම්බන්ධ නඩු කටයුත්ත පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දිග හැරෙනවා. ඒ අතර ඩේවිඩ් ගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනය කරගනිමින් ලඝු නොවන නඩු විභාගයක් එවකට පූගොඩ මහේස්ත්‍රාත්ව සිටි අරවින්ද පෙරේරා විනිසුරුවරයා ආරම්භ කළත්, මේ සඳහා පොලිසිය විරෝධයක් දක්වනවා. පොලිසිය ඒ මොහොතේ නීතිපතිවරයා ගේ උපදෙස් ලබාගන්න කියලා අධිකරණයට දන්වලා තියනවා. පස්සෙන් පහු නීතිපතිවරයා ඩේවිඩ් අමරසිංහ ගේ නඩුව ඉදිරියට ගෙනයන්න ඕන නඩුවක් නෙවෙයි කියලා අහකට විසි කරලා චූදිතයන්වත් නිදහස් කරන්න පුළුවන් කියලා පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ට දන්වනවා.
අවුරුදු 13ක් තිස්සේ මේ නඩුව මහාධිකරණය, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය අතර එහෙ මෙහෙ විසි වෙලා නැවතත් පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරී තියන ලඝු නොවන නඩු විභාගය ආරම්භ කරන්න නියෝගය දුන්නේ පසුගිය ජූලි මාසේ 14 වෙනිදා. මේ කාලය වෙනකොට ඩේවිඩ්ගෙ අම්මා තමන්ගේ පුතා මැරුණේ කොහොමදවත් කියලා හරි හැටි නොදැන 2019 අවුරුද්දෙ දී මිය යනවා. ඒ වගේම මේ සිදුවීම සම්බන්ධ නඩුවේ ඉතාමත් වැදගත් සාක්ෂිකරුවෙක් ව සිටි කුලතිස්ස නැමැත්තත් මෑතකදි මිය ගිහින්. ඒ වුණත් 65 වියැති සයිමන් අමරසිංහ තවමත් සිය පවුලේ අනෙකුත් අය සමඟින් තම සහෝදරයාගේ මරණයට යුක්තිය සොයාගෙන යනවා.
අප්‍රමාණ වූ කම්කටොලු මැදින් සයිමන් අමරසිංහ මෙම අවුරුදු 13ක කාලය තුළ සහෝදරයා ගේ මරණයට යුක්තිය ඉල්ලා නොගිය තැනක් නොමැති තරම් ය. මේ පිළිබඳ ව සඳහන් කරමින් නොලියපු කෙනෙක් නැති තරම් ය. 2010 ඉඳලා අද වෙනකන් ඔහු මේ වෙනුවෙන් කරපු කැපවීම අන්තිමට කාඩ්බෝඩ් ෆයිල් එකක් ඇතුළේ හිරවෙලා තියනවා දැක්කම අපි පුරවැසියන් විදියට කොච්චර අසරණ ද කියලා හිතෙන්න පටන් ගත්තා. ඩේවිඩ් අහිමි වුණ සෝකය ඒ පවුලේ හැමෝගෙම ඇස් වල තාම පැලපදියන් වෙලා තියනවා. ඒ ඇස් අස්සේ තාම යුක්තිය පිළිබඳ බලාපොරොත්තුවක් තියනවා. අන්තිමට සයිමන් අමරසිංහ මෙන්න මෙහෙම කියලා කතාව නවත්තනවා.
“අපි මුලින්ම අධිකරණයකට ගියානම් ගියේ අපේ මල්ලිගෙ මරණය සම්බන්ධයෙන් පවත්වපු නඩුව වෙනුවෙන්. අධිකරණ ක්‍රියාවලිය ගැන මොන අදහසක් වත් අපිට තිබුණේ නෑ. එහෙම අත්දැකීමක් අවශ්‍ය වෙලා තිබුණෙත් නෑ. මොකද අපේ පවුලේ අය සාමකාමීව ජීවත් වන නිසා. පෞද්ගලිකව මම අධිකරණය ගැන ලොකු ගෞරවයකින් වගේම විශ්වාසයකින් හිටියේ. ඒත් මේ සිදුවීම ගැන කල්පනා කරද්දි අධිකරණය ගැන තිබුණ විශ්වාසය නැති වෙලා තියෙන්නෙ. ඒත් මම මල්ලිගෙ මරණයට සාධාරණයක් ඉෂ්ට වෙනකන්ම මම ඉස්සරහට යනවා. මට ඇති අවධානම, ආර්ථික ප්‍රශ්න ගැන නොහිතා සමස්ත සමාජය ගැන හිතලා තමයි මම මේ කාර්යයට උර දෙන්නේ.”
තම සහෝදරයා ගේ මරණයට යුක්තිය ලබගැනීමට කැපවෙන සයිමන් අමරසිංහ සහ පවුලේ අය එක්ක අපි පොඩි සාකච්ඡාවක් කළා. ඒක වීඩියෝවක් විදියට ඉස්සරහට https://youtube.com/@aithiyamedia2463 ඔස්සේ නරඹන්නට පුළුවන් වෙයි. කොහොමින් කොහොමහරි අවුරුදු 13කට පස්සේ ඩේවිඩ් අමරසිංහ ඝාතනය සම්බන්ධ නඩුව නැවත අහන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග දුන්නට දැන් ඒ නඩුවට සාක්ෂි දෙන්න ඉතුරු වෙලා ඉන්න අයට තව දුරටත් මේ නඩුවට සාක්ෂි දෙන්න තරම් විශ්වාසයක්, ආරක්ෂාවක් හෝ ධෛර්යක් තියෙයිද? මේ නඩුවේ අවසානයක් දකින්න තව කොච්චර කල් යයි ද? නැවත වටයකින් ඇවිල්ල තියෙන්නෙ මේ නඩුවේ මුලටම නේද? ඇත්තට මේ විදියට යුක්තිය වටේ යවන්නේ මොකටද?
මේ තවත් එක සිදුවීමක් විතරයි. හාර අවුස්සා බැලුවොත් මෙවැනිම සිදුවීම් ගොන්නක් අපිට හොයාගන්න පුළුවන් ඒ සිදුවීම් වලට යුක්තිය ඉටු වුණාද නැද්ද කියලා දැනගන්නත් පුළුවන්. යුක්තියේ ප්‍රමාදය අස්සෙන් පේන අධිකරණ පද්ධතියේ නිරුවත වහගන්න ඕන කියලා හිතෙන්න තරම් මේ රටේ මුල් පුටුවල වාඩි වෙන මිනිස්සුන්ට ලැජ්ජාවක් නෑ. අපිත් පොඩියට හරි ඒවට වගකියන්න ඕන කියලා මට හිතෙනවා.
-සමුදු බස්නායක-