කටුවන මොරගාල ගොඩ ප්‍රදේශයේ දෙපිරිසක ගැටුමක් අතර තුර එල්ල කරන ලද  අත් බෝම්බ ප්‍රහාරයකින් එක් අයෙකු තුවාල ලබා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව කටුවන පොලීසිය පවසයි.

ඊයේ (08) අළුයම් කාලයේදී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවත් එම ප්‍රහාරයෙන් හේවා දෙව්රම්පිගේ දයානන්ද(43) යන අය තුවාල ලබා ඇති බවත් පොලීසිය කියයි.

ප්‍රහාරයට ලක්වූ නිවස ඉදිරිපිට ඇති නිවසේ හිමිකරු සමඟ ඇති වූ ආරවුලකින් පසුව මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලීසිය කියයි.ප්‍රහාරය එල්ල කළ බවට සැක කරන කන්ඩායම ප්‍රහාරයට පැය කිහිපයකට පෙර මත් ද්‍රව්‍ය භාවිතා කරමින් සිට ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පොලීසිය විසින් හදුනාගෙන තිබේ.ඔහු යුධ හමුදාවේ සේවය කළ අයෙකු බව පොලීසිය කියයි.එල්ල කරන ලද අත් බෝම්බය විදේශීය රටක නිෂ්පාදනය කළ එකක් බවට පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

සිද්ධියට සම්බන්ධ සැක කරුවන් 05 දෙනෙකු පොලීසිය විසින් හඳුනාගෙන තිබේ.සැක කරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔවුන් අත් අඩංගුවට ගැනීම සදහා පොලීසිය සෝදිසි කිරීම් සිදු කරමින් පවතී.

තංගල්ල කොට්ටාඨ 02 සහකාර පොලිස් අධිකාරී රත්නවීර එල්.අඩස්සූරිය ගේ උපදෙස් මත කටුවන පොලීසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප.චන්ද්‍රසේන ගේ හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප.සරත් සේනානායක ගේ මෙහෙයවීම මත සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදු කරනු ලබති.

චන්ද්‍රසේන ගමගේ

More Stories