“දැන් නම් රට බල්ලටම ගිහින්” ඉහත සඳහන් කියුම දැන් යළි බොහෝ දෙනෙකුගේ මුවින් පිටවනු අසන්නට ලැබෙමින් තිබේ. යම් අදහසක් ප්‍රකාශ කිරීම පිණිස සාමාන්‍ය ජනයා විසින් භාවිතා කරනු ලබන අවියත් වහරක් වන මෙමගින් පැවසෙනුයේ යමක් පිළිබඳ ඉතා නරක, පහත්, අධම හෝ පවිටු තත්වයක් එළැඹී ඇති බවකි.
මෙම ජන වහර කෙසේ අප සමාජය තුළට සම්පේ්්‍රෂණය වූයේ ද යන්න කිව නොහැකි මුත් මීට අතිශයින් සමාන එනම් “බල්ලන්ට යාම” (go to dags) නම් අවියත් වහරක් ඉංගිරිසි බසෙහි ද දක්නට ලැබේ. රට, ආර්ථිකය, සංස්කෘතිය හෝ සදාචාරය අන්ත පරිහානී තත්වයකට පත්වීම හැඳින්වීම පිණිස මෙම “බල්ලන්ට යාම” යන යෙදුම බහුලව යෙදෙන බව එහි ව්‍යවහාරය පිළිබඳ විමසන විට පෙනී යයි.
කවර සමාජ, ආර්ථික, සංස්කෘතික පසුබිමක් යටතේ හෝ ‘රට බල්ලට යාමට’ ප්‍රධාන හේතුව රාජ්‍ය පාලකයන් ගේ නොමනා, අදමිටු හෝ අමනෝඥ ක්‍රියා මාර්ග බවට සැක නැත. එය වර්තමානය හා සැසදීම ඔබට බාර කොට අපි නිහඬ වෙමු.
ඒ කෙසේ හෝ මෙලෙස ‘රට බල්ලාට ගිය’ අවස්ථාවක් පිළිබඳ රසවත් කතා ප්‍රවෘත්තියක් බෞද්ධ සාහිත්‍යයේ ද දැක්වෙයි. එහෙත්, එලෙස රට හෙවත් රාජ්‍ය පාලනය බාර ගැනීමට සිදු වන ලද්දේ බෝධි සත්ව සුනඛයාට ය. එහෙයින් එම රාජ්‍යය නැවත යහපත් තත්වයට පත් වූ බව එම කතා ප්‍රවෘත්තියෙහි දැක්වෙනුයේ අද බොහෝ දෙනෙකු නොදන්නා, තවත් පිරිසක් අමතක කොට හෝ නොසලකා හැර ඇති බෞද්ධ දේශපාලන දර්ශනය පිළිබඳ කදිම පාඩමක් ද අපට කියා දෙමිනි.
බෞද්ධ පන්සිය පනස් ජාතකයට අයත් කුක්කුර ජාතකයේ එන එම රසවත් අතීත කතා ප්‍රවෘත්තිය සැකෙවින් මෙලෙසිනි.
පෙර කරන ලද කිසියම් අකුශල කර්මයක් නිසා සුනඛ යෝනියෙහි උපත ලැබූ බෝධිසත්වයන් වහන්සේ සිය දහස් ගණන් සුනඛයන් පිරිවරා ගෙන අමු සොහොන් බිමක වාසය කළහ. ඒ අනුව ඔවුන්ගේ පොදු ආහාරය කුමක් ද යන්න පිළිබඳව අප අමුතුවෙන් සිතිය යුතු නැත.
ඒ සමයේ බරනැස් නුවර බ්‍රහ්මදත්ත රජු සුදු අසුන් යෙදූ රථයක නැගී උයන් කෙළියට ගොස් යළි පැමිණ අසුන් මුදා හැර එම රථය රජ වාසල් අංගනයේ ම නවතා තබන ලදී. එදින රාත්‍රියේ මහ වැසි ඇද හැලෙන්නට වූ අතර ඉන් එම රථවල තිබූ සම් වරපට තෙමී ගියේ ය. එවිට එම සුවඳට ඉව කළ රජ මැදුරේ ආරක්ෂක සුනඛයන් හෙවත් ‘කීන බල්ලෝ’ පැමිණ ඒවා කා දැමූහ.
පසුදා උදයේ තම රාජකීය රථයට සිදු වූ හානිය පිළිබඳව රජ මැදුරේ ආරංචි මාර්ග මඟින් විමසා බැලූ බ්‍රහ්මදත්ත රජුට දැන ගන්නට ලැබුණේ රජවාසලට පිවිසෙන සොරොව්වකින් රිංගා බැහැරින් පැමිණි සුනඛයන් විසින් ඒවා කා දමන ලද බවකි.
නිසැක ලෙසම ඒ අසත්‍ය තොරතුර රජු වෙත සැලකරන ලද්දේ රජ මැදුරේ ආරක්ෂක සුනඛයන් හෙවත් ‘මුර බල්ලන්’ රැක ගැනීමේ අරමුණ පෙරදැරි කර ගත් රජ මැදුරේම යම් පාර්ශවයක් විසිනි.
තමන් වෙත ලත් මෙම අසත්‍ය තොරතුර පදනම් කර ගනිමින් මහත් සේ කිපුණු බ්‍රහ්මදත්ත රජු රජ වාසලේ ‘පුර බල්ලන්’ නොවන සියළු ‘පර බල්ලන්’ සමූල ඝාතනයට නියෝග කරන ලද්දේ ඒ සම්බන්ධ කිසිදු වැඩිදුර කරුණු විචාරීමකින් තොරව ය. මේ රාජ නියෝගයත් සමඟ රජ වාසලින් පිටත සියළු අසරණ සුනඛයන් සමූල ඝාතන ක්‍රියාවලියක් ඇරඹුණු බව එම සුනඛයන් වෙතින් බෝධි සත්ව සුනඛයා වෙත ද අප්‍රමාදවම සැළවිණි.
නමුදු රජ මාලිගය තුළ සිදු වූ ඒ ක්‍රියාව රජ වාසලේ ආරක්ෂක සුනඛයන් ගේම වැඩක් බව නිසැක ලෙස දැන ගත් බෝධි සත්ව සුනඛයා තම ජීවිත පරිත්‍යාගයෙන් හෝ සිය වර්ගයා මරණයෙන් මුදා ගැනීමට බ්‍රහ්මදත්ත රජු හමුවීමට යාමට තීරණය කළේ ය.
එහි දී තමන් විසින් පුරන ලද පාරමී ධර්ම සිහිපත් කොට මෛත්‍රී සිත් පෙරදැරිව සොහොනින් නික්මුණු බෝසත් සුනඛයා රජවාසලට පිවිසෙන සොරොව්වක් තුළ සැඟ වී සිට අවස්ථාවක් ලද සැනින් වහා දිව ගොස් රාජ සභාව මධ්‍යයේ වූ රජුගේ සිහසුන යට වැතිර ගත්තේ ය.
එවිට රාජ පුරුෂයන් එම සුනඛයා පිටතට ඇද ගැනීමට වෙර දරන ලද මුත් තම සිහසුන යට වැතිර හිඳින සුනඛයා අන්‍යයන් විසින් පිටතට ඇද ගැනීම කෙරෙහි රජු විරුද්ධ විය. අනතුරුව බෝසත් සුනඛයා රාජ සභාව ඉදිරිපිට දීම බ්‍රහ්මදත්ත රජු හා සංවාදයකට එළැඹුණි.
එහි දී කිනම් හෝ කරුණක් මුල්කොට තමන් හා සංවාදයකට එළැඹෙන සුනඛයකුට වුව ඒ සඳහා අවකාශ ලබා දීමේ උසස් ගුණයක් බ්‍රහ්මදත්ත රජු තුළ පැවැති බව නොරහසකි. එහි දී රජුගේ සුනඛ සමූල ඝාතන ආඥාව පිළිබඳව බෝසත් සුනඛයා විසින් විමසන ලදුව රජු විසින් ඊට හේතුව අනාවරණය කරන ලදී.
“ස්වාමීනි; එම වරද සම්බන්ධයෙන් සෑම සුනඛයෙකුම මරණයට පත් කරන්නේ ද?” යනුවෙන් බෝසත් සුනඛයා නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දුන් බ්‍රහ්මදත්ත රජු කියා සිටිනුයේ එය රජ වාසලට බාහිරින් පැමිණි සුනඛයන් විසින් කරන ලද වරදක් නිසා රජ වාසලේ මුර බල්ලන් එසේ මරණයට පත් නොකරන බව ය.
එවිට බෝධි සත්ව සුනඛයා බ්‍රහ්මදත්ත රජුගෙන් ‘ස්වාමිනී බැහැරින් පැමිණි සුනඛයන් එසේ රථවල වර පට කනු ඔබ වහන්සේ දුටු සේක් ද?’ යනුවෙන් නඟන ප්‍රශ්නයට රජු ගෙන් ලැබුණු පිළිතුර වූයේ තමන් එවැන්නක් නොදුටු බව ය.
එවිට රජ තුමා හමුවේ තම අදහස ඉදිරිපත් කරන බෝසත් සුනඛයා “ස්වාමිනී මෙම වරද රජවාසලේ ආරක්ෂක සුනඛයන් විසින් කරන බවත් ඡන්දය, ද්වේෂය, භය, මෝහය යන සතර අගතියෙන් යුතු මෙවන් විනිශ්චයන් ඔබ වහන්සේ වැනි රාජ්‍ය පාලකයකුට නොගැලපෙන බවත් කියා සිටිනුයේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය බඹදත් රජු විසින් සුනඛයකුට පවා ලබා දී ඇති ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් තුළ බව පැහැදිලි ය.
ඒ සමඟම තමන් ගත් තීරණය පිළිබඳව මුල්වරට සිතා බලන්නට පෙළඹෙන රජ ත-ුමා එසේ නම් එය රජ වාසලේ ආරක්ෂක සුනඛයන් හෙවත් කීන බල්ලන් විසින් කරන ලද වරදක් බව තහවුරු කරගන්නේ කෙලෙස දැයි බෝසත් සුනඛයා ගෙන් අසා සිටිනුයේ විචක්ෂණ ශීලී රාජ්‍ය පාලකයකුගේ ලක්ෂණ පළ කරමිනි.
එවිට කිරි මෝරු මුසු කළ ඊතණ කැවීමෙන් රජ වාසල ආරක්ෂක සුනඛයන් විසින් කරන ලද එම වරද වටහා ගත හැකි බවක් බෝසත් සුනඛයා විසින් පවසනු ලදුව බ්‍රහ්මත්ත රජු එම කටයුත්ත එලෙසම ඉටු කරන ලද්දේ එය එම වරද සම්බන්ධ සැබෑ වැරදි කරුවන් සොයා ගත හැකි හොඳම උපාය මාර්ගයක් බව වටහා ගත් බැවිනි.
එලෙස එම කිරි මෝරු තැවරූ ඊතණ කෑ රජවාසල කීන බල්ලන් සම් වර පට වමනය කරන්නට වීමත් සමඟ වර්තමාන ව්‍යවහාර භාෂාවෙන් කිවහොත් බ්‍රහ්මදත්ත රජුට ‘දෙලෝ රත්වන්නට’ ඇත. ඉන් පසු රජු බෝසත් සුනඛයා හමුවේ කොතෙක් දමනය වූයේ ද යත් ඉන්පසු රජු සුනඛයා අමතනුයේ ‘පණ්ඩිතයාණෙනි’ යන ආමන්ත්‍රණයෙනි.
මෙය වර්තමාන ‘සර්’ යන ආමත්‍රණයට බෙහෙවින් අනුරූප වූවකි. ‘පණ්ඩිතයාණෙනි සුදුසු අසුනක් බලා වැඩ හිඳිනු මැනවි’ යනුවෙන් බ්‍රහ්මදත්ත රජු ගේ ඉල්ලීමට අවනත වන බෝසත් සුනඛයා ඉන් පසු රජතුමා ගේ සිහසුන අරා වැඩ සිටි බව කුක්කුර ජාතක කතා මුල් කෘතිවල සඳහන් ය.
‘රජත-ුමනි; රාජ්‍ය පාලනය යනු සතර අගතියෙන් යුක්තව කළ හැක්කක් නොවේ. පාලකයා රාජ්‍ය විචාරීමේ දී තුලා කූටයක් හෙවත් තරාදියක මූනත් කටුවක් මෙන් දෙපාර්ශවයේ සමතුලිත බව බලා නිවැරද තීරණයකට එළැඹිය යුතු ය. එසේ නොවුවහොත් එම රාජ්‍යය පිරිහී විනාශයටම පත් වනු ඇත.”
සිහසුන මත සිට මේ ආකාරයෙන් ධර්ම දේශනා කළ බෝසත් සුනඛයා කෙරෙහි බ්‍රහ්මදත්ත රජු කෙතරම් පැහැදීමට ලක්වූයේ ද යත් තමන්ගේ රාජ්‍යත්වයේ සංකේතය වන ධවල ඡත්‍රය සමඟ සමස්ත රාජ්‍යයම බෝසත් සුනඛයා වෙත පැවරීමට ඉදිරිපත් විය. එහෙත්, ස්වාමිනී; මා මෙහි පැමිණියේ නිරපරාදේ සමූල ඝාතනයට ලක්වන මගේ වර්ගයා හට අභය දානය ලබා දීමට මිස මෙම බරනැස් නුවර රජවීමට නොවේ.
මෙහි රජකම් කිරීමට වඩා මට මගේ සුපුරුදු වාසස්ථානයේ මගේ ඥාති මිත්‍රාදීන් හා විසීම යහපතකැයි’ පවසන බෝසත් සුනඛයා ඉන්පසු දසරාජ ධර්මයෙන් යුතුව රාජ්‍ය පාලනය කරන ලෙස බ්‍රහ්මදත්ත රජුට උපදෙස් දී නැවත තම සුපුරුදු වාසස්ථානය වන අමු සොහොන බලා නික්ම ගිය බව කුක්කුර ජාතකයේ අතීත කතාවෙහි දැක්වේ.
අදටත් අප සමාජයේ ඇතැමුන් විසින් මෝඩ උපාසකයන්ගේ කතා ලෙස හඳුන්වන මෙම උපමා කතා වල ගැබ් වූ ගැඹුරු සමාජ දේශපාලන දර්ශනය පිළිබඳ විද්වත් සමාජ කතිකාවක් ඇති වීමේ කාලීන අවශ්‍යතා පැන නගී.
රාජ්‍ය පාලකයන් ගේ අමනෝඥ හා ඒක පාර්ශවීය තීරණ හමුවේ “රට බල්ලාට යාම” ඉතා ස්වභාවික වූවක් බව සංකේතාත්මකව ප්‍රකාශ කරන මෙම ජාතක කතාවෙහි පාලකයන් රටේ නීතිය රාජ පාක්ෂිකයන් හමුවේ එක ලෙසකිනුත් සෙස්සන් හමුවේ තවත් ලෙසකිනුත් ක්‍රියාවට නැංවීමේ දෝෂ සහගත බව ද විශිෂ්ට අයුරින් පහදා දෙයි.
ඒ කෙසේ හෝ අප රටේ භික්ෂුන් වහන්සේලා බුදු දහම තුළ සැඟවුණු සමාජ, දේශපාලන සහ ආර්ථික විග්‍රහයන් සංකේතාත්මකව ඉදිරිපත් කෙරෙන මෙවන් ධර්ම කොටස් වැඩිවැඩියෙන් ජනතාවට ඉදිරිපත් කිරීමේ කාලීන අවශ්‍යතාව ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ.
අප රටේ යහපත් රාජ්‍ය පාලනයක් අපේක්‍ෂා කරන්නේ නම් භික්ෂුන් වහන්සේලා කළ යුත්තේ පාලකයන් සමඟ ඇලීම හෝ ඔවුන් කෙරෙහි ගැටීම නොවේ. බුදු සමයෙහි ගැබ් වූ දේශපාලන, සමාජ, ආර්ථික දර්ශනය නිරවද්‍ය ලෙස ඉදිරිපත් කොට ඉන් බෞද්ධයන් පුබුදුවා ලීම පමණි. එවිට ඔවුන් ඒකාන්ත වශයෙන්ම අප රට තුළ ඉතා යහත් දේශපාලන සහ සමාජ වටපිටාවක් ගොඩ නංවා ගනු ඇත.
දිවුල්වැවේ ජිනරතන හිමි