අපේ ශරීරයට ආගන්තුක රෝගකාරකවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි නම් එය අපේ නිරෝගී බවට ප්‍රධාන හේතුවක් වෙනවා. ශරීරයේ හා මනස සතු මේ ඔරොත්තු දීමේ හැකියාව හඳුන්වන්නේ ‘ප්‍රතිශක්තිය’ නමින්.
වසර දහස් ගණනකට පෙරාතුවද ආයුර්වේදයේ මෙම ප්‍රතිශක්තිය පිළිබඳව දක්වා ඇති අතර රෝග සුව කිරීම මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමෙන් නිරෝගී බව රැක ගැනීම යන කාරණා දෙකම එක ලෙස වැදගත් බව කියා තිබෙනවා.
ප්‍රතිශක්තිය පිළිබඳව ආයුර්වේදයේ සඳහන් කර ඇත්තේ මොනවාද?
ආයුර්වේදයේ මෙය දක්වා ඇත්තේ ‘ව්‍යාධි ක්ෂමත්වය’ යන නමින්. එනම් රෝග හෙවත් ව්‍යාධීන්ට ඔරොත්තු දීමේ හැකියාවයි. මෙහිදී වැලඳුණ රෝගයක පැතිරීම අවම කර සංකූලතාවයන් අවම කිරීමේ හැකියාව සහ තවමත් නොවැලඳුණ රෝගයකට එරෙහි වීමට ඇති හැකියාව යන දෙකම අර්ථකථනය වී තිබෙනවා.
මෙයට ’ඕජස’ සහ ‘බල්‍ය’ යන වචනත් ආයුර්වේදයේදී යොදනවා. ඕජස යනු සිරුරේ මාංස, අස්ථි ආදී සියලුම ධාතු පටකයන්හි සාරවත් කොටස වන අතර එයම ශරීරයේ ශක්තිය රඳා පවතින කොටස වන හෙයින් ‘බල්‍ය’ නම් වෙනවා.
මේ අනුව රෝගවලට ඔරොත්තු දීමට නම් ශරීරයේ නිවැරදි ධාතු පෝෂණ යාන්ත්‍රණයක් එනම් ආහාර දිරවීමේ සිට සිරුරේ සිදුවන සියලුම පරිවෘත්තීය ක්‍රියා නිවැරදිව සිදු වී අවසානයේ එමගින් සෑදෙන සාරවත්ම පදාර්ථ ශරීරයට අවශෝෂණය විය යුතු බවයි දක්වා තිබෙන්නේ. මේ සඳහා නිවැරදි ආහාර හා චර්යා රටාවක් පවත්වාගත යුතුයි.
ආයුර්වේදයට අනුව ව්‍යාධික්ෂමය හෙවත් ශරීරයේ ප්‍රතිශක්තිය හීන කරන හේතු මොනවාද?
දරුණු රෝග තත්ත්ව, දීර්ඝකාලීන රෝග, නිරන්තරයෙන් රෝගවලට ගොදුරු වීම නිසා ශරීරයේ දෝෂ දූෂණය වී ශරීරය දුර්වල වීම.
ශරීරයේ ජලීය පදාර්ථ අඩුවීම, විජලනය.
බාහිර රෝගකාරකවලට ගොදුරු වීම
අධික ව්‍යායාමය, කාර්යබහුල බව.
රාත්‍රි නිදිවැරීම
බය, තරහව, ඊර්ෂ්‍යාව සහිත හැඟීම් නිරන්තර ඇතිවීම සහ නිතර මානසික ආතතියෙන් පසුවීම.
ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කරන කාරණා ලෙසට දක්වා ඇත්තේ මොනවාද?
උපන් දේශය යහපත් දේශගුණයක් සහිත භූමියක් වීමද හොඳ ප්‍රතිශක්තියක් හිමිවීමට හේතුවන බව දක්වා ඇත.
යහපත් කාලයක, සෘතුවක ජීවත් වීම.
මව්පියන්ගෙන් සහජයෙන්ම උරුම වූ ශරීර බලය.
පෝෂ්‍යදායී ආහාරපාන
හොඳ ශරීර ශක්තියක් තිබීම.
නිතිපතා ව්‍යායාම සිදු කිරීම
යහපත්, උද්‍යෝගිමත් මානසිකත්වයෙන් කල්ගත කිරීම.
ප්‍රතිශක්තිය වර්ධනයට ආයුර්වේදයේ පවසා ඇති පිළියම් මොනවාද?
හොඳ නින්දක්, පෝෂ්‍යදායී ආහාර, යහපත් ඇවතුම් පැවතුම් යන කාරණා පවත්වා ගැනීම.
ඒ ඒ කාලයට, දේශයට, සමාජයට, පරිසරයට ගැළපෙන අයුරින් යහපත් ඇවතුම් පැවතුම් ඇතිව ජීවත් වීම.
සුදුසු ලෙස ශරීරයේ අනවශ්‍ය දොස් ඉවත්කරන පංචකර්ම ප්‍රතිකාර වැනි ශෝධන ප්‍රතිකාර සිදු කිරීම.
වෛද්‍ය නිර්දේශය මත සුදුසු රසායන, වාජීකරණ ඖෂධ භාවිතය.
හොඳින් දිරවන ආහාර ගැනීම, හොඳින් ආහාර පැසවන ආහාර, ඖෂධ සේවනය හා ඒ පිළිබඳ සැලකිලිමත් වීම.
රසකිඳ, නෙල්ලි, වැල්මී, හාතාවාරිය, දුහුඳු, ලුණුවිල, ගොටුකොළ, අමුක්කාරා වැනි ඖෂධීය ශාක ඖෂධ වශයෙන්, ආහාර වශයෙන්, පාන, කැඳ වර්ග ආදී වශයෙන් ගැනීම ශරීර බලය, ප්‍රතිශක්තිය වර්ධනයට ඉතා හොඳයි. අරලු, බුළු, තිප්පිලි, ගම්මිරිස්. වියළි ඉඟුරු, කුරුඳු ආදී කුළුබඩු වර්ගත් හොඳයි. විශේෂයෙන්ම රසායන ඖෂධ,
උදාහරණ-ව්‍යවනප්‍රාශාවලේප, බ්‍රාහ්මී රසායන වැනි අවලේහ වර්ග සහ රත්රන්, රිදී ආදී ලෝහ භාෂ්මවලින් ශරීරයට හිතකර ලෙස නිපදවූ රස ඖෂධ වෛද්‍ය නිර්දේශය මත ශරීර බලය හීන වූ රෝගීන්ට ප්‍රතිශක්ති වර්ධනය පිණිස ප්‍රයෝග ගනු ලබනවා.
මේ සම්බන්ධයෙන් ආහාර හා චර්යා පිළිබඳ නිර්දේශ මොනවාද?
ශරීර බලය වඩවන, මධුර රස ආහාරපාන, පෝෂණ ගුණය ඉහළ ආහාරපාන තමාගේ ශරීර සෞඛ්‍යයට ගැළපෙන අයුරින් භාවිතය.
උදාහරණ-කිරි, මීපැණි, හකුරු, බටර්, එළඟිතෙල් ආදිය.
මිදි, දොඩම්, අම්ල රස, මධුර රස පලතුරු වර්ග යෝග්‍යයි.
අධිකව ලුණු, මිරිස් යෙදූ ආහාර, තිත්ත රස අම්ල රස ආහාර අධිකව පරිභෝජනය, අධික ශීත හෝ අධික උෂ්ණ ආහාර, සකස් කරන ලද ආහාර, කෘතිම ආහාර ආදිය භාවිතය නුසුදුසුය.
දිනපතා නිවැරදි ව්‍යායාම රටාවක් පුරුදු පුහුණු කිරීම.
යෝග, ප්‍රාණයාම, භාවනා ක්‍රම ආදිය පුරුදු පුහුණු කිරීම.
කය, මනස මෙන්ම ආධ්‍යාත්මික සුවය සලසා ගැනීම පිළිබඳ සැලකිලිමත් වීම.
යහපත් ඇවතුම් පැවතුම්වලින් යුතු වීම.
ආදී කාරණා ඔබේ ‘ව්‍යාධි ක්ෂමත්වය’ හෙවත් රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි බලපාන බව සිහි තබාගත යුතුයි.
වෛද්‍ය ප්‍රභාෂී වීරසිංහ